චණ්ඩි කෙල්ලෙක් වෙන්න කැමති විදුෂි
විකාශය වූ ටෙලි නාට්‍යය බොහෝමයක දුටු විදුෂි උත්තරාගේ රුව බොහෝ දෙනෙකුට පහසුවෙන් අමතක නොවේ. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ දිග හැරෙන ‘නිරාෂා’ හිද ඇය දකින්නට ලැබේ. ඒ ‘යෂානි’ චරිතය හරහාය. ඉදිරියේ දී තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම විදුෂි ප්‍රේක්ෂක අපිට දකින්නට ලැබෙන අතර, ඒ නිසාම ‘සාරවිට’ අපගේ අවධානය ඇය වෙත යොමු විය.
කෙටි කාලයක් තුළ දී ඔබ බොහෝ නිර්මාණවල අපි දුටුවා?
ඔව්, දැනට විකාශය වෙන ‘නිරාෂා’ ටෙලි නාට්‍යයත් එක්ක මම ටෙලි නිර්මාණ නමයකට විතර දායක වෙලා තියෙනවා. ක්ෂේත්රයට ඇවිල්ලත් තාම මාස 18ක් පමණ වෙනවා.
ඉක්මන් ගමන කෙටි කියලා කියනවානේ. ඔබටත් එහෙම වෙයිද?
නැහැ. නිර්මාණ රැසකට මම දායක වුණා කිව්වාට සමහර නිර්මාණවල මම රංගනයෙන් දායක වුණේ කොටස් කිහිපයකට පමණයි. උදාහරණයක් විදිහට ‘සිල්ලර සමනල්ලු’ ටෙලි නාට්‍යයේ මම පෙනී සිටින්නේ අවසන් කොටස් කිහිපයට. ඒ වගේම ‘කුසුමාසන දේවි’ ටෙලි නාට්‍යයෙත් එහෙමයි. තවත් දෙයක් තමයි මම දැනට දායක වුණ හැම ටෙලි නිර්මාණයකම එකිනෙකට වෙනස් චරිතවලින් තමයි මාව ප්‍රේක්ෂකයා දැක්කේ. ඒක මම දකින විදිහට එක්තරා වාසනාවක්.
විදුෂි ප්‍රේක්ෂකයන් අතරට ගියේ?
දෙරණ රූපවාහිනි නාළිකාවේ දැනටත් විකාශය වෙන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘මල්කි’ කියන චරිතය හරහා. දැනටත් මා රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍යය විකාශය වෙද්දි අඩු නැතිව රසික ප්‍රතිචාර ‘මල්කි’ කියන චරිතයට ලැබෙනවා. මම කියන්නේ නැහැ මා රංගනයෙන් දායක වුණ අනෙකුත් ටෙලි චරිතවලට රසික ප්‍රතිචාර අඩුවෙන් ලැබුණා කියලා. නමුත්, ‘විදුෂි’ කලා ශිල්පිනිය බොහෝ දෙනෙකු අඳුන ගත්තේ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘මල්කි’ කියන චරිතය තුළින් කිව්වොත් හරි.
ලැබුණ චරිත අතරේ සිත්ගත් චරිත තියෙනවාද?
ලැබුණ හැම චරිතයකටම මම ගොඩක් කැමැතියි. ඒ වගේම මම ගොඩක් ආසාවෙන් ඉන්නවා කොල්ලෙක් වගේ වැඩ කරන චණ්ඩි පෙනුමක් තියෙන කෙල්ලෙක්ගේ චරිතයක් රඟපාන්න. තාම එහෙම චරිතයක් මට ලැබිලා නැහැ. ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ වගේ චරිතයක් මම භාරගෙන කරන්න කැමතියි.
රංගන ශිල්පිනියක් නොවුණා නම්?
මම ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පිනියක්. ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මම හිතාගෙන හිටියේ. නමුත්, අහම්බෙන් මට රංගනයට යොමු වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මගෙ බලාපොරොත්තුව හිතෙන් අත්ඇරුණා. රංගන ශිල්පිනියක් නොවුණා නම්, බොහෝ විට මම ඒ ක්ෂේත්රයට යොමු වේවි.
කලා ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්නද අදහස?
දැනට නම් එහෙමයි. මොකද, තියෙන කාර්ය බහුලත්වයත් එක්ක දැන් මගේ වාත්තිය රංගනය වෙලා. මම රංගනයට එන්න කලින් මගේම කියලා සාරි ව්‍යාපාරයක් කරගෙන හිටියා. කලා කටයුතුත් එක්ක දැන් ඒ ව්‍යාපාරික කටයුතු අතරමඟ නතර වෙලා තියෙනවා. කලා කටයුතුවලින් විවේකයක් ලැබුණාම නැවතත් ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා.
‘නිරාෂා’ ටෙලි නාට්‍යයෙන් පස්සේ?
මේ දිනවල ටෙලි නාට්‍යය දෙකක වැඩ කරනවා. ඒ නිසා තරමක් මම කාර්යබහුල රංගන ශිල්පිනියක් වෙලා තියෙනවා. ඉදිරියට මා රංගනයෙන් දායක වුණ ප්‍රසන්න පියරත්නගේ ‘රකුන්ගිර’ හා සමන් කුමාරගේ ‘මා’ කියන ටෙලි නාට්‍යය දෙක විකාශය වීමට නියමිතයි.
බුද්ධික සේනාධීර / ඡායාරූප - සජිව ලක්ෂාන්