ක්ෂේත්රය තියෙන තැන ගැන නම් මට ලොකු පැහැදීමක් නැහැ
දැනට වසර කිහිපයකට කලින් නිරූපණයට පිවිසි චතුරිකා පෙරේරා මේ වනවිට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වී තිබෙනවා. ඉතින් ඒ නිසා අපි චතුරිකාට සාරවිට ඉඩක් වෙන් කිරීමට හිතුවා.
චතුරිකා, මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල නම් ඇත්තටම වැඩ අඩුයි. මම හිතන්නේ පහුගිය කාලේ සිදුවුණු කලබල තත්වයන් නිසා වෙන්න ඇති. බ්‍රයිඩ්ල් ෂූට් දෙක තුනක් විතරයි පහුගිය සතියේම දායක වුණේ.
ක්ෂේත්රයට සම්බන්ධ වුණේ කොහොමද කියලා කිව්වොත්?
මම නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ දැනට අවුරුදු දෙකකට විතර කලින්. බ්‍රයිඩ්ල් ෂූට් කිහිපයකට තමයි මුලින්ම සම්බන්ධ වුණේ.
මේ වෙද්දි සම්බන්ධ වුණු නිර්මාණ ගැන කිව්වොත්?
ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණා.තව චිත්‍රපටයක් තිරගත වෙන්නත් තියෙනවා. බ්‍රයිඩ්ල් ෂූට්වලට තමයි වැඩියෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. අසනීප තත්වයක් නිසා කාලයක්ම නිරූපණයෙන් ඈත්වෙලා හිටියා. නමුත් දැන් නැවතත් වැඩ කරන්න පටන්ගෙන තියෙනවා. නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් මම දැන් රැකියාවක් කරන නිසා ඒවා බාර ගත්තේ නැහැ.
අද නිරූපණ ක්ෂේත්රය තියෙන්නේ හොඳ තැනකද?
මේ වෙද්දි ක්ෂේත්රය තියෙන තැන ගැන නම් මට ලොකු පැහැදීමක් නැහැ. අද නිරූපණය ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. රොසෑන් ඩයස්, වාසනා දන්තනාරායන වැනි අය ගොඩනගපු නිරූපණ ක්ෂේත්රය අද ගොඩක් අය මුදල් සහ වෙනත් දේවල් නිසා නැති කරලා තියෙනවා. අද හැකියාවට නෙවෙයි ගොඩක් වෙලාවට තැනක් ලැබෙන්නේ මුදල් සහ වෙනත් දේවල්වලටයි. අද නිරූපණ ක්ෂේත්රය මම දකින්නේ ගරා වැටෙමින් තියෙන ක්ෂේත්රයක් ලෙසටයි.
නිරූපණය ගොඩගන්න බැරි තත්වයකද තියෙන්නේ එතකොට?
බැහැ කියන්නත් බැහැ ඉතින්. හොඳ විදිහට වැඩක් කරන පිරිසකුත් ඉන්නවා. එයාලා හරි විදිහට කරගෙන ගියොත් හොඳයි. එන එන හැමෝම ෂූට් එකක් කරපු පලියට මෙයා තමයි මොඩ්ලර් කියලා හිතන්නේ නැතුව වැඩ කරන්න ඕනේ.
චතුරිකා පැජන්ට් වලට සහභාගී වෙලා නැද්ද?
ගිය වසරේදී මිස් යුනිවර්ස් කියන පැජන්ට් එකට සහභාගී වුණා. මේ අවුරුද්දිත් පැජන්ට් එකකට සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
නිරූපණයට සෝෂල් මීඩියා බලපාන්නේ කොහොමද?
ඇත්තටම සෝෂල් මීඩියා කියන්නේ එපා කියලා අයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ තැන හදාගන්න පුළුවන් වටින දෙයක්. මට වුණත් වැඩ එන්නේ ගොඩක් වෙලාවට අපේ ෆොටෝස් සෝෂල් මීඩියාවල ප්‍රචාරය වන නිසා. සෝෂල් මීඩියා එක නිරූපණයට ගොඩක් වැදගත් වෙනවා. පහුගිය කාලේ පැජන්ට් එකක ෆොටෝස් කිහිපයක් නිසා සෝෂල් මීඩියා එක තුළ නිරූපණය කියන දේ පල්ලෙහාටම වැටුනා. ඒකේ වැරැද්ද සෝෂල් මීඩියා එකේ නෙවෙයි. කරන දේ හරියට කරා නම් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. නිරූපණයටත් හානිවන දේවල් කරාම ඒවා හැමතැනම ප්‍රචාරය වෙනවා.
රූ රැජිනි තරඟාවලි තුළින් එන අය පසුකාලයකදී රංගනයට සම්බන්ධ වෙනවා. ඒක රංගන ක්ෂේත්රයට හොඳ දෙයක්ද?
ඔව් ඇත්තටම ඒක අළුතෙන් අයටත් හොඳ අවස්ථාවක්. ගම්වල ඉන්න දක්ෂ අයට කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න පුළුවන් හොඳ දෙයක් ඒ වගේ තරඟාවලි. අවුරුදු කුමාරි, බියුටි පැජන්ට් වගේ දේවල් තුළින් ඇවිත් එයාලාගේ වෘත්තීය දේවල් එයාලා පස්සේ පස්සේ හදාගන්න ඕනේ.
ප්‍රවීණ ශිල්පිනියෝ අළුත් අයව කපනවා කියන්නේ ඇත්තද?
මම ප්‍රවීණ ශිල්පියෝ කිහිපදෙනෙක් සමග වැඩ කරලා තියෙනවා. මගේ පෞද්ගලික අත්දැකීම්වල හැටියට ප්‍රවීණ අය එහෙම නැහැ. මට නම් ගොඩක් උදව් කරලා තියෙනවා. සමහර අයට එහෙම වෙලා ඇති. අළුතෙන් එන අය ප්‍රවීණයන්ට ගරු කරන්නේ නැති තත්වයක් ඇවිත් තියෙනවා. ඉතින් එහෙම දේවල් වුණාම ප්‍රවීණයෝ ඒ අයව ගණන් ගන්නේ නැතිවෙන එක සාධාරණයි. ඇත්තටම ප්‍රවීණයන්ට ගරුත්වයක් දෙන්න ඕනේනේ.
නිරූපණය පැත්තෙන් තියෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?
හොඳ විදිහට හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට වැඩවලට ලැබෙන ආරාධනා අඩුයි. නමුත් ඒ ලැබෙන දේවල් අතරින් හොඳ දේවල් වලට විතරක් දායක වෙලා හරි විදිහට ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මගේ ලොකු ආසාවක් තියෙනවා පැජන්ට් එකකින් ජයග්‍රහණය කරන්න. පහුගිය කාලේ එක දිගට පැජන්ට් රැල්ලක් ආපු නිසා ටිකක් ඒ ආශාව හිතින් අයින් කරගත්තා. නමුත් හොඳ ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙක් යටතේ හොඳ පැජන්ට් එකක් ලැබුණොත් සහභාගී වෙනවා.
උදව් කළ අය ගැන කිව්වොත්?
මගේ අම්මාව මුලින්ම මතක් කරනවා. මුල් කාලයේදී බ්‍රයිඩ්ල් ෂූට්වලට ගෙවල් ළඟ අක්කා කෙනෙක් උදව් කළා. එතකොට චමත්කා ලක්මිණී මහත්මිය, රාජ් රණසිංහ මහතා වැනි අය උදව් කළා. ඒ වගේ නම් කියපු නොකියපු ගොඩක් අය ඉන්නවා. ඒ හැමෝවම මේ වෙලාවේදී මම මතක් කරනවා.
කැළුම් දේවින්ද