කොච්චර කෑවත් හැම තිස්සෙම මට බඩගිනි දැනෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-12-18-ent-69

සුලක්ඛනා... ඔයාගේ ගම කොළඹ නෙමෙයිනේ... කියමුනේ.. ගම් පළාත ගැන එහෙම...

ඔව්... මගේ ගම නුවර අම්පිටිය කියන ප්‍රදේශයේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි නංගියි විතරයි. මම දැනට පරිගණක මෘදුකාංග ඉන්ජිනේරැ විද්‍යාව හදාරමින් ඉන්නවා. ඇත්තටම ඉස්කෝලේ යන කාලේදීවත් මම පාසල් නාට්‍යකටවත් සම්බන්ධවෙලා නෑ. මට හොඳ යාළුවෝ කට්ටියක් ඉන්නවා. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා කංචක කියලා. එයා තමයි මාව චාමර අයියට හඳුන්වලා දීලා බටහිර අහස නාට්‍යයට සම්බන්ධ කළේ.

 

තාමත් චාමර ඇතුළු ‘බටහිර අහස’ කණ්ඩායම සුලක්ඛනාව බයිට් කරනවද?

2017-12-18-ent-68ඔව්නේ... එයාලට වෙලාව ලැබුණු හැමවෙලේම මාව බයිට් කරනවා. මම තමයි ‘බටහිර අහස’ කණ්ඩායමේ ඉන්න පොඩිම කෙනා. ඉතින් මාව තමයි හැමෝටම බයිට් වෙන්නේ.

 

ඇයි සුලක්ඛනාගේ ෆෝන් එකට කට්ටිය කෝල් දීලා විෂ් කරන්නේ...?

අනේ... ඒවා කොහොමද දැනගත්තේ.. මෙහෙමයි වුණේ. ‘බටහිර අහස’ ටෙලි නාට්‍යයේ පළවෙනි කොටස විකාශනය වුණාට පස්සේ ‘බටහිර අහස’ කණ්ඩායමේ අයියලා දෙන්නෙක් තුන්දෙනෙක් මට කෝල් කරලා ‘අනේ ඔයාගේ රඟපෑම හරි ලස්සනයි. ඔයා හොඳට රඟපාලා තියෙනවා’ එහෙම කිව්වා. හැබැයි හොඳ වෙලාවට ඒ අයියලාගේ නම්බර් මගේ ෆෝන් එකේ සේව් වෙලා තිබුණේ. ඉතින්... මම ඒ වෙලාවේ කිව්වා ‘බොරැ කියන්නෙපා.. මම දන්නවා කවුද කියලා’ කියලා.

 

හැබැයි ඊට පස්සේ දන්නේ නැති ෆෝන් නම්බර්වලින් කතා කරද්දී සුලක්ඛනා ආන්සර් කරන්නේ නැහැලු...?

ඔව්නේ... ඊට පස්සේ මම දන්නේ නැති නම්බර්වලින් කතා කරලා විෂ් කරද්දිත් මම හිතන්නේ අපේ ‘බටහිර අහස’ කණ්ඩායමේ වැඩක් කියලා. ඒ නිසා ඒ මුල් දවස්වල මම ෆෝන් එකත් ආන්සර් කරන්නේ හරිම බයෙන්.

 

‘බටහිර අහස’ ටෙලිනාට්‍යයේ රඟපාද්දී ශලනිගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

ශලනි අක්කා කියන්නේ ගොඩක් ගොඩක් හොඳ අක්කා කෙනෙක්. චාමර අයියා දන්නවා ශලනි අක්කා කොහොමද මාව පරිස්සම් කරන්නේ කියලා. ශලනි අක්කා රඟපෑම ගැන මේ ක්ෂේත්‍රයේ බොහෝ දේවල් කියලා දුන්නා. අදටත් එහෙමම තමයි. ශලනි අක්කා ළඟදී මම කොච්චර ආරක්ෂාකාරීද කියලා මම දන්නවා. දවස් කීපයක්ම මම ශලනි අක්කාගේ ගෙදර ගිහින් නැවතිලා පවා හිටියා. දවසක් ‘බටහිර අහස’ ටෙලිනාට්‍යයේ වැඩ ඉවර වෙලා අපි කීපදෙනෙක් ෆිල්ම් එකක් බලන්න ගියා. එදත් ශලනි අක්කා මගේ ළඟින්ම වාඩිවෙලා මාව පරිස්සම් කළා. ඇත්තටම ශලනි අක්කා මගේම අක්කා කෙනෙක් වගේ ගොඩක් හොඳින් මාව බලාගන්නවා.

 

එතකොට සාරංග...?

සාරංග අයියත් ඒ වගේ තමයි. රඟපාද්දී මගෙන් වෙන අඩුපාඩු සාරංග අයියා මට කියලා දෙනවා. මම මේ ෆීල්ඩ් එකට අලුත්ම කෙනෙක්. මම ගොඩක් දේවල් දන්නේ නෑ. ඉතින් සාරංග අයියගෙන් මම බොහෝ දේවල් ඉගෙන ගන්නවා.

 

එරංග ජීවන්තත් ‘බටහිර අහස’ ටෙලිනාට්‍යයේ තවත් ප්‍රධාන චරිතයක්. කොහොමද එරංග?

අම්මෝ එරංග අයියා එක්ක වැඩ කරන එක ගොඩක් ලේසියි. එරංග අයියා හරි ෆනී. එයත් එක්ක ඉඳිද්දී හරිම රිලැක්ස්. වෙලාවකට එරංග අයියත් මාව බයිට් කරනවා. හැබැයි හරි හොඳයි.

 

ඔහොම හිනාවෙලා ඇස් රතු වෙච්චි සිදුවීම් නැද්ද?

අම්මෝ වෙලා තියෙනවා. දවසක් එක ෂූට් එකක් තිබුණා ශලනි අක්කයි, එරංග අයියයි, සුදර්ශන අයියයි තුන්දෙනත් එක්ක එක පාරටම පුටුවලින් නැගිටින කොටසක්. දැන් ඔන්න චාමර අයියා කියපු ගමන් අනිත් තුන්දෙනා නැගිට්ටා. මම අමතක වෙලා පුටුවේම වාඩිවෙලා හිටියා. ඒක දැකපු චාමර අයියා ‘මොකද්ද නංගි. මොන සිහියෙන්ද ඉන්නේ’ කියලා ටිකක් හයියෙන් කිව්වා. මගේ ඇස්වලට එක පාරටම කඳුළු ආවා. හැමෝම ඒක දැක්කා. ටික වෙලාවක් මාව සනසලා ආයේ ඒ ටේක් එක ගත්තා.

 

අනිත් හැමෝටම කලින් ඔයාට බඩගිනි හැදෙන්නේ ඇයි...?

අනේ මන්දා... මට ඉක්මනට බඩගිනි හැදෙනවා. ඉතින් මට බඩගිනි හැදුණම මම චාමර අයියා ළඟට ගිහින් ‘අයියේ... අපි කමුද’ කියලා අහනවා. සමහර වෙලාවට අනිත් අයට බඩගින්නක් ඇත්තෙම නෑ. ඉතින් සමහර දවස්වලට චාමර අයියා ‘ඇයි නංගි දැන් ටිකකට කලින්නේ තේ බිව්වේ’ කියලා කියනවා. හැබැයි සමහර වෙලාවට අනිත් අයට බඩගින්නක් හැදුනොත් ‘නංගි ඔයාට තාම බඩගිනි වුණේ නැද්ද’ කියලා මගෙන් අහනවා. දවසක් මට හොඳටම බඩගිනි වුණා. හැබැයි ඒ වෙද්දී එතනට කෑම ගෙනල්ලා තිබුණේ නෑ. ඒ නිසා චාමර අයියා ළඟ තිබුණ රෙස්ටුරන්ට් එකකින් මට කන්න අරගෙන දුන්නා. ඇත්තටම චාමර අයියා ඇතුළු හැමෝම මට ආදරෙයි. ඒ වගේ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම වාසනාවක්.

 

Text -Dishani / Pic- Sumudu

 

2017-12-18-ent-67