චිත්‍ර අඳින, කවි ලියන, නිළිය මමයි
ජාතික රූපවාහිනියේ නැට්ටුක්කාරයෝ සමග හරඹ දක්වමින් සිටි ඇය වේදිකාවේ ”රජා මං වහලා” වී මේ දිනවල සිරස අරුමවන්තී සමග ආලින්දයට පැමිණෙන්නීය. රංගනය වෙතින් විවිධ හැඩකාර චරිත සොයා යන මේ උමයංගනා යනු ඇය සතු හඬ සහ රුව ටෙලිනාට්‍ය ක්ෂේත්රයට පමණක් සීමා කළ ශිල්පිනියක නොවේ. වේදිකා රංගනයට, ගුවන්විදුලි සහ රූපවාහිනී හඬ කැවීමේ අංශයට මෙන්ම නිවේදනයට ද බෙහෙවින් දක්ෂ වූ ශිල්පිනියකි. 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේදී චාමික හත්ලහවත්තගේ ”රජා මං වහලා” රඟපෑම උදෙසා හොඳම නිළියට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබූ උමයංගනා මේ සතියේ සඳැල්ල කතාබහ හැඩ කළේ මෙලෙසිනි.
"රජා මං වහලා" චරිතයෙන්ම පටන් ගනිමු. එය මොන වගේ චරිතයක්ද?
මේ වේදිකා නාට්‍ය මම දකින්නේ ලාංකීය වේදිකාවට වෙනස් අත්දැකීමක් ලෙසයි. ලාංකීය වේදිකාවේ කතාන්දර කියන කලාවට වෙනස් රිද්මයක් ගෙන දුන් නාට්‍යයක්. පර්යේෂණාත්මක ගණයේ නිර්මාණයක් කිව්වොත් වඩාත් නිවැරැදියි. රංගනයෙන් ඊට දායක වන අපි එක කණ්ඩායමක්. චරිතයෙන් චරිතයට මාරු වෙමින් අපි කරන ඒ රංගනයෙහි වෙනස දැක ගන්න නම් මේ අපූරු නාට්‍ය නරඹන්නම වෙනවා.
"අරුමවන්තී" ගැන හිතන්නෙ කොහොමද?
එහි අංජලි නමැති චරිතය රඟපාන්නෙ මම. මේ දිනවල ඒ නාට්‍යය නරඹලා ගුණ දොස් කියනවා නම් දැනගන්න කැමැතියි.
මේ දිනවල අරුමවන්තී වූ ඔබ ඒ හැර වෙනත් මොනවටද දායක වෙන්නේ?
සිරස ටීවී ගෙන එන සංජය ලීලා බන්සාලි අධ්යක්ෂවරයාගේ ”සරස්වතීචන්ද” ටෙලි මාලාවේ ප්‍රධාන චරිතයක් වන ”කුමුද්” නමැති කාන්තා චරිතයට හඬ කවනවා. ඒ හැර සුපුරුදු පරිදි නිවේදන කටයුතු කරගෙන යනවා.
වෘත්තිය වෙනුවෙන් මේ කලා කටයුතුවල විතරද නිරත වන්නේ?
රංගන කටයුතුවල නිරතවන අතරේ මාත් මගේ මල්ලිත් එකතු වෙලා ”ඩි්රම් සිටි” හෙවත් සිහින නගරය නමින් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා. වෙළඳ දැන්වීම් නිර්මාණ කටයුතු වගේම විවිධ අවස්ථා සංවිධානය වීම ඒ මගින් සිදු කෙරෙනවා.
ගෙවී ගිය කාලය ගැන නැවත සිහිපත් කළොත්?
බොහොම සතුටට හේතු වූ කාරණා තිබුණා. විශේෂයෙන්ම මේ වසරේදී සම්මාන ලැබීම වගේම ”රජා මං වහලා” නාට්‍ය වෙනුවෙන් බොහෝ කැපවුණා. ඒ නිසාම ටෙලිනාට්‍ය චරිත පවා බාර ගත්තෙ අඩුවෙන්.
පුද්ගලික ජීවිතය ගැන කිව්වොත්?
සුපුරුදු ලෙස බොහොම සතුටින්, හොඳින් ඉන්නවා.
ජීවිතය සතුටින් ගෙවන්න කළ දේ මොනවාද?
නිතරම වර්තමානය එක්ක ජීවත්වීම සහ හොඳ දේ එක්ක, හොඳ සිතිවිලි එක්ක ජීවත් වුණාම ඒ සතුට දැනෙනවා.
රංගනයේදී නිතරම ඔබ අපේක්ෂා කරන චරිත ලැබෙනවාද?
චරිතයක් ලැබුණාම එය හොඳ චරිතයක් වෙන්නෙ අපි ලබා දෙන දායකත්වය අනුවයි. ඒ විදියට හොඳින් දායක වූ චරිත අගැයීමටත් ලක්වුණා.
රංගනයට නෑවිත් ඉගෙනීමෙන්ම ඉදිරියට ගියේ නම්?
උසස් පෙළට විද්‍යා විෂයයන් වලින් පෙනී සිටියෙ. පසුව ඖෂධවේදිනියක වීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. ඒ සඳහා සුදුසුකම් ලබලා තිබුණෙ. වෛද්‍යවරියක වීමේ අරමුණක් තිබුණා. නමුත් ඒ සියල්ල අතරේ රඟපෑමට එක්වුණාම ජීවිතය රංගනයට වඩාත් කැප කළා. කලා ක්ෂේත්රයට පැමිණීමේදී ලාල් හේමන්ත මාවලගේ ගුරුතුමා යටතේ ජනමාධ්‍යකරණය ගැන හැදෑරුවා. එයින් ලද ආභාෂය නිසා පසු කලෙක දෙරණ ටීවී ප්රවෘත්ති නිවේදිකාවක පවා වීමට හැකි වුණා.
ඔබට හොඳට "චිත්‍ර" අඳින්නත් පුළුවන්ලූ නේද?
පාසල් සමයේදී චිත්‍ර විෂයයටත් දක්ෂ වුණා. ඒ නිසාම තරගවලට චිත්‍ර යොමුකොට සහතික පවා ලැබුණා. ඒ වගේම ”කවි” ලිවීමටත් දක්ෂ වුණා. ඒ අංශයෙනුත් ජයග්‍රහණ ලැබුවා. දැන් නම් එදා ලිව්ව කවිත් මතක නැහැ.
"රජා මං වහලා" නාට්‍යයේ ඔබ ඇතුළු රංගන ශිල්පී කණ්ඩායම එකතුවී ගීතයක් ගයනවා නේද?
ආදරණීය යුද්ධය
රමණීය යුද්ධය
සිල්වත් යුද්ධය
හිතමිතුරු යුද්ධය
යු..... යුද්ධය....
ඒ විදියට අපි අපූරුවට ගයන ඒ ගීතය අහන්න ඕනෑ නම් ඒ නාට්‍ය නරඹන්න.
ඔබට ඇත්තටම "බැරි" දේ මොනවාද?
බැරි දේ බොහෝමයි. පුළුවන් දේ ඇත්තෙන්ම ටිකයි.
ඔබ කවුද? ඇත්තටම?
සරළව ජීවත් වෙන්න කැමැති කෙනෙක්. හැබැයි ඒක මට වඩා ඇසුරු කරන අය කළ යුතු විග්‍රහයක්.
ඔබ කවුද?
ඔබ මොනවද හොයන්නෙ කියා මම දන්නවා.
මම ඔබට උදව් කරන්නම්”
"රජා මං වහලා" නාට්‍යයේ ඒ දෙබසටත් මම ආසයි.
උමයංගනා, ෆෝන් එකට එන්නෙ නැහැ කියන්නෙ?
රඟපෑමට ගියාම මම රූගත කරන තැනට ෆෝන් ගෙනයන්නෙ නැහැ. ඒක මගේ සිරිතක්. චරිතයට නියම ගෞරවය වගේම නියැලෙන කාර්යයට අපි ගරුකරන්න ඕනෑ.