ජාත්‍යන්තර රූප රාජිණී කිරුළ දිනා ගත් යුගානි
ජාත්‍යන්තර රූප රාජිණී කිරුළක් ජය ගනිමින් ලංකාවට අභිමානයක් එක් කළ යුගානි මේ වනවිට නිරූපණ ශිල්පිනියක් සේම නිවේදිකාවක් ලෙසද කටයුතු කරනවා. රූපවාහිනී අවුරුදු කුමරිය තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් නිරූපණයට එකතු වුණු යුගානි විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලාවක්ද හදාරමින් සිටිනවා. ඇයව සාරවිට කතාබහට එකතු කරගන්නට සිතුවේ මේ විදිහටයි.
යුගානි ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම යුගානි විදුෂිකා ගුණතිලක. මම ජාතික රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස සහ නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.
නිරූපණ ක්ෂේත්රයේ ආරම්භය සිදු වෙන්නේ කොහොමද?
මම 2016 වසරේදී රූපවාහිනී අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ හිමි කරගන්නවා. ඊටපස්සේ 2017 වසරේ Miss Sri Lanka for Miss Global Youth Ambassador විදිහට පිලිපීනයට ගියා. එහිදී මම ලෝකයෙන්ම දෙවැනි ස්ථානය හිමි කරගත්තා. ඊටපස්සේ තමයි ක්ෂේත්රයට එකතු වෙන්නේ.
දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
වෙළඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ වගේම මම ජාතික රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් කටයුතු කරනවා. මම මුලින්ම කළේ ‘මංගල මොහොත’ කියන වැඩසටහනයි. දැන් fashion sri lanka කියන වැඩසටහනත් ඉදිරිපත් කරනවා.
නිවේදිකාවක් ලෙස ලැබෙන අත්දැකීම් ගැන කිව්වොත්?
නිවේදනය පිළිබඳව මම මුලින්ම ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගුරුතුමා යටතේ හදාරලා තිබුණා. රූපවාහිනී අවුරුදු කුමාරිය වුණාට පස්සේ එහි තිබුණු audition වලින් පස්සේ තමයි නිවේදිකාවක් විදිහට එකතු සම්බන්ධ වුණේ. ජාතික නාලිකාවේ එක වැඩසටහනක් හෝ ඉදිරිපත් කරන්න ලැබීම ගැන ඇත්තටම මට ලොකු සතුටක්. එහි ඇතුළේ වැඩ කරද්දි ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා වටිනවා.
කලාවට සම්බන්ධ වීම පොඩි කාලේ ඉඳලාම තිබුණ හීනයක්ද?
මෙහෙමයි. මම පාසැලේ අවුරුදු කුමාරි වුණා. ඊටපස්සේ පාසැල ඇතුලේ කලාව පැත්තේ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මගේ අම්මා හරි ආසාවෙන් හිටියා මම නිවේදිකාවක් විදිහට දකින්න. ඒ වගේම මට ආසාවක් තිබුණා කිරුළක් දිනාගත් කාන්තාවක් විදිහට සමාජයට දෙයක් කරන්න ඕනේ කියලා.
ජාත්‍යන්තර තරඟාවලියකදී රටේ නම කියවෙද්දි දැනෙන හැඟීම මොන වගේද?
මම හිතන්නේ ඒක මගේ ජීවිතයට ලැබුණු වටිනාම අවස්ථාවක්. සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවක් ජීවිතයට ලැබෙන්නේ එකම එක පාරයි. මා සමඟ ගියේ පැජන්ට් එකේ නැෂනල් ඩිරෙක්ටර් විදිහට මයුමි ශ්රීමාලී මහත්මිය සහ රුක්මාල් සේනානයක මහත්මායි. අපි තුන් දෙනා විතරයි අපිට හිටියේ. ඉතින් ගොඩාක් මහන්සි වුණා. කාලය, ශ්‍රමය කැප කළා. ඒක ගොඩාක් රටවල් නියෝජනය කළ තරඟාවලියක්. රටේ නම තමයි ජයග්රහණයකදී පවසන්නේ. එවැනි තරඟයකින් දෙවැනි ස්ථානය ලබා ගැනීම ලොකු භාග්‍යයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මිස් ශ්‍රී ලංකා කියලා කියද්දි දැණුන හැඟීම විස්තර කරන්න අමාරුයි. මම රටට සේවයක් කරා නේද කියලා නිහතමානී ආඩම්බරයක් තිබෙනවා.
නිරූපණය පැත්තෙන් තිබෙන බලාපොරොත්තුව මොකද්ද?
දැනට මම ෆැෂන් ෂෝ තෝරා බේරාගෙන සම්බන්ධ වෙනවා. තරඟ විනිශ්චයටත් ආරාධනා ලැබෙනවා. පුළුවන් විදිහට වැඩ කරගෙන යනවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මගේ අධ්‍යාපන කටයුතු නිමා කරලා හොඳ නිර්මාණ සඳහා සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
අනිවාර්යෙන්ම. මුලින්ම මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ අයව. එතකොට මයුමි ශ්‍රීමාලි මහත්මිය, රුක්මාල් සේනානයක මහත්මා සහ මගේ වැඩසටහන් අධ්‍යක්ෂිකා ධම්මිකා අබේවික්‍රම මහත්මියව මතක් කරන්න ඕනේ. ඒ අය තමයි මගේ වැඩ කටයුතුවලට හැමදාම සහය වූයේ.
කැළුම් දේවින්ද