'කූඹියෝ' නිසා රඟපාන්න දැන් ආයෙත් ආරාධනා ලැබෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-14-ent-43

නිතර රංගන ක්ෂේත්‍රය තුළ දකින්නට නැති නිළියක ලෙස ප්‍රසිද්ධව සිටින සුජීවා ඩයස් මේ දිනවල නැවතත් ප්‍රේක්ෂක ඔබගේ අවධානය දිනා සිටියි. ඒ මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘කූඹියෝ’ ටෙලි නාට්‍යය හරහාය. ‘කූඹියෝ’හි ‘අන්ජනා’ ලෙස රංගනයෙන් දායක වන සුජීවා ‘සාරවිට’ අපි සමගින් මෙළෙස සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව අදහස් දැක්වුයේමු.

 

‘කූඹියෝ’ හරහා මේ දිනවල නැවතත් අපි ඔබව දකිනවා?

2017-12-14-ent-42‘කූඹියෝ’ ටෙලි නාට්‍යය රූපගත කළේ මීට වසර තුනකට කලින්. මේ ටෙලි නාට්‍යය විකාශය වෙන්න විවිධ හේතුමත කාලයක් ගියා. අද විකාශය වෙන ටෙලි නාට්‍යය අතරේ ‘කූඹියෝ’ ඉදිරියෙන්ම තියෙන ටෙලි නාට්‍යයක්. ඒ නිසාම මේ දවස්වල මා ගැනත් යම් මට්ටමකට ප්‍රේක්ෂකයන් අතර කතාබහක් ඇතිව තිබෙනවා.

 

‘කූඹියෝ’ හි ‘අන්ජනා’ චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?

‘කූඹියෝ’ හි මා රඟපාන ‘අන්ජනා’ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලා මම හිතනවා. ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ තරුණ කාන්තා චරිත ගත්තොත් තියෙන්නේ දෙකයි. එකක් මම කරනවා, අනික යුරේනි නොෂිකා කරනවා. යුරේනි ගැන මිනිස්සු බොහෝ දෙනෙක් දන්නවා. නමුත්, මා ගැන මිනිස්සු දන්නේ අඩුවෙන්. ඒ නිසා ගොඩක් අය මං ගැන තොරතුරු හොයනවා.

 

‘අන්ජනා’ චරිතය ගත්තොත්?

මේක සාමාන්‍ය පවුලක විවාහක බිරිඳක් වටා ගෙතුණු චරිතයක්. කොටින්ම කිව්වොත් මම ගෙවන ජීවිතයට සමාන චරිතයක් තමයි ‘අන්ජනා’ කියන්නේ. ‘කූඹියෝ’ ටෙලි නාට්‍යය ගත්තොත් ‘අන්ජනා’ කියන්නේ ලොකුවට කතා කරන චරිතයක් නෙමෙයි. ඒත්, ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක මේ චරිතය මිනිස්සු ආදරය කරන චරිතයක් බවට පත්වෙලා තියෙනවා. මේ චරිතයට මාව තෝර ගත්තේ ‘කූඹියෝ’ අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්නගේ බිරිඳ චමරි අක්කා. මේ වෙලාවේ ඒ අවස්ථාව ලබාදුන් ලක්මාල්ට වගේම, චමරිටත් ස්තුති කරනවා.

 

‘කූඹියෝ’ ප්‍රේක්ෂකයෝ අතර මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවද?

නැහැ. ‘කූඹියෝ’ කරලත් වසර තුනක් නිසා ලොකුවට එහෙම ජනප්‍රිය වෙයි කියලා හිතුවෙ නැහැ. නමුත්, වාසනාවට මේ ටෙලිය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. මම හිතන්නේ අද නිර්මාණය වන ටෙලි නිර්මාණ එක්ක ගත්තොත් ‘කූඹියෝ’ කියන්නේ වෙනස්ම විදිහේ ටෙලි නාට්‍යයක්. ‘කූඹියෝ’ ටෙලියේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කළණ හා තුමිදු දෙන්නා. මම දැක්කා කළණ පවා මෑතකදී පුවත්පත් ලිපියකට කියලා තිබුණා &නාට්‍යය හිට් එකක් වෙයි කියලා හිතුවා. ඒත්, මම මෙච්චර හිට් එකක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නැහැ" කියලා. ඇත්තටම මම වුණත් ‘කූඹියෝ’ ටෙලියේ වැඩියෙන්ම කැමති කළන රඟපාන ‘ප්‍රියන්ත’ චරිතයට.

 

රංගනයට දක්ෂ ඔබ ඇයි කලා කටයුතුවලට දායක වෙන්නේ නැත්තේ?

බොහෝ දෙනෙක් අද මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක. ‘අන්ජනා’ චරිතයත් එක්ක බොහෝ අය අද මට කතා කරනවා. ‘ෆේස්බුක්’ ගිණුම හරහා මට ප්‍රතිචාර දක්වන අය පවා මගෙන් විමසන්නේ රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැද්ද කියලා.

 

‘කූඹියෝ’ හරහා ලැබෙන ප්‍රතිචාරත් එක්ක නැවතත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

තියෙනවා. පසුගිය කාලෙම පෞද්ගලික කටයුතුවලට වැඩි කාලයක් වැය කරපු හින්දා මට හිතුණා නැවතත් රංගනය පැත්තට යොමු වුණොත් හොඳයි කියලා. ඒ හිතන කොටම තමයි ‘කූඹියෝ’ ටෙලි නාට්‍යය විකාශය වුණේ. මම හිතනවා ඒක මගේ වාසනාවට සිදු වුණ දෙයක් කියලා. දැනට ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිත නම් නෙවෙයි. නමුත්, යමක් කරන්න පුළුවන් චරිතයක් ඒ අතර තිබුණොත් මම අනිවාර්යයෙන්ම බාර ගන්නවා.

 

රංගනයෙන් ඈත්ව සිටි කාලය ගැන මොකද හිතන්නේ?

මම ලොකුවට ටෙලි නිර්මාණ පස්සේ එලවපු කෙනෙක් නෙමෙයි. ඒ හින්දා රංගනයෙන් ඈත්ව හිටියා කියලා මට ඒක ලොකුවට දැනුණෙ නැහැ. අදටත් මම කලාව පැත්තට එන්නේ යම් සීමාවක ඉඳලා. මම පදිංචි වෙලා ඉන්නේ නුවර. ගොඩක් වෙලාවට ටෙලි නිර්මාණවල රූපගත කිරීම් තියෙන්නේ කොළඹ. ඉතින් රූපගත කිරීම්වලට එන්න යන්න ලොකු කාලයක් වැය වෙනවා. අනික රූපගත කිරීම්වලට පවා මම එන්නේ මගේම වාහනයකින්. ඉතින් ගමන් මහන්සියත් එක්ක මට රඟපෑම් කටයුතු එපා වුණා. නිළියක් කියලා මහා ලොකුවට ජනප්‍රිය වෙන්න කියලා එහෙම ලොකු ආසාවල් නැහැ මට. යම් නිර්මාණයකට දායක වෙලා ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වුණොත්, මට ඒක ගොඩක් වටිනවා.

 

බුද්ධික සේනාධීර

 

2017-12-14-ent-38   2017-12-14-ent-41 2017-12-14-ent-40 2017-12-14-ent-39