කොහේ ගියත් අම්මා එක්ක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210113Amanda (1)2021 සඳැල්ල පළමු සතියේ කවරයේ පෙනී සිටින ඇය අමන්දා ජයරත්නය. සිඳු නාට්‍යයේ රුක්ෂි සමග හමු වන සුරූපී අමන් දා කවුද? මේ කතා බහ ඇය සමගයි. 

• අමන්දා මුලින්ම රඟපෑවෙ? 

2017 දී නීල පබළු නාට්‍යයේ. ඒකේ චරිත​ෙය නම මොනිකා. 

• ඉගෙන ගත්තේ මොන වගේ ගමනක් යාමේ අරමුණ ඇතිවද? 

මුලින්ම මම රඟපෑමට එන කොට, මගේ වයස අවුරුද්දයි. මුලින්ම රඟපාද්දි මමවත් දන්නේ නැහැ. හැබැයි ඉන් පසුව හැදි වැඩුණු පසු අධ්‍යාපන කටයුතු එක්ක රඟපැමට ගියේ නැහැ. පොඩි කාලයේ අවුරුද්දක වයසින් පසුව ආයෙත් රඟපැමට එක් වුණේ වයස 17 දීයි. 

• අමන්දාගේ ගම ? 

සීදුව. 

• පවුලේ විස්තර? 

අම්මයි තාත්තයි මමයි විතරයි. තාත්තා සේවය කරන්නේ ඕමාන් නේවි එකේ. 

• අමන්දාට තියෙන්නේ මොන වගේ අරමුණක් ද? 

මම හදාරන්නෙ ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධිය. තවම උපාධිය නිම කරලා නැහැ. ඊට අමතරව රංගනය ගැන ඉගෙනීම් කරනවා. මට ඕනෑ කරන්නේ රංග කලාව ගැන ඉගෙන ගනිමින් හදාරමින් ගමනක් යාමටයි. 

• රංගනයට එන්න හිතුවෙ ඇයි ? රූපය නිසා ද ? 

රූපය ගැන හිතලාම නෙවෙයි. ලාබාල වයසේ ඉඳලාම දැන්වීම් වලට එහෙම පෙනී සිටින්න ලැබුණා. ඒ පරිසරය සහ වට පිටාව නිසා. යොවුන් වියේ දී ලලිත් වසන්ත සර් නිසා රඟපෑමට අවස්ථාව ලැබුණා. මුලින්ම පිරිසක් මාව හඳුනා ගත්තේ නිල පබළු. මොනිකා නිසයි. 

• රඟපෑමට අද ලැබෙන ආරාධනා එහෙම කොහොම ද? 

ආරාධනා ලැබෙනවා. ඒත් ගොඩ බදාගෙන කාර්ය බහුල වෙන්න මම කැමැති නැහැ. ලොකුවට බිසි වෙලා වැඩ කරන්න ගියාම ඒ නිසා සමහර විට කරන දේ හරියට කරන්න බැරි වෙයි. මොකද තවම මම ක්ෂේත්‍රය ගැන හදාරමින් සිටින කෙනෙක්නෙ. දැනට නියමිත දේ හරියට කරලා ඉවර කිරීම මගේ අරමුණයි. 

• අමන්දා සැබෑ ජීවිතයේ මොන වගේ තරුණියක් ද? 

අහිංසකයි. මිනිසුන්ට බොහෝම ආදරය කරන, වැරැද්දට වැරදියි කියන, කෙලින් කතා කරන කෙනෙක්. හැමෝටම උදවු කරගෙන ආදරණීයව සිටින තරුණියක්. අසාධාරණයේ දී කට වහගෙන නම් ඉන්නේ නැහැ. සා/පෙළ සහ උසස් පෙළ ඉවරවෙලා හිටපු කාලයේදී විසඳුම් අවශ්‍ය පවුල් වල අය වෙනුවෙන් උපදේශන කටයුතු පවා කළා. 

• පවුලේ එකම දරුවා මේ විදියට රඟපෑම සහ නිරූපණයට යනවා ගෙදරින් මොනව ද කියන්නේ ? 

තාත්තා නම් කියන්නේ ඔයා කැමති දේ කරන්න වැඩ ගොඩාක් බාර ගන්න එපා. තමුන්ට පුළුවන් ප්‍රමාණය කරන්න. හැබැයි කොහේ ගියත් අම්මා එක්ක යන්න කියලයි. තාත්තාගේ නීති ටිකක් තදයි. මගේ එකම අරමුණ හොඳම නිළිය සහ සම්මානනීය නිළියක වීමයි. ඒ යන ගමන වෙනුවෙන් හදාරනවා. නරඹනවා. කියවනවා. බොහෝ දේ පරිශීලනය කරමින් ඉන්න කෙනෙක්. ලැබෙන චරිතයට බොහොම සාධාරණයක් කරන්න කැමැති කෙනෙක්. 

• ඉදිරියේ ලැබී තිබෙන ප්‍රධාන චරිත ​මොනව ද? 

නිර්මාණ දෙකක රඟපෑම් ලැබී තිබෙනවා. මේ අවුරුද්දෙ ඒ නිර්මාණ දෙකම විකාශනය වේවි. දැනට විකාශය වන සිඳු නාට්‍යයේ රුක්ෂිට ලැබෙන ප්‍රතිචාර හොඳයි. රුක්ෂිට පුංචි ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ආසයි. ඒ චරිතය මගේ සැබෑ ජීවිතයට තරමක් සමීපයි. රුක්ෂි ජීවත් වුණේ කැනඩාවේ. ඒත් එයාට ලංකාව ගැන කැක්කුමක් තියෙන කෙනෙක්. එයා එයාගේ මව් රටට ආදරය කරන සතුටින් ඉන්න කැමැති කෙනෙක්. සැබෑ ජීවිතයේදී මාත් දුක කියන දේට අකමැති කෙනෙක්. සතුටින් ඉන්න කැමති කෙනෙක්. 

• දැන් අමන්දාගේ වයස කිව්වොත්? 

අවුරුදු 22ට ලබන්නේ. 

• මේ ගෙවී ගිය ජීවිතය ගැන හිතෙන්නේ කො​හොම ද? 

ජීවිතය දුක සතුට බාධක කම්කටොළු එනවා. හැබැයි මගේ මේ ගෙවී ගිය ජීවිතයේ දී ලැබිලා තියෙන්නේ. ජීවිතයට සතුට දැන වූ දේ විතරයි. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. මිනිස්සු හැමෝම එක්ක මම හොඳින් සිටින කෙනෙක්. හැමෝටම එක වගේ ආදරෙයි. මම වෛරයෙන් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසාම දෝ මගේ ජීවිතය සුන්දරයි. 

• රංගනය මොන විදියට ද දැනෙන්නේ ? 

හරි නිදහස් අංශයක්. කරන දේ හරියට කළොත් හැමෝම හොඳ කියනවා. වැරදි තැනැක් තිබුණොත් පෙන්නලා දෙනවා. ඒකට මම ආසයි. රංගනය කියන්නේ අඩුපාඩු හදාගෙන අත්දැකීම් ප්‍රගුණ කරගෙන යා යුතු ගමනක්. 

• තරුණ වයසේ දී ආදරණීය යෝජනා වලින් ඈත් වෙන්නත් බැහැනෙ. ආදරය වෙනුවෙන් තරුණයන්ගෙන් ලැබෙන යෝජනාවලට ප්‍රතිචාර දක්වන්නේ ​කොහොමද? 

මගේ වයස අවුරුදු 17 ඉඳලාම මට යෝජනා එනවා. ගෙදරින් තමයි ඒවාට පිළිතුරු දුන්නෙ. මම ඉගෙන ගනිමින් සිටි නිසා ඒ ගැන පහදලා දුන්නා. ආදරය කරන්නත් වයසක් එනවනෙ. අදටත් යෝජනා නම් එනවා. ඒත් යෝජනා බාර ගන්න මම කැමති නැහැ. මම ප්‍රපෝසල්වලට අකමැති කෙනෙක්. මම ආගම දහමට කැමති, ආගම අදහන කෙනෙක්. කතෝලික ආගමේ කෙනෙක් ලෙස දෙවියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ. කවදාහරි මම වගේම හිතන පතන කෙනෙක් මට හමුවේවා කියලයි. කොහේ හරි කෙනෙක් ඉරණමේ හැටියට ඉන්නවා කියලා කතාවක් තියෙනවා. මගේ කෙනත් කොහේ හරි ඇති ? හරි වෙලාවට එයාව මට මුණ ගස්වන්න. මට හදිසියක් නැහැ. දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ එහෙමයි. මම වගේම හිතන පතන වගේම ලස්සනත් වෙන්න ඕනෑ. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. 

• අද අපි ඔබ වෙතින් දකින දක්ෂතාවලට අමතරව තව වෙන මොනවට ද අමන්ද දක්ෂ? 

මම නර්තනය කළ කෙනෙක්. ලතින් ඇමරිකානු වගේම, බොලිවුඩ් නර්තනයටත් හැකියාව තියෙනවා. අපේ උඩරට, පහතරට නර්තනය කොහොමටත් පුළුවනි. මේවා හැර මට හොඳට උයන්නත් පුළුවනි. මම හිතන්නේ මට කටට රහට කෑමක් හදා ගන්න පුළුවනි. 

• හරි අපි ඒ ගැන අම්මාගෙනුත් අහලා බලමු ද? මේ දුව කියන්නේ ඇත්ත ද කියලා ? 

අපොයි. අහන්න.

• අමන්දගේ අම්මේ (ඉනෝකා පෙරේරා) මේ දුව ගැන මොනව ද කියන්න පුළුවන් ? 

දුව උපන්න දවස තමයි මගේ ජීවිතයේ ලස්සනම දවස. ඒ දවස කවදාත් මට අමතක වෙන්නේ නැහැ. හොඳ වටිනා මැණිකක් මට ලැබුණෙ. අද කාලයේ පරම්පරාව දිහා බැලුවාම මට මගේ දුව හොඳම කෙනෙක්. අද කාලයේ මේ වගේ හොඳ ගති ගුණ තියෙන දරුවකු දකින්න ලැබීමත් අපේ වාසනාවක්. මගේ දුව හින්දා අතිශයෝක්තියෙන් කියන දෙයක් නොවෙයි. එයා කීකරු, නිහතමානි ගුණ ගරුක චරිතයක්. කවදාවත් මට විරුද්දව කටයුතු කළ කෙනෙක් නෙවෙයි. ජ්‍යෙෂ්‍ඨයන්ට හරියට ගරු කරන ළමයෙක්. ජ්‍යෙෂ්‍ඨයන් මෙයාට හරිම ආදරෙයි. 

• එයා රසයට උයන්නේ මොනවද? 

දුව උයන හැම දෙයක්ම හරිම රසයි. අත් ගුණය හරිම හොඳයි. අමන්දා කියලා අපි එයාට නම දැම්මේ ප්‍රිතියට පත්වන කියන තේරුම ඇතිවයි. ඒ අරුත සැබෑ කරමින් අපේ ජීවිතවලට එයා සතුටක් ගෙන දුන් දියණියක්. 

පසුතලය – SPA CEYLON (ඇතුල්කෝට්ටෙ) 
විලාසිතා - කණිෂ්ක සසබෝ ඩයස් (Shringaar)
මල් සැරසිලි -  KANDYAN Flora (නුගේගොඩ) 
හැඩ ගැන්විම – නදීෂා ඉලංගකෝන් (Saloon Eleganat) 
නිය විලාසිතා (House Of Nails) 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20210113Amanda (2) 20210113Amanda (3) 20210113Amanda (4)