ගින්දරී කෙල්ල දැන් අම්මා කෙනෙක්
පබෝදා මේ දිනවල අපට හමුවන්නේ රවින්ද්‍ර විජයරත්නගේ අධ්‍යක්ෂණයෙන් තරංග දිසානායක නිෂ්පාදනය කළ ‘‘අපි අපේ’’ නාට්‍ය සමඟයි. ඊට අමතරව සිහින ගෙනෙන කුමාරියෝ, හැඩ කරන, ‘‘පබෝදා’’ ළඟදීම තිරගත වීමට නියමිත උදයකාන්තගේ ගින්දරී-3 සමඟ හමුවීමටද නියමිතය. අද දවසේ මෙලෙසින් හමුවන සුන්දර පබෝදා සැඳැල්ල හැඩ කළේ මෙලෙසිනි.
‘‘අපි අපේ’’ වූ හැටි කතා කළොත්
එහි මම රඟපාන්නේ සරසවි ලෙක්චර් කෙනෙක් විදියටයි. එයාගේ ජීවිතේ සැඟ වූ රහසක් තියෙනවා. චරිතය ගලා යන්නේ ඒ අයුරින්. අමීෂා එම සරසවි කතිකාචාර්යවරියගේ නාමයයි. එයා හරි මොඩර්න් කෙනෙක්. ඒත් එයාගේ මතුපිටින් පෙන්වන දේට වඩා ඇතුළාන්තයෙහි රහස් සඟවා ගෙන ඉන්න කෙනෙක්.
ඒ එක්කම ‘ගින්දරී - 3’ ගැනත් කියමු? හෙට අනිද්දාම ගින්දරිත් එනවා නේද?
ඔව්. ‘ගින්දරී - 3’ ළඟදීම තිරගත වීමට නියමිතයි.
‘ගින්දරී - 2’ චරිතය මොන වගේද?
’බහුබූතයෝ’, ‘ගින්දරී’ සහ දැන් ‘ගින්දරී - 3’ මේ චිත්‍රපට තුනේම චරිතය එක හා සමානයි. ‘ගින්දරී - 2’ එකේ දැන් එයා අම්මා කෙනෙක්. එයාට දරුවකු සිටිනවා. ඒ වටා තමයි කතාව ගලායන්නේ. ‘බහුබූතයෝ’ සහ ‘ගින්දරී’ චිත්‍රපට දෙකේ මෙයා විවාහ වෙලා හිටියේ නැහැ. මෙහි විවාහ වෙලා දරුවෙකුත් ඉන්නවා. ‘ගින්දරී - 3’ නරඹලාම ඉතිරි හරිය බලාගන්න. එතෙක් හිටපු ‘ගින්දරී’ කෙල්ල වෙනුවට මෙහි වගකීම්බහුල මවක් වූ යක්ෂණියක්.
අපි බලමු මෙයා මොනවද කරන්නේ කියලා?
සැබෑ ජීවිතයේදී පබෝදා කොහොම කෙනෙක්ද? ‘‘අපි අපේ’’ අමීෂා වගේද? ‘ගින්දරී - 3’ චිත්‍රපටයේ මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටින යක්ෂණිය වගේද?
මම බොහොම සරල සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ගින්දරීට වගේ වරමක් මට ලැබිලා නැහැ. සැබෑ ජීවිතයේදී මට ලැබී තිබෙන දේ එක්ක මගේ මේ රංගන රැකියාව කරගෙන ජීවිතය ගත කරනවා.
මෙතෙක් රඟපෑ චරිත සියල්ල දෙස බැලුවොත් මොන චරිතයටද ‘‘පබෝදා’’ කියන චරිතය සමාන වුණේ?
රඟපාන සෑම චරිතයකටම අපි අපිව අදාළ කර ගන්නේ නැහැ. මෙතෙක් රඟපෑ එකම චරිතයකවත් මගේ සැබෑ චරිතය තිබිලා නැහැ. මගේ සැබෑ චරිතයට සමාන චරිතයක් ඒවිද කියලා අපි ඉදිරියේදී බලමු.
සැබෑ ජීවිතයේදී ඇත්තටම ඔබ කොහොම කෙනෙක්ද?
මම සරල සාමාන්‍ය චරිතයක්. අවස්ථාවට අනුව ජීවත් වෙන්න දන්නා කෙනෙක්. එළැඹෙන අවස්ථාවෙන් අපි කාටවත් පලායන්න බැහැනේ. ඒ අවස්ථාවට මුහුණ දීලා ඊට සාපේක්ෂව ජීවත් විය යුතුයිනෙ. මම ඒ විදියයි. ඒ හැර ලොකු විශේෂත්වයක් නැහැ. එකම දේ සහ ලොකුම විශේෂය කලාවේ නියැලී සිටින නිසා පිරිසක් මාව හඳුනනවා.
කලා අංශය තෝරාගෙන ගමනක් ඒම ගැන අද ඔබ හිතන්නේ කොහොමද?
මගේ ආදරය තිබුණේ සහ තිබෙන්නේ කලාවට. පොඩි කාලයේ ඉඳලාම ආදරය කළේ සහ ආසා කළේ චිත්‍රපට නැරඹීමේ සිට සංගීතය ආස්වාදය කිරීම ඇතුළු කලා අංශයේ වැඩවලටයි. වෙන රස්සාවක් ගැන කවදාවත් හිතුවේ නැහැ. අපේ පවුලෙන්ම බැඳී තිබුණේ කලාවනේ. එය හරියට ලේ උරුමයෙන්ම ආ දෙයක්නෙ.
අපි හිතමු පබෝදා මේ විදියට රඟපෑම සහ හඬකැවීම් ආදී දේ නොකළේ නම් මොන වගේ රැකියාවක් කරන්න තිබුණද?
ඒක හරියටම කියන්න අමාරුයි. පාසැල් කාලයේදී අපි එක එක අවස්ථාව අනුව එක එක විදියට හිතනවනෙ. ඒ විදියට හිතපු කාලයේදී ටීචර් කෙනෙක් වුණොත් හොඳයි කියලා හිතුවා. ඒකත් අනෙක් අයගෙන් ඇහුවාම කවුරු වෙන්නද කැමති කියලා, එතකොට එක එක දේ ගැන කියනවනෙ. මාත් ඒ වගේ වෙලාවක හිතුවෙ ටීචර් කෙනෙක් වුණොත් හොඳයි කියලයි. කොහොම වුණත් රංගන ශිල්පිනියක් නොවුවා නම් මම කවුරු වේවිද කියලා මට හිතාගන්න බැහැ.
පාසල් සමයේ මතකයන් අතරට ගියොත් අදටත් මතක්වෙන සිදුවීම මොකක්ද?
පාසල් සමයේදී මම දඟ වැඩ කළ කෙනෙක් නෙවෙයි. අද වගේම බොහොම නිශ්ශබ්දව මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. එහෙම පාඩුවේ හිටපු මාව අපේ නැටුම් ටීචර් තමයි කලාවට යොමු කළේ. නර්තන වැඩකට බලෙන්ම මාව ගත්තාම, මාත් පුහුණුවීම් සියල්ලට ගියා. ගිහින් සියලු දේ සංවිධානය කරලා ඉවර වෙලා ප්‍රසංගය පැවැත්වෙන දවසට අතකට වෙළුම් පටියක් දාගෙන ආවා. මේ වගේ දේ කිහිප සැරයක්ම කළා. අන්තිමට මම නටන්නේ නැතුව අනෙක් අය නටන හැටි බලා හිටියා. දඟ වැඩකට කියලා කළේ ඔච්චරම තමයි.
කලාවට සම්බන්ධව සහ පුද්ගලිකව ගත කළ ඔබගේ සාමාන්‍ය ජීවිතය මේ දක්වා ගෙවී ගිය හැටි ආපස්සට හැරිලා බැලුවොත්?
මගේ ජීවිතයේ ඒ ආ ගමන දෙස ආපස්සට හැරිලා බලපු කෙනෙක් නොවෙයි මම. ජීවිතයේ හැමෝටම වගේ මටත් මතකයන් තියෙනවා. මම නිතරම බැලුවේ ඉස්සරහට මට මොනවද කරන්න පුළුවන්, වයසට ගියාම මම මොනවද කරන්නේ අන්න ඒ විදියට මම නිතරම ජීවිතයේ ඉදිරිය ගැන හිතන කෙනෙක්.
වයසට ගියාම මොනව කරන්නද හිතාගෙන ඉන්නේ?
කාටවත් කරදරයක් බරක් නැතුව ජීවත් වීමට තමයි අරමුණ. බැංකුවේ සල්ලි ටිකක් එහෙම ඉතුරු කරගෙන සැදෑ සමයේදී අවශ්‍ය දේ වෙනුවෙන් වියදම් කරන්න තියන්නත් එපෑයැ. ඒ හැරත් ලොකුම දේ කාටවත් කරදරයක් වෙන්න ඕනෑ නැහැ. හොඳ චරිත රංගනයකට දායක වෙලා සාමයෙන් සමගියෙන් කා එක්කත් ඉඳලා සතුටින් මියයාම තමයි අපේක්ෂාව.
ජීවිතයේ මෙතෙක් ගත්ත තීරණ සියල්ල ගැන සතුටු වෙනවද?
සතුටුවන වගේම එහෙම නොවූ අවස්ථාත් තියෙනවා. ජීවිතයේ හැටි එහෙමනෙ. හැබැයි ඒ මොහොතේ ගත්ත තීරණ ගැන පසුව පසුතැවෙන කෙනෙක් නොවෙයි. මොකද අපි ඒ වෙලාවේ තීරණ ගන්නේ ඒක හරි කියලා හිතලනෙ. ඒ වෙලාවේ එදාට සාපේක්ෂව හරි කියලා හිතපු දේ පසුව වැරදි වෙන්න පුළුවන්. ඒත් එදාට සාපේක්ෂව අරන් තියෙන්නේ හරි තීරණයක්නේ. ඒ නිසා පසුතැවීම් නැහැ. ජීවිතය කියන්නේ ඒ ගන්නා තීන්දු තීරණවලට අදාළව හරියන්නත් පුළුවන් පසුව වරදින්නත් පුළුවන්. හැමෝටම සියල්ල හරිම වුණාය කියලා දෙයක් නැහැනෙ. හැබැයි ඒ සෑම දෙයක්ම ජීවිතයේ ඉදිරියට අපි අත්දැකීම් බවට පත්කර ගන්නවා. ජීවිතය ගලා යන්නෙම අත්දැකීම් එක්කනෙ. ජීවිතය පසුකාලීනව සම්පූර්ණ වෙන්නේ අතීතයේ අපි ගන්නා තීන්දු තීරණ සහ මුහුණදුන් සියල්ල වෙතින් ලබන අත්දැකීම් සම්භාරය එක්කයි. ඒ නිසා මම නම් කියන්නේ ගෙවී ගිය ජීවිතයේ ඒ සියල්ල හොඳයි. ජීවිතය සැබෑ ලෙස වටහාගන්න පුළුවන් වෙන්නේ ඒ සියල්ල වෙතින් ලබන අත්දැකීම් එක්කයි.
පබෝදා ආදරණීය චරිතයක්ද? නැත්නම් දැඩි චරිතයක්ද?
මම හිතන්නේ සෑම විදියකටම ගතිගුණ එක්ක සංකලනය වූ චරිතයක්. එකම දේ මගේ ළඟ බොරුව නැහැ. ඒ ගැන මට සතුටුයි.
මේ කරන කියන සියල්ල හැර විවේකයේදී ඔබ වඩා කැමති මොන වගේ දේයින් ජීවිතය වින්දනය කරන්නද?
විවේකයක් ලැබුණාම ටිකක් වැඩිපුර නිදාගන්න ආසයි. ඒ වගේම කොහේහරි සංචාරයක් යන්නත් ආසයි. ඒත් කාර්යබහුල වුණාම ලැබෙන විවේකය ගෙදරට වෙලා ගත කරන්න තමයි වැඩිපුර ආසා කරන්නේ.
මේ දක්වා තවමත් ඉටු කරගන්න බැරි වූ කලා අංශයෙහි දක්ෂතාවයක් තියෙනවද?
ජීවිතයේ සමහර අවස්ථාවන් මට ලැබිලා තියෙන්නේ මම හිතලා නෙවෙයි. බොහෝ වෙලාවට මට අවස්ථා ලැබිලා තියෙනවා. ඒ හැර මට මෙහෙම ලැබිය යුතුයි, විය යුතුයි කියලා හිතන්නේ නැහැ.
එතකොට මේ දිනවල ජීවිතේ කොහොමද?
ජීවිතේ ටිකක් බිසි වෙලා. කලාවේ මේ කරන වැඩ කටයුතුත් එක්ක.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
හැඩගැන්වීම් - මරීනා පෙරේරා (Salon Marina)