ක්‍රියාකාරීව දේශපාලන වැඩකටයුතු වලට සම්බන්ධ වුනාට චන්දෙ ඉල්ලන්න තරම් අදහසක් නෑ
කලා ක්ෂේත්‍රය තුළ මේවනවිට දිගු ගමනක් යමින් විශාල ලෙස කලාවට සේවයක් කරන ඇය මධුෂිකා සඳරුවනි. මේ දිනවල ඇයගේ කලා කටයුතු වලට වඩා බොහෝ දෙනා කතා කරනු ලබන්නේ ඇයගේ දේශපාලනට අවතීර්ණ වීම ගැනයි. ඒ පිළිබඳව අප ඇයගෙන් ඇසුවෙමු.
මුලින්ම ඔයා ගැන විස්තරයක් කිව්වොත්?
මම මධුෂිකා සදරුවනි . කඩුවෙල ප්‍රදේශයේ තමා පදිංචි වී සිටින්නෙ. දැනට කලා ක්ෂේත්‍රයේ නියැලී සිටිනවා. ඒ වගේම මම සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්.
මේ දවස්වල කලා ක්ෂේත්‍රය තුල වෙන වැඩ කටයුතු මොනවාද?
පසුගිය කාලය තුළ කලා කටයුතු වලින් ටිකක් ඈත් වුණා පුද්ගලික වැඩ කිහිපයකට කාලය යොදවන්න තිබූ නිසා. දැන් ආපහු කලා ක්ෂෙත්‍රයේ වැඩ පටන් අරගනිමින් මේ දිනවල නවතම ටෙලිනාට්‍යයක හා ගීත රූප රචනා කිහිපයක රූගතකිරීම් වල නිරත වෙනවා. ඒ වගේම සිරස Tv ප්‍රේමදඩයම ටෙලි නාට්‍යයේ හඩකැවීම් කටයුතු කරගෙන යනවා
ඔබ රංගනයෙන් දායක වුණ නිර්මාණ ගැන කිව්වොත්?
සල්සපුනා , ගැමුණු මහරජ, හිතුවක්කාරයා, සිංහලයේ මානව වංශය ආදී ටෙලිනාට්‍යය කිහිපයකට සම්බන්ධ වී තිබෙනවා. ඒ අතරින් සිරස Tv සල්සපුනා ටෙලිනාට්‍යයේ " තරුෂි" ගේ චරිතය මගේ හදවතට දැනුන චරිතයක්. එය අධ්‍යක්ෂණය කළ නාලන් මෙන්දිස් මහත්මා වැනි ප්‍රවීණ ගනයේ අධ්‍යක්ෂවරයෙකුගේ නිර්මාණයකට දායක වන්න ලැබීමත් භාග්‍යයක් කොට සලකනවා.
ඔබේ කලාවට වඩා ඔබේ දේශපාලන පිවිසීමක් ගැන මේ දවස් වල කතා වෙනවා? මොකක්ද එකේ ඇත්ත?
කලාවට සම්බන්ධ වන්න කලින් තමා මං දේශපාලන වැඩකටයුතු වලට සම්බන්ධ වුනේ. සමාජ සේවය කියන්නෙ පුංචි කාලේ ඉදන්ම මගේ ඇගේ තිබ්බ දෙයක්. ක්‍රියාකාරීව දේශපාලන වැඩකටයුතු වලට සම්බන්ධ වුනාට චන්දෙ ඉල්ලන්න තරම් අදහසක් නෑ. ඒක අපි හිතන තරම් ලේසි දෙයක් නෙවේ. එහෙම වෙන්නට නම් අපෙන් විශාල වැඩකොටසක් මේ සමාජයට සිද්ද වෙලා තියෙන්න ඕනී. යම් හෙයකින් එහෙම අදහසක් ඇති වුවහොත් අවංක හා සාධාරණව මේ සමාජයට සේවය කරනවා
කලාව ඔස්සේ ජනප්‍රිය වුණ අය දේශපාලනට ඇවිත් නැති වෙලා ගිහින් තියෙනවා? ඔවුන්ට කලාවේදී තිබුණු ආදරය ගෞරවය මේ දේශපාලනය නිසා නැති වුණා? ඔබටත් ඔය දේම වුණොත්?
එහෙම වෙන්නෙ දේශපාලනය කියන දේ හරිහැටි අවබෝධ නොකර තමන්ගේ පුද්ගලික වාසියට හා තමන්ගේ මඩිය තරකරගන්න ගියාම. අද බොහෝ අය දේශපාලනය තමන්ට ගොඩ යන්න හොද ඉල්ලමක් කරගෙන. ඒකෙන් පීඩා විදින්නෙ අහිංසක දුප්පත් ජනතාව. මට ඕනී ඔවුන් වෙනුවෙන් හඩක් නගන්න. අපි ජනතාව හා රට ගැන අවංක හැහීමෙන් යුතුව දේශපාලන කරනවා නම් ආදරය ,ගෞරවය නිකන්ම ලැබෙනවා
ඔබට කලාව විතරක් දායක වෙලා ඉන්න තිබුණා, ඇයි මේ දේශපාලන ක්‍රියාවන් වලට සම්බන්ද වෙන්නේ
කලාව කියන්නේ මං ගොඩක් ආදරය කරන ක්ෂෙත්‍රයක්. ඒ වගේම දේශපාලන ක්ෂෙත්‍රයටත් ආදරෙයි. නමුත් සමහර දේශපාලනඥයින් දිහා බැලුවාම ගොඩක් කලකිරෙනවා. මොකද ඔවුන් නිසා දේශපාලන ක්ෂෙත්‍රයම පිරිහිලා. මිනිසුන්ට උදව් උපකාර කරන්න මම ගොඩක් කැමතියි. ඉතින් දේශපාලන ක්‍රියාවන් තුළින් ඔවුන්ට උදව් උපකාර කරමින් මේ සමාජයට සේවයක් කරන්න පුලුවන් .
රටේ දේශපාලන පක්ෂ වලින් ඔබ කැමති සහ ඡන්දේ ඉල්ලුවොත් එන පක්ෂය මොකක්ද?
තාම චන්දෙ ඉල්ලන්න අදහසක් නැහැ. කවදහරි එහෙම අදහසක් ඇතිවුනොත් දේශපාලනයට පිවිසෙන්නෙ ජනතාව වෙනුවෙන්. එවකට සුදුසුයි කියලා හිතෙන හා සාධාරණ පක්ෂයකින් චන්දෙ ඉල්ලනවා.
අවසාන වශයෙන් කියන්න දේශපාලනයට ඇවිත් රටට වැඩක් සමාජයට යහපතක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවාද?
ඔව් අනිවාර්යයෙන්ම පුලුවන් . මොකද දේශපාලන තමන්ගේ ආදායම් මාර්ගය කරගන්නවත් , ඒ තුලින් තමාට වරප්‍රසාද ලබාගන්නටවත් මගේ කිසිම වුවමනාවක් නෑ. මං මේ රටට, ජනතාවට ආදරෙයි ඒ නිසා දේශපාලනයට පිවිසුනත් ඔවුන්ට අවංක චේතනාවෙන් මට වැඩක් කරන්න පුලුවන් . ජනතා නායකයෙකු නොවී ජනතා සේවකයෙකු විදියට හැමෝටම වැඩ කරන්න පුලුවන් නම් මේ දේශපාලන ක්ෂෙත්‍රයට වගේම මේ රටත් සුන්දර කරගන්න පුලුවන්