කුඩා කාලයේ සිටම හඬකැවීම් ශිල්පිනියක් විදිහට වැඩ කලා
ලොවක් ආදරය කරන චිත්‍රපට මාලාවක් තමයි "හැරී පෝටර්" කියන්නේ. හැරී පෝටර් චිත්‍රපට මාලාවේ හමයිනි කියන්නේ තරුණයෝ හිතින් පවා ආදරය කළ චරිතයක්. හැරී පෝටර් කතා මාලාව සිංහල භාෂාවෙන් හඬකවා විකාශය වූවා. එහිදී හමයිනිගේ චරිතයට හඬ මුසු කළේ යොනාලි. යොනාලි පාසල් අවධියේදී තමයි මේ හඬ කැවීම් සඳහා සම්බන්ධ වෙන්නේ. යොනාලිව වසර කිහිපයකට පසුව අළුත් මුහුණුවරකින් ඔබ හමුවට එනවා. මේ යොනාලි සාරවිටට එකතු වුණු ආකාරයයි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම යොනාලි ගලප්පත්ති. මගේ පදිංචිය කොල්ලුපිටියේ. මම කුඩා කාලයේ සිටම ළමා හඬකැවීම් ශිල්පිනියක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒ වගේම ගායනයටත් සම්බන්ධ වෙලා තියෙනවා. දීර්ඝ කාලයක නිහඬතාවයකට පස්සේ ආයෙත් ක්ෂේත්රයට එකතු වෙන්න හිතුවා.
ආරම්භය සිදු වෙන්නේ කොහොමද?
මට වයස අවුරුදු දහයෙදි විතර තමයි කලාවට එකතු වෙන්නේ. ඒ කාලේදි සිරස නාලිකාවේ ළමා වැඩසටහන් වලට සම්බන්ධ වුණා. 2007 වසරේදී හැරී පෝටර් චිත්‍රපට සිංහලෙන් හඬ කැවීමේදී ඒකට සම්බන්ධ වුණා. එහිදී මට හමයිනිගේ චරිතයට හඬ කවන්නට අවස්ථාව ලැබුණා. ඒ වගේම සිරසේ විකාශය වුණු ළමා වැඩසටහන්වලට ගීත ගායනයෙන්ද එකතු වුණා. ඒ වගේම "fly away home" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට හඬ කවන්න ලැබුණා.
ක්ෂේත්රයෙන් ඉවත් වුණේ ඇයි?
මගේ විවාහයෙන් පස්සේ පවුලට මුල් තැන දෙන්න ඕන නිසා ක්ෂේත්රයෙන් අයින් වුණා. මම ජාත්‍යයන්තර පාසලක ගුරුවරියක් ලෙසත් කාලයක් සේවය කළා. එයිනුත් අයින් වුණා. නමුත් මේ කාලේදි ආයෙත් ක්ෂේත්රයට එකතු වෙන්න ඕනේ කියලා හිතුනා. ඒ නිසා මගේම ගීතයකින් ආයෙත් වැඩ පටන් ගන්න හිතුවා.
එම ගීතය ගැන කිවුවොත්?
මේ ගීතයේ නම තමයි "සිනාසෙන්නදෝ". මේ සින්දුව ලිවුවේ දුමින්ද අලහේන්ද්‍ර අයියා. ගීතයේ සංගීත නිර්මාණය කළේ මංගල ප්‍රදීප් කුමාර. ඔහු මගේ සහෝදරයායි. මෙහි රූප රචනාව සිදු කළේ 321 ෆිල්ම් කණ්ඩායමයි.
මේ වෙද්දි සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
මේ ළඟදි ගීතයක් නිර්මාණය කළා අළුත් ජනාධිපති තුමා වෙනුවෙන්. ඒ "සිංහයා ඔබ" කියන ගීතයයි. ඒ ගීතය ගායනා කරන්නේ මමයි, සුනීර සුමංග මල්ලියි. ඒ ගීතය ලිවුවේ සුභාෂ් අබේවික්‍රම අයියා. එතකොට මියුසික් කළේ තිළිණ රුහුණගේ අයියා. දැනට තව ගීත දෙකක් කරලා තියෙනවා. ඒ ගීත ජනවාරිවලදි එළිදක්වනවා. මේ දිනවල විකාශය වන "තාමත් ආදරේ නැත්නම්" ටෙලි නාට්‍යයේ ගීත දෙකකටත් ගායනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට දෙහදක් ආදරෙන් ටෙලි නාට්‍යයේ ගීත තුනක් ගායනා කළා. තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටයේ ගීත දෙකක් ගායනා කළා. ඒ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙයි.
හැරී පෝටර්හි "හමයිනි" අතිශය ජනප්‍රිය චරිතයක් වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම විශාල ජනප්‍රියත්වයක් මට ලැබුණා හමයිනි හරහා. අදටත් කතා කරනවා හමයිනි නිසා. ඇත්තටම මට ලොකු සතුටක් එවැනි නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන. ඒ සතුට මම ජීවිත කාලේම භුක්ති විඳින සතුටක්.
වර්තමානයේ හඬ කැවීම් නිර්මාණ පිළිබඳව හොඳ ආකර්ශණයක් ප්‍රේක්ෂකයන්ට නැහැ නේද?
ඔව්. එහෙම දෙයක් තියෙන බව තේරෙනවා. ඒත් ඒ කාලේ පුදුම විදිහට මිනිස්සු ආදරේ කළා. ඒක අත්දැකීමෙන් කියන්න පුළුවන්. හැරී පෝටර් සිංහල චිත්‍රපටය බලලා ඒ චිත්‍රපටවලට ආදරේ කරන මිනිස්සු තවමත් ඉන්නවා.
ඉදිරි වැඩකටයුතු සහ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
ඉදිරියේදී ගායනය පැත්තෙන් යමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අවුරුදු 12කට විතර පස්සේ තමයි කලාව නැවත ආරම්භ කරන්නේ. ඉතින් එදාට වඩා අද ගොඩක් වෙනස්. ඒ වෙනසට හුරුවෙමින් අළුත් නිර්මාණ එක්ක එකතු වෙනවා.
පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා, මගේ නෑනා, මගේ තාත්තා, මගේ සැමියා, සහෝදරයා ඇතුළු හැමෝම මට ලොකු ශක්තියක්.