කෙනෙකුගේ හිතක් හදලා මම ලොකු තෘප්තියක් ලබනවා
වෘත්තීයෙන් මනෝ විද්‍යා උපදේශකවරියක් වන ගයාත්‍රී ගායනවේදිනියක් ලෙස සිය පළමු ගීතය පසුගිය දා එළිදක්වන්නට සමත් වුණා. ගායනයට අමතරව ඇය රංගනය සහ නර්තනය තුළිනුත් කලාවට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ ගයාත්‍රි සමග සාරවිට කළ කතාබහක්.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම ගයාත්‍රි රාසිංගොල්ල. මම හැදෑරුවේ මනෝ විද්‍යා ක්ෂේත්‍රය. මම මනෝ විද්‍යා උපදේශකවරියක් ලෙස වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම පොඩි කාලේ ඉඳලාම හැදුණේ වැඩුණේ UAEවල. අම්මායි අප්පච්චි දෙන්නම එහේ වැඩ කළේ. මම පොඩි කාලේ ඉඳලා නර්තනය සහ සංගීතයට කැමැත්තක් දැක්වූවා. මම යම්තාක් දුරකට සංගීතයයි නර්තනයයි හදාරලාත් තිබෙනවා.ඒ නිසා පුළුවන් වෙලාවට කලා වැඩවලට සම්බන්ධ වෙනවා. මේ වනවිට මගේ පළමු ගීතයත් මම එළිදක්වා තිබෙනවා.
ඒ ගීතය ගැන කිව්වොත්?
ගීතයේ නම දුකක් නැති අහසක්. ගීතය රචනා කළේ ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම්. ගමගේ. කපිල අන්කල් මගේ අප්පච්චිගේ යාළුවෙක්. එතකොට ගීතයේ සංගීත නිර්මාණය දර්ශණ වික්‍රමතුංග අයියාගේ. පටිගත කළේ sage ස්ටුඩියෝ එකේ. තවම එළිදැක්වූයේ lyrics වීඩියෝව විතරයි.
ඊට අමතරව දායක වුණේ?
මම පහුගිය අවුරුදු දෙකේ හිටියේ ඕස්ට්‍රේලියාවල. එහිදී නර්තනය යම් ප්‍රමාණයකට හදාරන්න ලැබුණා. මම එහේ රංගන වැඩමුළුවකටත් සහභාගී වුණා. UAE ඉද්දි එහේ වෙළඳ දැන්වීමකට දායක වුණා. තව ඉස්සරහට කෙටි චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ‘නැට්ට ප්‍රඩක්ෂන්’ කණ්ඩායම කරන කෙටි චිත්‍රපටයක ප්‍රධාන චරිතයට මට ආරාධනා ලැබුණා.
මනෝ විද්‍යා උපදේශකවරියක් විදිහට කටයුතු කරන්නේ?
පවුල් සහ ළමයින්ගේ මානසිකත්වය සම්බන්ධයෙන් තමයි මම වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අම්මා තාත්තා සමග ළමයින්ගේ තිබෙන සම්බන්ධනතාවය, ඒ ඇතුළේ තිබෙන ගැටළු, එයාලගේ මානසික මට්ටම් වගේ දේවල් තමයි මගේ විෂය වන්නේ.
ඒ වගේම depression. depression ගැන ලෝකයේ කොච්චරක් කතා වුණත් ලංකාවේ තවමත් ඒකට දෙන අවධානය ඉතා අඩුයි. අපි නොදැනුවත්ව අපි අවට ඉන්න මිනිස්සු ගොඩක් depression වලින් පීඩා විඳිනවා. හැබැයි අපි ඒ ගැන ගණන් ගන්නේ නැහැ. ශාරීරික ලෙඩකට අවධානය දෙන තරමටම අපි මානසික ලෙඩකටත් අවධානය දෙන්න ඕනේ. ඉතින් මේ විෂයන් දෙක සම්බන්ධව ලංකාව ඇතුළේ වැඩ කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ ගැන කථිකාවත් නිර්මාණය කරලා මානසික උපදේශණවලට මිනිස්සු සහභාගී වෙනවා කියන එක සාමාන්‍ය තත්ත්වයක් දක්වා ගෙන එන්නයි මට ඕනේ. එහෙම නැත්නම් ඒ අය හැමදාම සමාජයෙන් කොන් වීමක් වෙනවා.
ඇයි ලංකාවට එන්න හිතුවේ?
ඉස්සර ඉඳලාම ආසාවක් තිබුණා කවදාහරි ලංකාවට ඇවිත් ජීවත් වෙන්න. මම ඉගෙනගත්තේ පිටරට. අම්මා එහේ ගුරුවරියක්. අප්පච්චි විදුලි සංදේශන ඉංජිනේරුවරයෙක්. ඉතින් දැන් එයාලා විශ්‍රාමිකයි. ඒ නිසා අපි ලංකාවට එන්න හිතුවා.ඇත්තටම එහේ අත්දැකීම් හොඳයි. ලංකාවේ අයත් පිටරටවල අයත් හිතන පතන විදිහ ගැන මට හොඳ අවබෝධයක් ලැබුණා. ඒ නිසා ගොඩක් දේවල් වෙනස් විදිහකට හිතන්න මට පුළුවන්.
‘කලාව’ මනෝවිද්‍යාවට එකතු කරගන්න පුළුවන් නේද?
ඔව්. කලාව කියන්නේ මානසික ප්‍රතිකර්මයක්නේ. හිතට කරදරයක් හෝ පීඩනයක් දැනුණු වෙලාවක හිත සැහැල්ලු කරන්න කලාව හොඳ ප්‍රතිකාරයක්. අපිත් මානසිකව වැටෙන අයව, මනෝ විද්‍යා උපදේශන අවශ්‍ය අයට මියුසික් හරහාත් උපදේශනයන් සිදු කරනවා. එදිනෙදා ගැටළුවලටත් කලාව කියන දේ සහනයක්. සංගීතය, නැටම් කියන්නේ අපේ රසවිඳීමේදී හෝ ඉදිරිපත් කිරීමේදී මුළු ශරීරයම පාවිච්චි කරන දෙයක්. ශරීරයටම දැනෙන දෙයක්. ඇත්තටම එතකොට ඒක භාවනාවක් වගේ. ඉතින් මම හිතන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයට කලාව ලොකු රුකුළක් කියලා.
මනෝවිද්‍යාව වැනි ක්ෂේත්‍රයක් වෘත්තීයක් ලෙස තෝරාගත්තේ ඇයි?
මට පොඩි කාලේ ඉඳලාම යාළුවෙකුගේ හෝ ගෙදර කෙනෙකුගේ ප්‍රශ්නයකදී හැම පැත්තකින්ම හිතලා හොඳ විසඳුමක් දෙන්න පුළුවන් හැකියාවක් තිබුණා. වෙනස් විදිහට හිතන්න පුළුවන්කමක් පොඩි කාලේ ඉඳලාම තිබුණා. මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන්. යාළුවන්ගේ හිතට කරදරයක් ආවාම වුණත් මට එයලා කතා කරනවා.කෙනෙකුගේ හිතක් හදලා මම ලොකු තෘප්තියක් ලබනවා. මම හිතන්නේ ඒක ටික ටික ලොකු වෙද්දි මම ආශා කරන විෂයක් වුණා.
කලාව තුළ ජනප්‍රිය තරුවක් වෙන්නද ඔබේ බලාපොරොත්තුව?
නැහැ. මට ඕනේ වෙන්නේ මම කැමති දේ මට පුළුවන් විදිහට කරන්න. එහෙම නැතිව ජනප්‍රිය වෙන්න හෝ තරුවක් වෙන්න අදහසක් නැහැ. මම කලා කටයුතු කරන්නේ මගේ ආශාවටනේ. ගීත ගායනා කළාට මගේ හදාගන්න දේවල් ගොඩක් තිබෙනවා. මගේ හඬ හදාගන්න ඕනේ. ඒ දේවල් හදාගෙන පුළුවන් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
ඔව්. මුලින්ම මගෙ අම්මා සහ අප්පච්චි. එතකොට කපිල ගමගේ අන්කල්, දර්ශණ දිසානායක අයියා, සඳරු ගමගේ සහ තරිඳු වින්දන අයියාවත් මතක් කරනවා.
කැළුම් දේවින්ද