ටවුමේ ඉස්කෝලේට ආ ප්‍රභාෂි සහ මෙලීෂා
සුනිල් පේ‍්‍රමරත්න තීර රචනය කොට අධ්‍යක්ෂණය කළ ධම්මික අතපත්තු නිෂ්පාදනය කළ ‘”ටවුමේ ඉස්කෝලෙ” චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. නිවාඩු කාලයේ පවුලේ හැමෝටම එකට එක්ව නැරඹිය හැකි අපූරු චිත්‍රපටයක් ලෙස මෙය නම් කරන්න පුළුවනි. මෙහි ප්‍රධාන චරිත රඟපාන ළමා ශිල්පිනියන් දෙදෙනා සමඟ සඳැල්ල කළ කතාබහකි මේ.
ටවුමේ ඉස්කොලේ කතාව ගලා යන්නේ මේ දැරියන් දෙදෙනා මුල් කරගෙනය. ගමේ පාසලක සිසුවියක ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත්ව ටවුමේ පාසලකට පැමිණෙන දැරියක මුහුණ දෙන සිදුවීම්දාමය හරහා ගලා යන මේ ලස්සන කතාවේ ප්‍රධාන ළමා නිළි චරිතවලට දායකත්වය ලබාදෙන මේ ළමා ශිල්පී දෙදෙනා මෙම චිත්‍රපටය සඳහා දායක වීම ද හරි අපූරු සිදුවීමකි.
එනම් දෙදෙනාම හරියට නිවුන් සොයුරියන් මෙන් වූ පෙනුමින් යුතු වීමයි. එමෙන්ම ඔවුන් දෙදෙනා ඉගෙනුම ලබන්නේ ද බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකාවේය. දෙදෙනාම සිටින්නේ එකම පංතියේ වීම ද විශේෂත්වයකි.
ප්‍රභාෂි ටවුමේ ඉස්කෝලේ ප්‍රධාන චරිතය රඟපාන දැරිවියයි. එහි ශනලි ගමගේ නමැති පාසල් දැරිවිගෙ චරිතය රඟපාන ඇය ශාන්ත පාවුළු බාලිකාවේ 9 වසරේ ශිෂ්‍යාවකි.
ප්‍රභාෂි ඔබගෙ පවුලේ තොරතුරු කිව්වොත්?
මගේ අම්මාගේ නම නදීකා ශිවන්ති වීරසිංහ. ඇය රූපලවන්‍ය ශිල්පිනියක්. තාත්තාගේ නම ප්‍රභාත් අසංග. තාත්තා සේවය කරන්නේ බැංකු ක්ෂේත්රයේ. මට ඉන්නේ මල්ලියෙක් විතරයි. අපි පදිංචි වෙලා ඉන්නේ කළුබෝවිල.
ටවුමේ ඉස්කොලෙට අවස්ථාව ලැබුණේ කොහොම ද?
අපේ පාසලේ නාට්‍ය විෂය උගන්වන ගුරුතුමිය ‘දිවමන් ගජමන්’ නමින් නාට්‍යයක් කළා. සුනිල් පේ‍්‍රමරත්න සර් මා ගැන දැනගෙන තියෙන්නේ එම නාට්‍යය හරහායි. ටීචර් තමයි මාව ඒකට යොමු කළේ.
ඊට කලින් රඟපාලා තිබුණේ නැද්ද?
නැහැ. ඊට කලින් ස්වර්ණවාහිණියේ තරු පොකුර වැඩසටහන කළා. ස්වාධීන රූපවාහිනියෙ ළමා අංශයේ නිවේදිකාවක් ලෙසත් හිටියා.
මේ පළමු චිත්‍රපට රංගන අත්දැකීම විස්තර කරන්නේ කොහොම ද?
ප්‍රථම වතාවට රඟපාන නිසා මුලින්ම බයක් ඇති වුණා. මෙහි රඟපාන ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබුණේ ලොකු සහයෝගයක්. මුලින්ම මට තිබුණෙ අම්මට තාත්තට වැඳලා ඉස්කෝලේ යන දර්ශනයක්. සාමාන්‍ය ජීවිතේදීත් එය පුරුදු දෙයක් නිසා එච්චර අපහසු වුණෙත් නැහැ. ඒත් මෙහි හොඳම අවස්ථාව වන මාව කාමරයක දාලා වහලා යන දර්ශන පෙළ රූගත කරද්දි උදෑසන 10.30 සිට පාන්දර 2.30 විතර වෙනකල් රූගත කළා. මාව ඇත්තටම බය කරන්න හිතාගෙන සුනිල් මාමා පොඩි ප්ලෑන් එකක් ගහලා මට ඇත්තටම බැන්නා. ඒ වෙලාවේ මම ඇඬුවා. ඒ නිසාම ඒ දර්ශන පෙළ හොඳට කරන්න පුළුවන් වූ බව පසුව දැන ගත්තා. ඒ වගේම බොහෝ පිරිසක් බලා සිටියදී රෝහලේ කළ රූගත කිරීම මට අමතක වන්නේ නැහැ.
ප්රභාෂිගෙ අරමුණ?
මම පාසලේ පොත්පත් වැඩවලට අමතරව බොහෝ බාහිර ක්රියාකරකම්වලට දායක වෙනවා. පාසලේ මධ්‍ය ඒකකයේ ඉන්නවා. භාෂා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරලා මාධ්‍යවේදිනියක වීම තමයි මගේ අරමුණ.
රඟපෑම හැර වෙන මොනවට ද ආස කරන්නේ?
සංගීතයට ගොඩක් ආසයි. ගීත ගයන්න හරිම ආසයි.
මේ විදිහට විස්තර කියැවෙන ප්රභාෂිගෙ ප්‍රියතම ගීතය වන්නේ ‘ෆේඩඞ්’ නමැති බටහිර ගීතයයි. ඇයගෙ මව නදීකා ශිවන්ති පවසන පරිදි ප්‍රභාෂි ඉතා සංවේදී දියණියකි.
”එයා පොඩි දේටත් අඬන හරිම සංවේදී, හරිම හොඳ දරුවෙක්. අපි දෙන්නගෙ හිත් රිදෙන විදියට වචනයක්වත් කියන්නේ නැහැ.
ඉංග්‍රීසි සහ සිංහල ගීත ගැයීමේ හැකියාව ඇති ප්‍රභාෂි අම්මා හදලා දෙන විශේෂිත කෑම ජාතිවලට තමයි ආසා කරන්නේ.
මෙලීෂා යෙනුලිගෙ ගම පානදුරය. ශාන්ත පාවුළු බාලිකාවේ ඉගෙන ගන්නා ඇය ප්රභාෂිගෙ පංතියේම මිතුරියකි. මෙලීෂා පවුලේ එකම දරුවාය. මව චමිලා කුමාරි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක වන්නීය. මෙලීෂාගේ පියා කපිල නාවුක ක්ෂේත්රයේ නිලධාරියකු වන අතර විදෙස්ගතව සිටින්නේය.
”මගේ තාත්තා ලෝකයේ කොතැනක හිටියත් මගේ ගමන ධෛර්යවත් කරලා මට නිතරම ශක්තියක් ගෙන දෙනවා. තාත්තා තමයි මාව සෑම පරාජයකදීම වගේම පසුබෑමකදී ඉදිරියට යන්න මාව වඩාත් ධෛර්යවත් කරන්නේ. අම්මා හරිම හොඳයි. ගුරුවරියක ලෙස ඇය මට කියා දෙන දේ නිසා මගේ ජීවිතය හරි සතුටින් ගෙවෙන්නේ.”
මෙසේ පවසන මෙලීෂාගේ අනාගත අරමුණ වන්නේ නීතිඥවරියක වීමය. මෙලීසා වඩාත් මිත්‍රශීලි චරිතයකි. එමෙන්ම මෙලීෂාගේ විශේෂත්වය වන්නේ පෙර පාසලේ සිටි මිතුරු පිරිස එක්ක අදට ද ඇසුර තිබීමයි. ඇය ද පාසලේ පොත පතේ වැඩවලට අමතරව බොහෝ බාහිර ක්රියාකරකම්වල යෙදෙන්නීය. ගායනයට වඩා ඇය වඩාත් කැමැති ඕනෑම ගීතයක් ශ්‍රවණය කරද්දී නර්තනයේ යෙදෙන්නට බව පවසන්නීය.
මෙලීෂා මෙහි රඟපාන්නේ මොන චරිතය ද?
මම මෙහි රඟපාන්නේ කවීෂා නමැති නගරබද පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවකගේ චරිතයක්. මුලදී ඇය හොඳට සිටින අතර පසුව ටිකක් නපුරු වන චරිතයක්.
එතකොට සැබෑ ජීවිතයේදීත් ඔය දෙන්නා තරහා වන අවස්ථා තියෙනවා ද?
හිටපු ගමන් ඔය පොඩි පොඩි දේවල්වලට එහෙම වෙනවා. ඒත් ඒ වෙලාවට විතරයි. අපි හොඳ යාළුවෝ.
මීට පෙර දායක වූ නිර්මාණ මොනවා ද?
පළමු වසරේ ඉඳලම වාගේ රූපවාහිනී දැන්වීම්වලට එහෙම දායක වුණා. ලයිෆ් බෝයි, මැගී නූඞ්ලස්, මැජික් අයිස් ඒ වගේ ගොඩකට පෙනී සිටියා.
මෙලීෂා ප්‍රභාෂි වෙතින් දකින හොඳම ගුණාංගය මොකක් ද?
පාසලේ බාහිර වැඩවලදී ඒවා සාර්ථක කර ගන්න අපට ගොඩක් උදව් කරනවා. බොහෝ දේ තේරුම් කරලා දෙන්න ඇයට පුළුවන්.
මෙලීෂා මේ චිත්‍රපටයේ වඩාත් දුක් වූ අවස්ථාවක් තියෙනව ද?
චිත්‍රපටයෙ හැටියට මට ප්‍රභාෂි වොෂ්රූම් එකට දාලා වහන්න තිබුණා. ඒ වෙලාවේ ලොක් එක ඇත්තටම ඇර ගන්න බැරි වුණා. මට ඒ වෙලාවේ ඇත්තටම දුක හිතුනා.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ