කිසිම දෙයක් ගැන ලොකුවට හිතන්නෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

ENT-20200817-11

‘‘කවින්ධ්‍යා’’ හෙවත් ‘‘කවි’’ ‘‘අතුල – සමිතා’’ යුවළගෙ ආදරණීය දියණියයි. මව සහ පියාගෙන් මෙන්ම පරපුරෙන් උරුම වූ ගායන හා සංගීත හැකියාව උපතින්ම උරුමකර ගත්තද, කවි යනු රංගනයෙන්ද අපූරු දක්ෂතා ඇති තාරුණ්‍යයේ ශිල්පනියකි. විකාශය වූ ‘‘සක්කාරං’’ ටෙලිමාලාවේ අපූරු චරිත රංගනයකට එක් වූ ඇය ‘‘ඝරසරප’’ චිත්‍රපටය ඔස්සේ සිනමා රංගනයට ද එක්වූවාය. මේ දිනවල ඇය අපට හමුවන්නේ රූපවාහිනි සංගීතමය වැඩ සටහනක් ඉදිරිපත් කරන නිවේදිකාවක ලෙසය. කවින්ධ්‍යා අධිකාරි මේ කතා බහේදි අපට කියන්නෙ මොනවද බලමු.ENT-20200817-12

 

කවින්ධ්‍යා කියන්නද? ‘‘කවි’’ කියන්නද?

ගොඩාක් අය නම් මට කතා කරන්නෙ ‘‘කවි’’ කියලා.

 

අම්මා කතා කරන්නෙ කොහොමද?

අම්මයි, මම්මයි (ආච්චි) මල්ලියි මට කතා කරන්නෙ ‘‘අක්කි’’ කියලා.

 

කොහොමද ‘‘අක්කි’’ වැඩ කටයුතු?

රටේ තත්ත්වය එක්ක වැඩ නම් ටිකක් අඩුයි. මේ දිනවල ස්වර්ණවාහිනිය මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. සෙනසුරාදා උදේ 11 ට ගෙන එන එම චාට් ෂෝ එක මා එක්ක ඉදිරිපත් කරන්නෙ යෂාන්ද සිල්වා. ඊට අමතරව කලායතනයේ වැඩ කටයුතු බාර ගත්තා. දැන් වැඩිපුර කාලය ගත කරන්නෙ කලායතනයේ වැඩවලට.

 

කලායතනය කිව්වෙ

අපේ මම්මා (ආච්චි) පවත්වාගෙන ආ කලායතනයේ වැඩ මම්මා අසනීප වුණාට පස්සෙ බලාගත්තෙ අපෙ අම්මා. ඉන්පසුව වසර දෙකකට පෙරදි මම එහි කටයුතු බාර ගත්තා.

 

කොහොමද රඟපෑම් කටයුතු?

ළඟදිනම් කිසි දෙයක් බාර ගත්තෙ නැහැ. ඉදිරියේදී විකාශය වෙන්නත් නැහැ.

 

මොනවද කළ අලුත් ගී නිර්මාණ?

අන්තිමට කළේ - සනුකගෙ තාත්තා සංගීත් වික්‍රමසිංහ අංකල් නිර්මාණය කළ ගීතයයි. එය ළඟදීම රිලීස් වීමට නියමිතයි. සංගීත් අංකල් ඒ කාලයේ ඉඳලාම අම්මා වෙනුවෙන් ගී නිර්මාණ රැසක් කරලා තියෙනවා. ඉතින් මගෙත් ලොකු ආසාවක් තිබුණෙ සංගීත් අංකල් සංගීත නිර්මාණය කළ ගීතයක් ගයන්න. ඒ ආසාව ඉටු වුණා.

 

එතකොට ‘කවි’ අද වෘත්තියෙන් ගායනය ද? රංගනයද කරන්නේ?

ඒ සෑම අංශයකටම දායක වෙනවා. ඒ අතරින් මුල්තැන කලායතනයේ වැඩයි. ඒක ලොකු වගකීමක්.

 

කොහොමද ‘කවි’ ගෙ ජීවිතේ?

සුන්දරව සතුටින් ගත කරනවා.

 

ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?

නෑ. ඉතින්, කොහොමටත් මම හරි සතුටින්නෙ ඉන්නෙ. මොන ප්‍රශ්නයක් ආවත්, සතුටට හේතුවක් හොයා ගන්නවා. විශේෂයෙන් කියලා හේතුවක් නැහැ. මේ ඉන්න විදිය හොඳයි. ඒ ඉන්න විදියත් එක්ක සතුටු වෙනවා. අම්මගෙන්, මල්ලිගෙන්, රසික-රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය එක්ක සතුටින් ඉන්නෙ.

 

ඒ හැර ‘විශේෂ’ වූ ආදරයක් නැහැ?

නැහැ.

 

කවිගෙ ජීවිතය කවියක් වගේ ද? නැත්නම් ගීතයක් වගේ ද?

ඒ දෙකම වගෙයි. හැල හැප්පීම් මැද්දේ ජීවිතය ගලා යනවා.

 

හැල-හැප්පීම් එහෙම ආවාම ඒ වගේ දේට මුහුණ දෙන්නෙ කොහොමද?

මගේ ජීවිතේ තේරෙන වයසෙ ඉඳලාම බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන් කෙනෙක්. ඒ කාලයේදී මට ජීවිතේ බරපතළකමක් ගැන එච්චර තේරුණේ නැහැ. ඒත් බොහෝ දේට මුහුණ දීමත් එක්ක ජීවිතේ ලොකු පන්නරයක් ලැබුවේ. බොහෝ දේ ඉගෙන ගත්තා. ඒත් කිසි දෙයක් ගැන ලොකුවට හිතන්නේ නැහැ. අද දවස සතුටින් ඉඳලා හෙට දවස ගැන හිතලා ජීවත්වන කෙනෙක්.

 

ඒ කියන්නෙ මතුපිටින් දකින ‘කවිට’ වඩා ඇතුළාන්තයෙන් වෙනස් කෙනෙක්?

බාහිරව මගේ දිහා බලන අය හිතන්න පුළුවන්. මම හරි සෙල්ලමට විනෝදයට බර කෙනෙක් කියලා. ඒ මම ඉන්න විදියයි. ජීවිතය ගැන මම දවස ගානේ ඉගෙන ගන්නෙ අපේ අම්මාගෙන්. එයා හරි ශක්තිමත් කාන්තාවක්. ජීවිතේ ඕනෑම දෙයකට මුහුණ දීමේ ශක්තිය අද මට තියෙනවා.

 

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඔබගේ මව සහ පවුල ගැන විවිධ ආරංචි පැතිරුණා. කවි ඒ ගැන හිතන්නෙ කොහොම ද? මොනවද මේ කියන කතා?

අද සමාජ මාධ්‍යයේ තියෙන නිදහස නිසා ඒ නිදහස ප්‍රයෝජනයට ගෙන ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් පළ කරන්න පුළුවනි. එකක් මතක තියාගන්න. අපේ පරපුර ගත්තොත්, කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය පවුලක්. අම්මගේ පැත්තෙන් ගත්තත්, තාත්තගේ පැත්තෙන් ගත්තත් එහෙමයි. ඒ නිසා රටේ ජනප්‍රිය පවුලක් ගැන සමාජ මාධ්‍ය හෝ අනෙකුත් මාධ්‍ය නිතර කතා බහ කිරීම අරුමයක් නොවෙයි. රටේ සාමාන්‍ය පවුල්වල අයගේ ජීවිත ගැන මිනිස්සු හොයන්නෙ නැහැනෙ. ඒ නිසා මට නම්, ඔය කියනදේ ගැන එච්චර හිතන්නෙ නැහැ. අපි හොඳ දෙයක් කළොත් හොඳයි. නරක දෙයක් කළොත් නරකයි. ඒත් එකම දේ අපි ‘හරි’ නම් එච්චරයි. අපි ගැන මොනවා පළ කළත් අපි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවනෙ. ඔය එක එක දේවල් කරන අය ඒවා පළ කරලා ලොකු සතුටක් ලබනවා ඇතිනෙ.

 

ඔබ කියන්නේ ඒවා කිසිම පදනමක් නැතුව පළවූ දේ කියල ද?

ඔව් ඉතින් අපේ ජීවිත ගැන දන්නේ අපිනෙ. අපි කරනදේ මාධ්‍ය මගින් රටේ ජනතාව දැනගන්නවා. ඒත් අපේ ජීවිතවල ඇතුළාන්තය ගැන දන්නේ අපි විතරනෙ. අපි අපේ ජීවිත ගැන තත්පරයෙන්-තත්පරයට වෙන්නෙ මොනවද කියලා කියවා ගන්න යන්නෙ නැහැ. ඒත් සමාජ මාධ්‍යයේ ඔය වගේ දේ පළවෙනවා.

 

‘කවි’ ට අම්මා ගැන හැඳින්වීමක් කරන්න කිව්වොත්?

සමහර අම්මලා ළමයි දාලා යනවා. එහෙම ගියාට පස්සේ ළමයි ගැන ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. ඒත් අපේ අම්මා කියන්නෙ කලා ක්ෂේත්‍රයේ තරුවකට එහා ගිය සැබෑ ජීවිතේදී මා දුටු දේවතාවියක්. මොන ප්‍රශ්නය ආවාත්, අම්මා ලෝකෙත් එක්ක හිනාවෙලා, අපිව බලා ගත්තා. අපිව අත්හැරියෙ නැහැ. මොන දුෂ්‍කරතා ආවත්, මල්ලියි-මාවයි-හොඳ සුව පහසු පරිසරයක් තනා දීලා අපිව ආදරයෙන් බලා ගත්තා. හැබැයි එයා ගන්න තීරණවලට මම ඇඟිලි ගහන්න ගියේ නැහැ. මටයි - මල්ලිටයි අපේ අම්මා මේ විශ්වය තරමට වටිනවා.

 

විවේකයක්-නිදහසක් ලැබුණාම කොහොමද කාලය ගත කරන්නෙ?

බොහෝ වෙලාවට වැඩි පුර නිදාගැනීම තමයි කරන්නෙ. එක්කෝ කෑමකට එලියට යනවා.

 

‘කවිට’ ගෙදර වැඩත් පුළුවනිද?

අපොයි ඔව්, අම්මා මට ඒවා ඔක්කොම උගන්වලා තියෙන්නෙ. ගැහැනු ළමයකු වුණාම, කසාද බැන්දත්, ස්වාධීනව ජීවත් වන්න පුළුවන් විදියේ ශක්තියක්, හඳුනාගන්න කියලා තමයි අම්මා මට කියලා තියෙන්නේ. ඒ කියන්නෙ කාගෙන්වත් යැපෙන්නෙ නැතිව ජීවත් වෙන්න කියන ශක්තියයි. ඒ ශක්තිය මට උපරීමයෙන් තියෙන කෙනෙක්.

 

ඔයාගේ අම්මා මොන වගේ කෙනෙක් කියලද හිතන්නේ?

අපේ අම්මා එයාගෙ පවුලේ එකම ළමයා ලෙස හරි හුරතලයට හැදුණ කෙනෙක්. දුක් විඳි කෙනෙක් නොවෙයි. අදටත් අම්මා හරි හුරතල් චරිතයක්. පවුලක එකම ළමයා ලෙස හැදෙන අය එහෙම වෙන්න ඇති. එයා සතුටින් ඉන්න කෙනෙක්. ප්‍රශ්නයක් ආවාම මම නම් ටිකක් ඉක්මනට වැටෙනවා. ඒත් අපේ අම්මා එහෙම නැහැ. එයා හොඳට ‘ඉවසන’ කෙනෙක්. මම අම්මාගෙන් ඉගෙන ගත්ත ලොකුම දේ ඒ ඉවසීමේ ගුණයයි.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ