කෞෂාල්ගෙන් භාග්‍යාට 'දියමන්ති මාලයක්'
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සිටින මහා පවුරක් වූ ආරම්භක පිතිකරුවකු ලෙස කෞෂාල් සිල්වා නම් කළ හැකියි. ටෙස්ට් ක්‍රිකට් ක්රීඩාවටම උචිත පිතිහරඹ රටාවක යෙදෙන මේ කෞෂාල් පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා පළමු පෙළ තරගාවලියේදී දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන හිමි කර ගත්තා. ඔහු ඒ හපන්කම කළේ තරග අටකදී ලකුණු 750 ක් ලබමින්. ඊට ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක් ඇතුළත් වුණා. මේ විදියට යළිත් ක්‍රිකට් පිටිය වර්ණවත් කරන කෞෂාල් විවාහ වී සිටින්නේ ටෙලි නාට්‍ය හා කේමදාස මාස්ටර්ගේ සංගීත ආභාෂය ලැබ රංගන හා විටෙක ගායන ශිල්පිනියක ලෙසත් මියුසික් වීඩියෝ සඳහා අපූරු රංගනයක යෙදෙන භාග්‍යා හෙට්ටිආරච්චි ශිල්පිනිය සමගයි. කෞෂාල් මේ සුන්දර බිරිඳට වඩාත් ආදරය කරන සැමියෙකි. භාග්‍යා ද එලෙසින්ම සැමියාට වඩාත් ආදරය කරන්නීය. ඇයගේ උපන් දිනය යෙදී තිබුණේ මැයි 8 වැනිදාටය. එදින කෞෂාල් හරි අපූරු තෑග්ගක් ඇයට තිළිණ කළේය. එය මියුසික් වීඩියෝවකි. භාග්‍යා ගැයූ ගීතයකට ඒ කටයුතු සියල්ල ඔහු කර තිබුණේ ඇයට උපන් දින තෑග්ගකට දෙන තිළිණයක් ලෙස නම් නොවේ. මැයි 8 වැනිදා උපන් දිනය ලැබූ මොහොතේදීම කළ මේ අපූරු පුදුම කරවීම නිසා භාග්‍යා පුදුමයට පත්ව සිටියාය.
කෞෂාල් බිරිඳ පුදුමයට පත් කළ මේ අපූරු තිළිණය ගැන කිව්වොත්?
භාග්‍යා කලාවේ බොහෝ අංශ වලට දක්ෂයි. ඒත් මා එක්ක විවාහ වුණාට පස්සේ එයා කලා කටයුතු වලට එතරම්ම දායක වුණේ නැහැ. රංගනය ගායනයට වගේ කලාවේ තවත් බොහෝ දේට එයා හරිම දක්ෂයි. නමුත් විවාහයෙන් පසුව එයා කළේ එයාගේ දක්ෂතා පැත්තකට දලා මට සහ මගේ ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින්ම උදව් කරන්න පටන් ගත්තා. ඒ නිසා නිතරම මම කල්පනා කළේ ඇයගේ කලා දක්ෂතාවය වෙනුවෙන් මා මොනවද කළ යුත්තේ කියලයි. ඇය කේමදාස මාස්ටර් යටතේ සංගීත ආභාසය ලබා, විවිධ නිර්මාණ වලට දායකව සිටියා. ඉතින් මේ ගැන හිතලා ඇයව පුදුම කරවන තරමේ දෙයක් කරන්න මට ඕනෑ වුණා. ඒ අනුව ‘හරි’ ක්රියේෂන්හි ළහිරු මුදලිගේ එක්ක කතා කරලා මියුසික් වීඩියෝ එකක් කරන්න සැලසුම් කළා. මීට ටික කලකට පෙර භාග්‍යා, ගීතයක් ගයලා තිබුණා. දේශාන් නෝනිස් සංගීතවත් කළ එය ලිව්වේ සජිත් චතුරංග. ඒ ගීතයෙ නම ‘දියමන්ති මාලය’. ඉතින් මේ ගීතයට අනුව හරි අපූරු ෆැන්ටසියක් වගේ දෙයක් අපට කරන්න ඕනෑ වුණා. මේක උපන් දිනයට කරන දෙයක් වත් මියුසික් වීඩියෝ එකක් වත් කියලා භාග්‍යාට කිව්වේ නැහැ. ළහිරු එක්ක පොඩි වැඩක් කියලා සියල්ල සැළසුම් කළා. ළහිරු තමයි භාග්‍යාට එන්න කියලා මේ වැඬේ පටන් ගත්තේ. මේක පවතින මියුසික් වීඩියෝ වලට වඩා සුන්දරම එකක් විදියට නිර්මාණය කරන්න අපට අවශ්‍ය වුණා. මේක ඇත්තටම සුන්දර හීනයක් වගේ නිර්මාණයක්. මේ විදියට නිර්මාණය කළ මේ ‘දියමන්ති මාලය’ හරියටම 8 වැනිදා එළැඹෙද්දී භාග්‍යාට තිළිණ කළා. උපන් දිනයට සුබ පතලා එය අන්තර්ජාලයට මුදා හැරීමට පෙර මේ විඩියෝ රූගත කරද්දී අපි විවිධ අවස්ථා වෙනමම රූගත කර තිබුණා. එය භාග්‍යාට පෙන්වීමට ඉඩ සලස්වා එයාගේ ගීතය යූ ටියුබ් වෙත මුදා හැරලා ඇයව පුදුම කරවන්න මේ නිසා පුළුවන් වුණා. ඒක මගේ අදසක් වුණාට මේ වගේ දෙයක් කරන්න ‘හරි’ ක්‍රියේෂන් ළහිරු මුදලිගේ ඇතුළු කණ්ඩායමත්, රංග ශිල්පී හේෂාන් ඇතුළු පිරිසක් ලබා දුන් දායකත්වය හරි ඉහළයි. මගේ හිත මිතුරු ඒ සියලූ දෙනා නිසා මේ උපන් දිනය දා භාග්‍යාට මේ විදියේ අපූරු තිළිණයක් දෙන්න පුළුවන් වුණා.
කෞෂාල් බිරිඳට හරිම ආදරෙයි වගෙයි පෙනෙන්නේ?
ඇත්තෙන්ම ඔව්. මගේ ක්‍රිකට් ජීවිතයේදී මාව වැටුණු අවස්ථාවලදී මගේ ඔළුව හදලා මාව සැහැල්ලූ කරලා මගේ දුකේදී වගේම සැපේදී මා වෙනුවෙන්ම කැප වූ හරි අපූරු බිරිඳක්. ඇය වෙනුවෙන් ඇයගේ දක්ෂතා එළි දැක්වීම වෙනුවෙන් මම ඇයට කුමක් කළ යුතුද කියලා මම නිතර හිතපු දෙයක්. පසුගියදා නිවාඩුවක් ලැබුණු නිසා අඩු තරමින් එයාගේ උපන් දිනය දවසේ දීවත් ඇයගේ නිර්මාණයක් මේ විදියට එළි දක්වන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.
භාග්‍යා, මේ විදියට අසීමිතව ආදරය කරන මේ ක්‍රිකට් සැමියා ගැන ඔබට දැනේනේ මොන විදියටද?
මම හිතන විදියට මේ ලෝකයේ වාසනාවන්තම බිරිඳ මමයි. එයා මාව පුදුම කරන්න කළ මේ අපූරු තෑග්ග ගැන මට හිතාගන්න වත් බැරි වුණා. විවාහකයදී එකිනෙකාගේ අදහස් ගැලපීම ඒ විවාහයේ සාර්ථක බවට හේතු වෙනවා. ඇත්තටම කෞෂාල් කියන්නේ මම හිතූ තරමටත් වඩා ඉතා ගුණ යහපත් හරි අපූරු සැමියෙක්. ඒ වගේ සැමියකු ලැබූ මම ඇත්තටම හරි වාසනාවන්තයි කියලා තමයි හිතෙන්නේ.
ඇයි භාග්‍යා විවාහයෙන් පසුව රඟ නොපෑවෙ?
අන්තිමට අයිටීඑන් රණා සහ සිරසෙ ආදර සංධ්වනියෙ රඟපෑවා. ඒ නාට්‍ය අතරින් අයිටීඑන් එකේ විකාශය වූ ලිලන්ත කුමාරසිරිගේ ඉඳුවරී නාට්‍යයේ මම රඟපෑ චරිතය ගැන බොහෝ දෙනා අදටත් කතා කරනවා. ඉන් පසුව මියුසික් වීඩියෝ දෙක තුනකට පෙනී සිටියා. ඒත් විවාහයෙන් පසුව මම මුල් තැන දුන්නේ විවාහ ජීවිතයටයි. මගේ සංගීත දිවියේ කළ පළමු නිර්මාණය මෙම ‘දියමන්ති මාලය’ මියුසික් වීඩියෝවයි. කෞෂාල් ඊට මුල් වීම ඇත්තටම භාග්‍යයක්.
හැඩ ගැන්වීම් - නයන උජිත්
විලාසිතා - වෙනුක වික්‍රමාරච්චි