කැමරාව ඉදිරියට මුලින්ම ගියේ පණ බයේ
මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ රචනයෙන් හැඩ වී ශාන්ත සොයිසා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘‘ජීවිතය ඇතිතුරා’’ නාට්‍යය මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙනවා. එහි හිමිදිරි ඉඩංගොඩ වූ ඇය කවුද? ඇයගේ සැබෑ නාමය වන්නේ ගමාරච්චිගේ සංජානා ඔනාලිය. සුන්දර සංජානා සඳැල්ල කතාබහ හැඩ කළේ මෙලෙසිනි.
සංජානා ඔබ ගැන විස්තර කිව්වොත්?
මගේ ගම මාතර. අම්මයි තාත්තයි දෙන්නම සේවය කරන්නෙ ගුවන් හමුදාවෙ. මගේ එකම නංගි තවම පාසල් අධ්‍යාපනය ලබනවා. මම ඉගෙන ගත්තෙ මාතර සුජාතා බාලිකාවෙන්. දැන් පුද්ගලික සරසවියක තොරතුරු තාක්ෂණ අංශයේ උපාධියක් හදාරනවා. මගේ වයස අවුරුදු 22යි.
හිමිදිරි ඉඩංගොඩ ගැන කිව්වොත්?
ජීවිතය ඇතිතුරා මගේ පළමු ටෙලිනාට්‍ය රංගනයයි. මේ චරිතයට විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියා. අන්තිමට තේරුණේ මම. ඒක ලොකු අවස්ථාවක්. හිමිදිරි කියන්නෙ පොහොසත් විදියට හිතන සහ හැසිරෙන චරිතයක්. එයාගෙ අම්මා උපතින්ම පොහොසත් පවුලකින් පැවත එන කෙනෙක්. තාත්තා බොහොම පොඩි තැනකින් ඇවිත් පොහොසත් වන චරිතයක්. හිමිදිරි තාත්තාගෙ සම්ප්‍රදායික අදහස්වලට එච්චර කැමති නැහැ. එයා වැඩියෙන් සමීප අම්මාට. මෙහි මගේ තාත්තා ලෙස රඟපාන්නෙ ශ්‍රියන්ත මෙන්ඩිස් සර්. අම්මට ඉන්නෙ ගයාත්‍රි ඩයස් මහත්මිය. මුලින්ම මට ඒ දෙන්නා එක්ක රඟපාන්න ගියාම ලොකු බයක් ඇති වුණේ.
සංජානිට මේ අවස්ථාව ලැබුණේ මොන විදියටද?
මීට පෙර රූපවාහිනී දැන්වීම් තිහකට ආසන්න සංඛ්‍යාවකට මම දායක වෙලා තියෙනවා. ඒ අතරේදී 2018 හිරු අවුරුදු කුමරිය තරගයට ගිහින් අන්තිම 12 දෙනා අතරට ආවා. 2019 දී දෙරණ අවුරුදු කුමරිය තරගයට සහභාගි වී 3 වැනි ස්ථානය දිනා ගත්තා. මගේ ගමන ආවේ මේ විදියටයි. ශාන්ත සොයිසා මහතා සහ මහේෂ් රත්සර මද්දුමආරච්චි මහතා එක්ව කරන ජීවිතය ඇතිතුරා මගේ ජීවිතය ඇතිතුරාවට ලැබුණු විශාල අවස්ථාවක්.
ශ්‍රියන්ත මෙන්ඩිස් තාත්තා වී ගයාත්‍රි ඩයස් අම්මා වුණාම ඇතිවූ හැඟීම් මොන වගේද?
ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්නට බැරි සතුටක්. එයාලට මම හරි ගරු කරනවා. ඒ වගේම මෙහි සිටින ප්රවීනයින් ඔක්කෝමලා හරිම හොඳයි. මට තියෙන්නෙ දිග නමක් නිසා ‘සංජානා’ කියලා ඒ නම කෙටි කරගන්න කියලා උපදෙස් දුන්නේ ශ්‍රියන්ත සර්. දර්ශන තලයේදී රූගත කිරීම්වලට යාමට පෙර විවේකයක් ලැබුණාම ඒ අවස්ථාවලදීත් මම ඒ දෙන්නට අම්මේ තාත්තෙ කියනවා. ඒ දෙන්නා ෂූටිං නැති වෙලාවලදී මට කතා කරන්නෙ ‘බබා’ කියලා.
මෙහි පෙම්වතාට රඟපාන්නෙ?
චානුක ප්රබුද්ධ, නාට්‍යයේ එයාගෙ නම පැහැසර. ටික දිනකින් තවත් කෙනෙක් එනවා. එයාගෙ නම පැතුම් රුක්ෂාන්. එයා රඟපාන්නෙ පැතුම් නමින්. මේ දෙන්නගෙන් කාටද හිමිදිරි හිමිවන්නෙ කියලා නාට්‍යය නරඹලා දැන ගන්න කියලා මම පේ්රක්ෂකයින්ට කියනවා.
මේ දෙදෙනාගෙන් සංජානා කැමති කාටද?
කතාවට අනුව පැහැසරට.
සැබෑ ජීවිතයේදී නම් මේ දෙන්නගෙන් කාටද කැමති?
මේ දෙන්නම මට මගේ සහෝදරයින් වගෙයි. එයාලා මට සහෝදරයින් වගේම මම එයාලට සහෝදරියක්.
දෙන්නගෙන් කෙනෙක් සැබෑ ජීවිතයේදී යෝජනාවක් ගෙනාවොත්?
එහෙම වෙන එකක් නැහැ. දෙන්නාම මට සහෝදරයින්.
චානුක ගැන කිව්වොත්?
මේ කතාවේ වගේම සැබෑ ජීවිතයේදීත්, එයා අහිංසක කෙනෙක්. එයා එක්ක වැඩ කරන්න හරිම ලෙහෙසියි. රඟපාද්දී වැරදෙන තැන් පවා එයා කියලා දෙනවා. ඇත්තටම එයා හරිම හොඳ අයියා කෙනෙක්.
සංජානාගෙ සැබෑ ජීවිතය මොන වගේද?
අධ්‍යාපන කටයුතු එක්ක රංගන කටයුතුත් කරගෙන යනවා. මේ නාට්‍යයට අමතරව තවත් නාට්‍යයක චරිතයක් ලැබිලා තියෙනවා. ලැබෙන දේ හැකිතාක් හොඳට කරලා රඟපෑමෙන් දුර ගමනක් යන්න ආසයි.
සැබෑ ජීවිතයේදී සංජානා කොහොම කෙනෙක්ද?
මම නිතරම නිහතමානී වෙන්න ආසයි. ඒ වගේම හැමෝටම ගරු කරන සරලව ජීවත් වන චරිතයක්.
සංජානාගේ පේ‍්‍රමය මොන වගේද?
තවම මම අවුරුදු 22ක පොඩි කෙනෙක්. ඒ ගැන හිතලා නැහැ. අද මගේ පේ‍්‍රමය තියෙන්නෙ රඟපෑමටයි. එදා මේ නාට්‍යයේ චරිතයකට මාව තෝරා ගත්තාම මට පුදුම හිතුණා.
දර්ශන තලයේදී මුහුණ දුන් සිදුවීම් ගැනත් කියමු?
මම අලූත් නිසා සෑම දවසක්ම හරි පුදුමයෙන් ගෙවන්නෙ. කැමරාව ඉදිරියට මුලින්ම ගියේ පණ බයේ ගැහෙමින්. දැන් නම් ටිකක් හුරුයි. කට්ටිය වතුර බොද්දි වතුර එකට ලූණු එහෙම දාලා දුන්නා. ඒ වගේ රසමුසු විහිළු තහළු මැද්දෙ ගෙවන කාලය හරිම රසවත්.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ