චරිතය කළුද? සුදුද? කියන එක මට ආදාලම නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200530Hot-1කාලයකට සිට විවිධ කලා නිර්මාණ හරහා දුටු අරුණි මෙන්ඩිස් මෑත කාලයේ වඩාත් ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වූයේ දෙරණ රූපවාහිනි නාළිකාවේ දිගහැරෙන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘නිලු’ නම් චරිතය හරහාය. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයකින්ම ඔබ හමුවීමට සූදානමින් සිටින අරුණි සිය අලුත්ම තොරතුරු අප සමග බෙදාහදා ගත්තේ මෙළෙසිනි.

 ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘නිලූ’ කියන චරිතය හරහ ඔබ වර්තමානයේ ඉහළ ජනප්‍රියත්වයක් ලබනවා නේද?

ඔව්, ‘නිලු’ කියන චරිතය වටා යම් ප්‍රේක්ෂක පිරිසක් අද වනවිට එකතු වෙලා තියෙනවා කියලා මම හිතනවා. මොකද, ‘දෙවෙනි ඉනිම’ කියන්නේ සතියේ දින පහ තුළම විකාශය වෙන ටෙලි නාට්‍යයක්. ඒ වගේම ජනප්‍රියත්වයේ ඉහළින්ම රැඳිල තියෙන ටෙලි නාට්‍යයක්. ටෙලි නාට්‍යයේ ජනප්‍රියත්වය මේ වනවිට එහි රඟපාන චරිතවලටත් ලැබිලා තියෙනවා. ඒ හරහා ‘නිලූ’ කියන චරිතය වටාත් ගොඩ නැගුණ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.

අහිසංක චරිතවල රඟපෑ ඔබ එක්වරම කළු චරිතයකට යොමු වුණේ ඇයි?

එහෙම විශේෂ හේතුවක් නැහැ. ඒ කියන්නේ චරිතය අහිසංක සුදු චරිතයක්ද? එහෙමත් නැත්නම් හැළහැප්පිම් තියෙන චරිතයක්ද? ටිකක් කළු චරිතයක්ද? කියන එක නම් මට අදාළ නැහැ චරිතයක් තෝරා බේරා ගැනීමේදි. මම ඇත්තටම ගොඩක් වෙලාවට දකින්නේ ඒ තුළ මට යමක් කරන්න පුළුවන්ද කියන කාරණය පමණයි. මම දැනට ගොඩක් චරිත රඟපාලා නැහැ. නමුත්, මම දායක වුණ සීමිත චරිත ප්‍රමාණය අතරින් මම උත්සාහ කළා මට ලැබෙන චරිත හැම එකක්ම එකිනෙකට වෙනස් චරිත විදිහට කරන්න.

‘නිලූ’ කියන චරිතයට  සාධාරණයක් කළා කියලා ඔබ හිතනවාද? 

ඒ ප්‍රශ්නයට උත්තරය තියෙන්නේ මා අතේ නෙමෙයි මේ ටෙලි නාට්‍යයට වටා එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකයින් ගාව. නමුත්, ලැබෙන ප්‍රතිචාර මත හිතෙනවා මම ‘නිලූ’ කියන චරිතයට යම් සාධාරණයක් කරලා තියෙනවා කියලා. ගොඩක් වෙලාවට ලැබෙන ප්‍රතිචාර හොඳ ඒවා නෙමෙයි මට. මොකද, චරිතය කළු එකක් නිසා. හුඟක් වෙලාවට බැනුම් අහන ප්‍රතිචර තමයි මට ලැබෙන්නේ. මේක ටෙලි නාට්‍යයක්, ටෙලි නාට්‍යය චරිතයක් කියලා දැන දැනත් සමහර අය අම්මෝ ඔයා හරි දුෂ්ඨයි.. එහෙම දේවල් කරන්න තරම් ඔයා නපූරු වෙන්නේ කොහොමද.. කියලා දෙන ප්‍රතිචාරය මම ආදරයෙන් භාර ගන්නවා. ඒ හරහා මට හිතෙනවා මම මේ චරිතයට යම් සාධාරණයක් කරලා තියෙනවා කියලා.

‘දෙවෙනි ඉනිම’ සමගද මේ දිනවල ඔබ කාලය ගෙවන්නේ?

ඔව්, වැඩිපුරම කාලය ගෙවෙන්නේ ‘දෙවෙනි ඉනිම’ සමග තමයි. නමුත්, ඊට අමතරව මම නිවේදිකාවක් විදිහට ඒ වැඩ කටයුතුත් සුපුරුදු පරිදි කරගෙන යනවා. ‘දෙවෙනි ඉනිම’ට සම්බන්ධ වෙලා වැඩ කරන අතරතුර. රොහන් පෙරේරා මහත්මයාගේ චිත්‍රපටයක රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා පසුගිය කාලයේ. නමුත්, වර්තමනයේ රටේ උද්ගත වෙලා තියෙන ‘කොරෝනා’ වසංගතය නිසා එහි වැඩ කටයුතු අතරමඟ නැවතිලා තියෙනවා. නමුත්, බලාපොරොත්තු වෙනවා යළිත් යථා තත්ත්වයට පත් වුණාම ඒ වැඩ කටයුතුවලට සුපුරුදු පරිදි දායක වෙන්න.

‘නිලූ’ කියන චරිතය හරහා ඔබ ගොඩක් ජනප්‍රිය වුණා. ඒ නිසා ඉදිරියට ඔබ කළු චරිතවලට පමණක් සීමා වෙයිද?

නැහැ. චරිතයක කළුද? සුදුද? කියන දේ මට ආදාලා නැහැ. මම කැමතියි හැම වෙලාවේම එකිනෙකට වෙනස් විවිධ හැඩතලවලින් පිරුණු චරිත තුළින් ප්‍රේක්ෂකයා හමුවන්න. ඉතින් අපි බලමු ඉදිරියේදී මොන විදිහේ චරිත මට රඟපාන්න ලැබෙයිද දන්නේ නැහැ මට. නමුත්, මගේ කැමැත්ත සහ බලාපොරොත්තුව නම් මම කළින් කිව්වා වගේ එකිනෙකට වෙනස් විවිධ චරිත මට රඟපාන්න ලැබෙනවා නම් හොඳයි කියලා. මොකද මම කැමති නැහැ එකම චරිතයකට එකම රාමුවකට කොටු වෙලා රඟපාන්න.

කාලයක් වෙනවා ඔබ කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා. නමුත්, ඔබ අපි දුටුවේ නිර්මාණ අඩු ප්‍රමාණයක?

ඇත්තටම ඔබ හරි. මගේ පළමුවැනි නිර්මාණය සුදත් රෝහණ මහත්මයාගේ ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යය. මම හිතන විදිහට ‘ස්වයංජාත’ 2009 වසරේ අන්තිම හා 2010 වසරේ මුල තමයි රූපගත කරන්නේ. ඔය කාලේම තමයි මම ජාතික රූපවාහිනි නිවේදිකාවක් විදිහට වැඩ කරන්න ගන්නෙත්. මම හිතනවා මම කලා ක්ෂේත්‍රය තුළ අද ඇවිල්ල තියෙන්නේ බොහෝම හෙමින් ගමනක්. ඒක මටත් පහසුයි. අනික ඒක ගොඩක් මට නිදහස්. ආරාධනා ලැබෙන විදිහට ඉඩකඩ ලැබෙන විදිහට නිර්මාණවලට දායක වෙනවා මම. එක දිගට වැඩ ගොඩක් භාරගෙන කාර්යබහුල වෙන්න මම කැමති නැහැ.

කලාවට සම්බන්ධ වුණ එක ගැන ඔබ තෘප්තිමත්ද?

ඇත්තටම කලාවට සම්බන්ධ වෙලා රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන ඒක මට හීනයක්. පුංචි කාලේ ඉඳලා රංගන ශිල්පිනියක් වෙන හීනයක් මට තිබුණා. ඒක මම කාටවත් නොකියපු හීනයක්. නමුත්, මෙහෙමවත් මම රංගනයට ඒවි කියලා මම හිතුවේ නැහැ. මොකද, මගේ පවුල් පසුබිමවත් මගේ කවුරුවත් කලාවට සම්බන්ධ වෙලා හිටපු නැති නිසා. එක පැත්තකින් මම සතුටු වෙනවා එහෙම වතාවරණයක් මැද මම රංගන ශිල්පිනියක් වුණ හින්දා. එය කොතරම් දුරට අද වෙනවිට සාර්ථක වෙලා තියෙනවාද කියලා මම දන්නේ නැහැ. ඒත්, මගේ හීනය අද වෙන කොට සඵල වෙලා තියෙන හින්දා මම ගොඩක් සතුටු වෙනවා කලාවට සම්බන්ධ වුණ එක ගැන හිතලා.

බුද්ධික සේනාධීර

20200530Hot-2 20200530Hot-3