කෙල්ලො වගේ කොල්ලො චීත්ත වැඩ කරන්නේ නැහැ
ටිකක් වෙනස් විදියෙ චරිතවලින් ප්‍රේක්ෂකයින් අතරට එන්න කැමති,රංගනය පිළිබඳව මනාව හැදෑරීමක් කරලා ක්ෂේත්රයට පිවිසුන කෙනක් ගැනතමයි අද Saaravita.lk වෙතින් හදුන්වා දෙන්නට යන්නේ. ඇය ගැන දැනගන්න පසුගිය දිනක අපි ඇය හා පුංචි පිළිසඳරක නිරතවුණා.
මුලින්ම ඔයාගෙ ගැන විස්තර ටිකක් කියන්නකෝ.
මගේ නම ආශා දර්ශනී විතානගේ. මම දැනට පදංචිවෙලා ඉන්නේ දෙහිවල. වයස අවුරුදු 29යි. අම්මා, අක්කලා දෙන්නා සහ මම තමයි මගේ පවුලේ ඉන්නේ. මගේ ආදරණීය තාත්තා නම් මීට වසරකට කලින් මියගියා.
ඔබේ අධ්‍යාපනය ගැනත් ටිකක් කතාකරමු.
දෙහිවල Presbitiriyan බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළවෙනකම් අධ්‍යාපනය හැදෑරුවා. මම පාසලේ ශිෂ්‍යනායිකාවක් ලෙස කටයුතු කළා. උසස් පෙළින් පසු නීති විද්‍යාලයට ඇතුලත්වීමට ලකුණු කිහිපයක් මදි වුණා. ඊට පස්සේ මම මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගනය ගැන අවුරුදු හතරක් පමණ ඉගෙන ගත්තා.
ඔබ ක්ෂේත්රයට ඇවිත් කොපමණ කාලයක් වෙනවද?
දැනට අවුරුදු 04කට ආසන්න කාලයක් වෙනවා.
ඔබ දායකවුනු නිර්මාණ මොනවාද?
මම දැනට මියුසික් වීඩියෝ කිහිපයකට දායක වෙලා තියෙනවා. ඉන් කිහිපයක් නිකුත් වෙලා තියෙනවා. ඊට අමතරව සල්සපුනා ටෙලිනාට්‍යයේ මාධ්‍යවේදිනියකගේ චරිතයක් කළා. ඉන්පසුව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ ආරාධනාවකට ඉලන්දාරි හැන්දාව නාට්‍යට සම්බන්ධ වුනා. ඒ වගේම ලාල් ප්‍රියදේව සර්ගෙ චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඊට අමතරව වේදිකා නාට්‍ය කිහිපයක් සඳහාත් දායක වුනා.
ඒ වගේම මේ දිනවල කාසි ටෙලිනාට්‍යයේ මලී කියන චරිතයටත්, වාසිටි ටෙලි නාට්‍යයේ ආශා කියන චරිතයටත් පණපොවමින් සිටිනවා.
ක්ෂේත්රයේ ලබපු අත්දැකීම් මොනවගේද?
අපිට විවිධාකාර මිනිසුන් හම්බවෙනවා. ඉතින් ඒ හැම හමුවීමකදීම යමක් ඉගෙන ගන්න ලැබෙනවා. ගොඩක් අය අවස්ථාවාදීන් කියලා ටික කාලයකදී තේරුම් යනවා.කාටවත් වෛර කරන්න හොඳ නෑ අපි මිනිස්සුනෙ. අපි කාගෙත් හොඳ නරක දෙකම තියෙනවා. අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඒ නිසා කාටවත් වෛරනොකර තමන්ගේ ගමන යන්න ඕනෙ.
ඒකියන්නෙ මිතුරුවෙසින් ඉන්න සතුරොත් ඉන්නවාද?
ඕනෙ තරම් ඉන්නවා. ඒත් මන් එකක් කියන්නම්. සාමාන්‍යයෙන් කෙල්ලො කෙල්ලන්ට කොච්චර හොඳින් හිටියත් ඊරිසියා කරනවා. ඒත් මූණෙන් පෙන්නන්නෙ නැහැ. අපේ දක්ෂතාවයෙන් යම් තැනකට එනකොට බලන් ඉන්න බැහැ. ඒවගේ අය තමයි මා වටා ගොඩක් හිටියෙ. ආදරෙන් සහෝදරියක් වගේ, අම්මා කෙනෙක් වගේ රැක බලාගත්තාම අන්තිමට, පුළුවන් තරම් පහත්විදියට අපිට සලකලා තමයි යන්නේ. කොල්ලොත් එහෙම නැතිවම නෙවෙයි. ඒත් කෙල්ලො වගේ නෑ. අපි එහෙම අයට කියන්නේ චීත්ත කියලා.
පවුලේ අයගෙන් ඔබට ලැබෙන සහයෝගය මොනවගේද?
ඇත්තටම ඒ ගැන වචනයෙන් කියන්න බෑ. ඒ තරමට සහයෝගයක් දෙනවා. මගේ දක්ෂතාවය තියෙනවා කියන එක ඒ අය විශ්වාස කරනවා. ඒකම මට ලොකු ශක්තියක් සහයෝගයක්.
ආශාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
ඉදිරියේදී තවත් හොඳ නිර්මාණවලට දායක වෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂයෙන්ම සම්භාව්‍ය ඝනයේ රංගනයක් කරන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නවා. රංගන සම්බන්ධ මගේ ප්‍රධාන බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මම ඉදිරියේදී සාරවිට.lk වෙත අනිවාර්යෙන් කියන්නම්. මම යම්තැනකට ඇවිත් ඒ ගැන කියන්න ඕනේ කියලා මට හිතෙනවා. මාව සර්ථක රංගශිල්පිණියක් විදියට මගේ අම්මා මාව දකින්න ඕනේ. ඒක මගේ හීනයක්.
හොඳහැටි මුදල් තියෙන කාලෙක දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න මම ලොකු ආසාවකින් ඉන්නවා.
ඔබට උදව් උපකාර කළ මතක් කළ යුතුම පිරිසක් ඇති. ඒ අය ගැනත් කියමු නේද?
අම්මා, තාත්තා, අක්කලා අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. විශිෂ්ඨ නළුවෙක් උනත් පොලොවෙ පයගහලා ඉන්න දර්ශන් ධර්මරාජ් මහතා අමතක කරන්න බෑ, හොඳ සහෝදරයෙක් විදියට හැමවෙලාවෙම ශක්තියක් වෙනවා.
ගිවන්ත අර්තසාත්, ජනක අත්තනායක මාව විස්වාස කරලා ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධකරගත්තා. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු මා මේ වනතුරු නියැලුනු වැඩකටයුතුවල සියළු අධ්‍යක්ෂකවරු මතක්කරනවා.
විශේෂයෙන්ම මහේන්ද්‍ර පෙරේරා මහත්මයා මතක් කරන්න ඕනේ. ඔහු තමයි මගේ රංගනයේ ගුරුවරයා. කිසිම ලෝබකමක් නැතිව මට වගේම ළමයෙකුටම උගන්වන උතුම් මනුස්සයෙක්. ප්‍රදීප් රාමවික්‍රම, චාමර ප්‍රියදර්ශන කියන අයවත් මතක් කළ යුතුමයි.