කවුරුහරි බැන්නත් මම හිනාවෙනවා
ඇය නමින් නුරානි තෙන්නකෝන්. හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ සිනමා විශේෂවේදී උපාධිය සඳහා හදාරණ තෙවැනි වසරේ සිසුවියක්. එලෙසින් කටයුතු කරන නුරානි මේ දිනවල අපට හමුවන්නේ සියත ටී.වී. ඔස්සේ විකාශය කෙරෙන සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ‘ඉත්තෝ’ නාට්‍යය සහ උදයකාන්තගේ ‘ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර්’ චිත්‍රපටයේ චරිතයක් සමගයි. ඊට අමතරව සුපුන් රත්නායකගේ ‘ක්වීන්’ ටෙලිමාලාවේ හංසි ලෙසත්, රවීන්ද්‍ර විජේරත්නගේ ‘ඔබ නිසා’ හි වෛද්‍යවරියක් සහ ‘හුස්මක් තරමට’ නාට්‍යයේ අකිලා ලෙසත් රංගනයෙන් දායකව සිටින්නීය. එලෙසින් හමුවන නුරානි සඳැල්ල හැඩකළ මොහොතකි මේ.
‘නුරානී’ සැබෑ ජීවිතයේ විස්තර මුලින්ම කිව්වොත්?
”මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තෙ මලියදේව බාලිකාවෙන්. අපේ පවුලෙ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි, මමයි. දැන් මම සරසවි සිසුවියක්. හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ තෙවැනි වසරේ සිසුවියක ලෙස කටයුතු කරන අතරේ, රංගනයටත් දායක වෙනවා. සරසවි ඒමට පෙර නිදහස් මාධ්‍යවේදිනියක ලෙසත් කටයුතු කළා.”
රඟපෑමට ආවෙ කොහොම ද?
”මගේ අරමුණ තිබුණේ මාධ්‍ය ක්ෂේත්රයේ ගමනක් යන්න. උසස් පෙළට පවා කළේ සිංහල භාෂාව, තොරතුරු තාක්ෂණය සහ ජනමාධ්‍ය විෂයයන්. හැබැයි සරසවියට තේරුණේ සිනමා අංශයෙන්. ඒ නිසා ඒ ආ ගමන සම්පූර්ණයෙන්ම කණපිට හැරුණා. දැන් ඉතින් මේ පෙරළුණ පිට හොඳයි කියලා උපාධිය ඉවර කරනවා. ඉන්පසුව එළියට ඇවිත් මාස්ටර් එක කරන්නයි හිතාගෙන ඉන්නේ. රංගනයට මුලින්ම පාර කියා දුන්නෙ ප්‍රදීප් මානවඩු අයියා. ඔහු නිසා තිළිණ බොරලැස්ස අයියා හඳුනා ගත්තා. තිිළිණ අයියගෙ ‘අවි කඳුල’ මගේ ප්‍රථම රංගනයයි. ඒ නාට්‍යය විකාශයට නියමිතයි. ඒ අතරෙදි තමයි ඔබ නිසා, හුස්මක් තරමට, ක්වීන් සහ ඉත්තෝ රඟපෑමට අවස්ථා ලැබුණෙ. ටෙලිනාට්‍ය කරන අතරෙදි මේ දිනවල තිරගත වන උදයකාන්ත මහතාගේ ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් චිත්‍රපටයේ සුළු චරිතයක් ලැබුණා. චරිතය සුළු වුණත් ඒක මට ලැබුණු දැවැන්ත අවස්ථාවක්. උදයකාන්ත මහතා වැනි දැවැන්ත සිනමාකරුවකුගේ නිර්මාණයකට දායක වීමට ලැබීම ලොකු අවස්ථාවක්. ‘ඉත්තෝ’ නාට්‍යයට සම්බන්ධ වුණේ මේ නිර්මාණවලට පසුවයි.”
ඉත්තෝ නාට්‍යයේ දුනුවිල මහ ඇමැතිතුමාගේ දියණිය ලෙස රඟපාන චරිතය ගැන කතා කළොත්?
”ඒ චරිතය ඇත්තටම මගේ සැබෑ ජීවිතයේ චරිතය කිව්වොත් හරි. සුනෙත් මාලිංග අයියා මට මේ චරිතය ලබාදීම ගැන තියෙන්නෙ ලොකු සතුටක්. ඉත්තෝ කතාවෙ හැටියට මම දේශපාලන පවුලක දියණියක්. මගේ තාත්තා මහ ඇමැතිවරයෙක්. අම්මා සහ අයියත් දේශපාලනයට ලැදියි. තාත්තා දේශපාලනය කළාට අම්මාගෙ අතේ තමයි ලණුව තියෙන්නේ. අම්මගෙ රූකඩයක් කිව්වොත් හරි. අයියා ක්ලබ් යන ගෝරි දාගන්න චරිතයක්. හැබැයි දුනුවිල මහ ඇමැතිගෙ දුව මේ කිසි දෙයකට කැමැති නැහැ. මේ සියල්ලට විරුද්ධව කටයුතු කරන සරසවි සිසුවියක්. මගේ සැබෑ ජීවිතයේදීත් මම දේශපාලනයට කැමැති නැහැ. මේ කතාවේ විදියමයි මාත්. ඉතින් මගේම චරිතය රඟපෑමට ලැබීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්. සැබෑ ජීවිතයේදී දේශපාලනය මට කොච්චර නම් අරහං ද කිව්වොත් ඡුන්දයක්වත් දාන්න යන්නෙ නැති කෙනෙක්.”
ඒ කියන්නෙ රැුඩිකල් කෙල්ලෙක්?
”අපෝ රැුඩිකල් නැහැ. මම මගේ පාඩුවෙ ඉන්න කැමැති, දේශපාලන ක්‍රියාවලියට අකැමැති චරිතයක්. උපවාස, පිකටින් කිසිවකට නැහැ.”
මොකද නිතරම හිනා වෙන්නෙ?
”ඒක මගේ පුරුද්දක්. කවුරු හරි බැන්නත් මම හිනාවෙන චරිතයක්. ප්‍රශ්නයක් තිබුණත් මම හිනාවෙනවා. එතකොට ප්රශ්නය ඩබල් ටි්රබල් වෙන්නෙ නැහැනේ. මගෙ දිහා බලන අයට නිකන් පිස්සු කියලා හිතෙනවත් ඇති. මොකද නිතරම හිනාවෙන නිසා. නැව ගිලූණත් බෑන් චූන් වගේ හිටියාම ගතටත් හොඳයි.”
තනියම උයා පිහාගෙන ඉන්නෙ එහෙම නේද?
”සරසවි ජීවිතය නිසා දැන් පදිංචිය හොරණ. ඉතින් මමම තනියම උයා පිහාගෙන කනවා. හොඳට උයාගන්නත් පුළුවනි.”
නුරානිට ආදරය දැනෙන්නෙ කොහොම ද?
”අනේ මන්දා... මේ සරසවි අධ්‍යාපනය එක්ක මම ජීවිතය පටලවාගෙන නැහැ. ආදරය ඉතින් කොහොමටත් සුන්දරයිනේ. ආදරය කියන්නෙ ඉතින් ඒ සුන්දරත්වයටම තමයි.”
පෙම්වතියක්?
”එහෙම හිතමු.”
ඉදිරියේදීත් වෘත්තිය රඟපෑම ද?
”වෘත්තියක් ලෙස ඉදිරියේදී මම කරන්නෙ ඉගෙන ගන්න විෂයට අදාළවයි. වැඩසටහන් අධ්යක්ෂණයට තමයි කැමැති. නැත්නම් ඉගෙන ගන්න දේ අපතේ යනවනේ.”
සරසවි ජීවිතේ කොහොම ද? රහයි ද?
”පළමු වසර දෙකම හරිම රහයි. විශේෂයෙන්ම රැුග් කාපු කාලයට මම කැමැතියි. ඒක ලස්සනට බාර ගත්තා. රැුග් හරිම සුන්දරයි. සරසවි ජීවිතය ඇත්තෙන්ම සුන්දරයි. අපේ කණ්ඩායමේ මේ විෂයයට අදාළව සිටින්නෙ ඔක්කෝම 12 දෙනයි. ඒ 12 දෙනාම ගැහැනු ළමයින්. ඒකත් හරි විශේෂ දෙයක්.”
කොහොම ද නුරානිගෙ ඉදිරි වැඩ කටයුතු?
”තවත් අලූත් ටෙලිනාට්‍යයක රඟපෑමට ලැබී තිබෙනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ දෙකකටත් කැමැති වුණා. මීට පෙර මියුසික් වීඩියෝ කීපයක්ම ලැබුණත් ඒවාට නොගියේ අඬන සිංදුවලට, විළාප සිංදුවලට අකැමැති නිසයි. මල් සිංදුවලට පෙනී හිටින්න මම කැමැති නැහැ. ඉගෙන ගෙන ඒ ඉගෙන ගත් ක්ෂේත්රයට යමක් කරන්න ඕනෑ. දවසින් තරුවක් වෙලා දවසින් කඩා වැටෙන්න මට ඕනෑ නැහැ.”
‘නුරානි’ සැබෑවටත් විසේකාර චරිතයක් ද?
”අනේ නැහැ. හැබැයි ටිකක් විතර දඟකාර චරිතයක්.”
හැඩගැන්වීම්: Salon See හොරණ
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ