කෝමාලි කිංග්ස් චිත්‍රපටය තමයි මගේ පළමු සිනමා නිර්මාණය
මේ දිනවල තිරගත වන කෝමාලි කිංග්ස් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි නවක නිළියක් තමයි නෙකිටා රෙෂානි කියන්නේ. නෙකිටා ක්ෂේත්රයට පැමිණෙන්නේ රූපවාහිනියේ විකාශය වූ ‘බටහිර අහස’ තුළින්. ඉන් අනතුරුව නිරූපණ ශිල්පිනියක ලෙස කාලයක් කටයුතු කරන නෙකිටා සාරවිටට කතා කළේ මේ විදිහට.
මගේ නම නෙකිටා රෙෂානි. මම කාලයක් නිරූපණය කළා. ඊටපස්සේ මම රංගනයට දායක වුණා. මේ දවස්වල තිරගත වන කෝමාලි කිංග්ස් චිත්‍රපටයේ බේබි කියන චරිතයට රංගනයෙන් දායක වෙනවා. මම රඟපාන්නේ බාබත් බාබාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට. කෝමාලි කිංග්ස් චිත්‍රපටය තමයි මගේ පළමු සිනමා නිර්මාණය.
ඔබ නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
රූපවාහිනියේ ‘බටහිර අහස’ කියලා ප්‍රෝ ග්‍රෑම් එකක් තිබුණා. ඒක හරහා තමයි මම නිරූපණයට යොමු වෙන්නේ. ඊටපස්සේ රූපවාහිනියේ නාට්‍යවල ඇක්ට් කළා. ‘කොළඹ අහස’, හිරු නාලිකාවේ නාට්‍යවලට සම්බන්ධ වුණා. මියුසික් වීඩියෝ දෙකකට පමණ දායක වුණා. මම ෆීල්ඩ් එකට ඇවිත් ටික කාලයක් වුණාට මම වැඩිය වැඩ කළේ නැහැ. මොකද හොඳ නිර්මාණ ලැබෙනකල් මම හිටියා.
අපි කෝමාලි කිංග්ස් චිත්‍රපටය ගැන කතා කරමු?
කෝමාලි කිංග්ස් කියන්නේ ලංකාවේ අවුරුදු 40කට පස්සේ කරන ටැමිල් ෆිල්ම් එකක්. කෝමාලි කිංග්ස් චිත්‍රපටයෙන් ලංකාවේ දෙමළ සිනමාව ආයෙත් නැගිටිනවා. මට ඒකට සම්බන්ධ වෙන්න වාසනාව ලැබුණා. මේ චිත්‍රපටයේ ටැමිල් ෆිල්ම් එකක් වුණාට සිංහල දෙබස් එහෙම තිබුණා. ප්‍රියන්ත සිරිකුමාර අයියා තමයි සිංහල දෙබස් නිර්මාණය කළේ. ප්‍රියන්ත අයියත් මට ගොඩක් උදවු කළා මගේ ඇක්ට් එක හදාගන්න. මේ චිත්‍රපටය 100%ක් ලංකාවේ නිෂ්පාදිත චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. මේ චිත්‍රපටය ටැමිල් වුණාට සිංහල උප සිරැසි තියෙනවා. එතකොට ෆිල්ම් එකේ ලොකේෂන් හරිම ලස්සනයි. අපි ට්‍රේලර් එක එළියට දැම්මම ගොඩක් අය අහලා තිබුණා මේක කළේ ලංකාවෙමද කියලා. යාපනය, නුවරඑළිය, නුවර වගේ තැන්වල තමයි රූගත කළේ. ඇත්තටම ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවාද කියලා අපි දැනගත්තෙත් මේ චිත්‍රපටය නිසා.
කෝමාලි කිංග්ස් චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?
විශ්ව කියලා මම දන්න අංග රචනා ශිල්පියෙක් තමයි මට කිව්වේ ටැමිල් ෆිල්ම් එකක ඉන්ටර්වීව් එකක් තියෙනවා සහභාගි වෙන්න කියලා. ඊටපස්සේ මම ඒකට සහභාගි වුණා. එතැන හිටියා ෆිල්ම් එකේ ඩිරෙක්ටර් කිංග් රත්නම් අයියා. එතැනදි මට දෙබස් වගයක් දුන්නා. ඒවා මම සිංහල භාෂාවට හරවාගෙන කිව්වා. තව පොඩි ඇක්ට් එකක් තිබුණා. ඒකත් කළා. ඊටපස්සේ මට කෝල් කරලා කියන්නම් කිව්වා. ඊටපස්සේ මම ගෙදර යද්දීම මට කෝල් කරලා කිව්වා මාව ඒ චරිතයට තෝරා ගත්තා කියලා. මම ඊටපස්සේ ගොඩක් ටැමිල් ෆිල්ම් ස්ටඩීයි කළා. කිංග් අයියත් මට ෆිල්ම් ටිකක් දුන්නා බලන්න කියලා. වෙන අයට නම් වැඩමුළු තිබුණා. ඒත් මට ඒ වැඩමුළුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මාව තෝරාගනිද්දී ඒ වැඩමුළු ඉවරයි.
කෝමාලි කිංග්ස් චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන කතා කරමු?
මගේ චරිතය තමයි බේබි කියන්නේ. මම රඟපාන්නේ බාබත් බාබාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදිහට. බාබත් බාබා කියන්නේ පාතාල නායකයෙක්. එයාට ඇක්ට් කළේ ගජන් අයියා. එතකොට මට මුලින්ම රඟපාන්න ලැබුණේ දර්ශන් ධර්මරාජ් අයියත් සමගයි. ඒ වගේ අත්දැකීම් තිබෙන අයත් සමග රඟපාන්න ලැබුණු එක මගේ වාසනාවක්. මට රූගත කිරීම් තියෙද්දි හැමෝම උදවු කළා. කිංග් අයියා ගොඩක්ම උදවු කළා. පස්සේ පස්සේ රූ ගත කිරීම් කරද්දී මට බයක් දැනුණේ නැහැ. එතන හිටපු හැමෝම එක පවුලක් වගේ තමයි වැඩ කළේ. මොකද එතන අලුත් අයයි අත්දැකීම් තියෙන අයයි ගොඩක් හිටියා. අවුරුදු දෙකක් විතර වෙනවා චිත්‍රපටය රූ ගත කරලා. ඊටපස්සේ ෆිල්ම් එක රිලීස් වුණාම මට ගොඩක් හොඳ කමන්ට්ස් ආවා. හොඳ ප්‍රතිචාර තියෙනවා මුළු චිත්‍රපටයටම. එතකොට මගේ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒකට මට ගොඩක් සතුටුයි.
නෙකිටා වෘත්තීමය නිරූපණ ශිල්පිනියක්ද?
ඔව්. මම නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්රයට ආවාට මම කැමතියි විවිධ විවිධ චරිත නිරූපණය කරන්න. මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන චරිතයක් කරන්න මට ආසාවක් තිබුණා. ඒ ආසාව ඉටු කළේ කිංග් අයියා. මට තිබුණු ලොකු හීනයක් හැබෑ කරගන්න පුළුවන් වුණා මේ චිත්‍රපටය නිසා.
මේ චිත්‍රපටයෙන් අනතුරුව තවත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?
ආරාධනා කිහිපයක් ලැබුණා. මේ චිත්‍රපටයේ මගේ චරිතයට මම උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා මට හැමෝම කිව්වා. ඒක නිසා ආයෙත් නිර්මාණයක් කරද්දී මේ වගේ හොඳ නිර්මාණ විතරක් කරන්න කියලා මට ගොඩක් අය කිව්වා. ඒක නිසා මම හොඳ නිර්මාණවල විතරක් ඉදිරියේදී දකින්න ලැබෙයි.
මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහාය කොහොමද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා ගොඩක් උදවු කරනවා. එතකොට මගේ මල්ලි, පුංචි අම්මා මේ හැමෝම මට ගොඩක් උදවු කරනවා. කෝමාලි කිංග්ස් චිත්‍රපටය රූගත කිරීම් කරද්දි අපේ ආච්චි නැති වුණා. එයත් ගොඩක් ආසාවෙන් හිටියා මගේ හොඳ නිර්මාණයක් දකින්න. මගේ ගොඩක් ෂූට්වලට මේකප් කරන්නේ අම්මා. එතකොට කස්ටියුම් තෝරලා දෙන්නේ පුංචි. එයා රට ඉන්නේ. එයා මට කස්ටියුම් තෝරලා එවනවා.
අපි කතා කරමු ඉදිරි බලාපොරොත්තු සහ ඉදිරි වැඩකටයුතු ගැන?
හොඳ නිර්මාණ හරහා ක්ෂේත්රයේ ඉදිරියටම යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මට ගැළපෙන හොඳ චරිත තෝරාගෙන ඒ චරිතයට සාධාරණයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
අපි අවසාන වශයෙන් කියමු මේ ගමනට උදවු කරපු අය ගැන?
මුලින්ම මගේ පවුලේ අයව මතක් කරන්න ඕනේ. ඊටපස්සේ කිංග් අයියාව මතක් කරන්න ඕනේ. එතකොට ප්‍රියන්ත සිරිකුමාර අයියා, විශ්ව, චිත්‍රපටයේ හැමෝටම මම ස්තූතියි කරනවා.
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද