ක්ෂේත්රයට තාම මම අලුත් කෙනෙක්
නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වූ උවින්ඳි ජයරත්න සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි මෙලෙස ආරම්භ කළෙමු. දැනට රූපවාහිනී වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා රැසක දකින උවින්ඳි රඟපෑමටද දැඩි සේ කැමැත්තක් දක්වයි. මේ ඒ පිළිබඳව ඇය පැවසූ අදහස්ය.
නිරූපණ ක්ෂේත්රයට ඔබ පිවිසෙන්නේ?
මම නිරූපණ ක්ෂේත්රයට ඇවිල්ලා නම් ලොකු කාලයක් නැහැ. දැනට වසරක් විතර ඇති. ඒක අහම්බෙන් ලැබුණ අවස්ථාවක් කිව්වොත් හරි. ෂේහාන් අසේල බණ්ඩාර කියලා අයියා කෙනෙක් මට ‘ෆේස්බුක්’ එකේදී මුණ ගැහුණා. එයාගේ පොටෝ ෂූට් එකක තමයි මම මුලින්ම පෙනී හිටියේ. එතැනින් පස්සේ තමයි නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණේ.
ඔබ දායක වුණ කලා නිර්මාණ එහෙම තියෙනවාද?
නිරූපණ ක්ෂේත්රයට තාම මම නවකයෙක්. නිරූපණය ගැන අධ්‍යයනය කරමින් තමයි මම නිර්මාණවල නියැළෙන්නේ. දැනට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයකට දායක වෙලා. නමුත්, බොහෝ ඒවාවල මම ඉන්නේ සුළු චරිතවලටයි.
නිරූපිකාවක් වෙන්න හිතුණේ ඇයි?
ඇත්තටම කිව්වොත් පොඩි කාලේ ඉඳලා ලොකු ආසාවක්, කැමැත්තක් තිබුණා මේ ක්ෂේත්රයට. ඒ වගේම රංගනය පැත්තටත්. ඒත්, අධ්‍යාපන කටයුතුත් එක්ක ක්ෂේත්රයට එන්න මට කාලයක් ගත වුණා.
ඉදිරි ඉලක්ක මොනවාද?
ඔව්, නිරූපිකාවක් විදිහට දිගටම මේ ක්ෂේත්රයේ රැඳිලා ඉන්න තමයි මගේ ඉලක්කය. ඒ වගේම හැමෝම ආදරය කරන කවුරුවත් වැරැද්දක් නොකියන දක්ෂ නිරූපිකාවක් වෙන්න කැමතියි. මම තාම ක්ෂේත්රයට නවකයෙක්. ඉතින් නිරූපණය ගැන වැඩිදුරටත් ඉගෙන ගෙන ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ක්ෂේත්රය ගැන මොකද හිතන්නේ?
මම දකින විදිහට නිරූපණ ක්ෂේත්රය හොඳ එකක්. මට නම් වරදක් නැහැ.
රංගනය පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?
තියෙනවා. නිරූපණයට වගේම රංගනයටත් මම ගොඩක් කැමැතයි. ඒත්, හොඳ කලා නිර්මාණ තමයි මම තෝර ගෙන රඟපාන්න බලාපොරොත්තු වෙන්නේ.
උදව් කරපු අය?
නම් වශයෙන් සඳහන් කළොත් ගොඩදෙනෙක් ඉන්නවා. නිරූපණ ක්ෂේත්රය වගේම ‘ෆේස්බුක්’ එකේ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ අය හැමෝමයි ගෙදර අයයි. මගේ යාළුවොයි මේ හැම කෙනෙක්ම මතක් කරනවා.
බුද්ධික සේනාධීර