කවුරුත් කැමති ආදරේ විඳින්නයි
සුබා යනු ගමක ඉපදුණ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක ගැහැණු ළමයෙකි. ඇය දුප්පත් අහිංසක ගැහැණු ළමයෙක් කිව්වොත් හරි. මේ සුබා අපට මේ දිනවල හමුවන්නෙ සුදත් දේවප්‍රියගෙ ‘‘සුළඟ මහමෙරක’’ ටෙලිමාලාව සමගයි. මේ විදියට ‘සුබා’ නම් වූ ඇය තරින්දි අනුරාධිකා ප්‍රනාන්දුය. මෙවර සඳැල්ල කතාබහ සහ මුල් පිටුව හැඩ කරන්නේ ඇයයි.
තරින්ඳි අලූත් විස්තර කිව්වොත්?
පසුගිය දිනවල උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ‘ප්රසිඩන්ඞ් සුපර් ස්ටාර්’ චිත්‍රපටයේ චරිතයකට දායක වුණා. ඊට අමතරව මේ දිනවල විකාශය කෙරෙන සුදත් දේවප්‍රිය මහතාගේ සුළඟ මහමෙරක නාට්‍යය රඟපානවා. ලක්ෂ්මී දමයන්ති මහත්මිය එහි නිෂ්පාදිකාවයි. ඒ හැර තවත් චිත්‍රපටයක් ලැබිලා තියෙන්නෙ.
සැබෑ ජීවිතයේ තරින්දිගෙ චරිතයට මේ සුබා චරිතය සමාන වෙන්නෙ කොහොමද?
සැබෑ ජීවිතයේදී මම ගෙදරට ටිකක් දඟකාර චරිතයක්. හැබැයි පිටට එහෙම නැහැ. මාත් එක්ක ඇසුරු කරන අය ඒ ගැන දන්නවා. සුබා කියන්නෙ සමාජයට හරි අහිංසකයි. ඒත් පවුල ඇතුළෙ වෙනම කෙනෙක්. මගේ සැබෑ ජීවිතය ගැන කිව්වොත් මමත් ගොඩක් දුප්පත් පවුලකින් එන කෙනෙක්. අම්මාතාත්තා ඉහළට ඉගෙන ගෙන නැතත්, අපට හොඳින් ඉගැන්නුවා. අපට කිව්වෙ මටයිඅක්කටයි. අපි දෙන්නව උස්මහත් කරන්න අපේ අම්මයිතාත්තයි සෑහෙන්න කැපවීමක් කළා. සමහරදාට අමතර පංතිවලට යන්න මම අම්මගෙන් සල්ලි ඉල්ලලා කරදර කරලත් තියෙනවා. සියලූ බාධක හමුවේ දෙපයින් නැගී සිටිමින් ලෝකයට ආදරය කරන විදිය අම්මා අපට පුරුදු කළ දෙයක්. ඒත් අක්කා බැංකු නිලධාරිනියක ලෙස උසස්වීම් ලබා ඉහළට යද්දී, මම මේ ක්ෂේත්රයේ පියවර තබද්දී අම්මා අපට අහිමි වුණා. හැබැයි අම්මා ජීවිතයෙන් සමුගත්තෙ අපේ ලෝකය හදලා.
ජනපි‍්‍රය වෙන තරමට සමහර අය තමුන්ගෙ යටගියාව ගැන කියන්න අකමැතියි. ඒත් තරින්දි ඒ ගැන කියන්නෙ?
මට මගේ පවුල ගැන සහ යටගියාව ගැන කියන එක මදිකමක් නෙමෙයි. අද මම සිටින්නෙ එදා හිටපු තත්ත්වයේ නෙවෙයි. අම්මාතාත්තා කල කැපකිරීම මට මහා ආඩම්බරයක්.
අක්කා ගැන විස්තර කිව්වොත්?
අද මට අම්මා වෙලා ඉන්නෙ අක්කා. එයා ඇත්තටම අපේ අම්මා වගේ හරිම ධෛර්යවන්ත චරිතයක්. මම හැදුණෙ අම්මලා එක්ක. අක්කා ශිෂ්‍යත්වය සමත් වෙලා පසුව මීගමුව නිව්ස්ටඞ් බාලිකාවට ගියා. තනියම හොස්ටල් එකේ ඉඳලා උසස් පෙළ සමත් වෙලා, සරසවියට ගිහින් කළමනාකරණ අංශයේ උපාධිය ලබා ගත්තා. එදා එයා අවශ්‍ය වියදම් පවා හොයා ගත්තෙ පෙර පාසල් ගුරුවරියක ලෙස උගන්වලා අද එයා දිවයිනේ ප්‍රකට බැංකු ආයතනයක වසර 13කට එහා පළපුරුද්ද තියෙන කළමණාකාරවරියක්.
තරින්ඳිට ඇයි අක්කා වගේ වෙන්න බැරි වුණේ?
මම ඉගෙන ගත්තෙ ව්‍යාපාර අංශයට යොමු වීම ගැන හිතලයි. අක්කා කිව්වා වාණිජ අංශයෙන් ඉගෙන ගෙන බැංකු රස්සාවක් හොයා ගන්න කියලා. ඒ විදියට උසස් පෙළ කරලා මම පුද්ගලික බැංකුවක වසර 4ක් විතර සේවය කළා. ඒ වන විටත් කලාව මගේ හිතේ තිබුණු දෙයක්. අපේ අම්මා නැති වුණාට පස්සෙ එක තැන ඉඳගෙන කරන රස්සාව පවා මට එපා වුණා. ඒ තරමටම මානසිකව ඇද වැටිලා හිටියෙ. ඒ අතරවාරයේදී මානසිකව සැහැල්ලූ වෙන්න හිතාගෙන ගයාන් ශ්‍රිමාල් අයියා ළඟ නර්තනය පුරුදු වෙන්න ගියා. එතැනදී තමයි චරිත් අබේසිංහ අධ්යක්ෂවරයා මාව ‘බරතලී’ නාට්‍යයට තෝරා ගන්නෙ. රංගනය පටන් ගත්තෙ ඒ විදියටයි. ඉතින් බැංකු රස්සාවටත් සමුදීලා හිටපු මම රඟපෑම තෝරා ගත්තා.
අක්කා කැමති වුණාද ඔබ රංගනයෙන් ඉදිරියට යනවට?
අක්කා උපරිම සහයෝගය ලබා දෙනවා. තාත්තාත් අසනීපයෙන් සිටින නිසා අක්කා මට අම්මා වගේ උපදෙස් දෙනවා. හොඳ නිර්මාණ තෝරා ගෙන ගමනක් යන්නෙ ඇයගෙන් ලැබෙන සහයෝගය නිසයි.
තරින්ඳිට විවාහයක් එහෙම කර ගන්න කියලා අක්කා කියන්නෙ නැද්ද?
අක්කා වගේම අපේ නැදෑයින් නිතරම ඒ ගැන කියනවා. දැන් ඉතින් ඔහොම හිටියා ඇති බැඳපං, බැඳපං කියලා. සමහර විට ලබන වසරේ විශේෂ දෙයක් වේවි.
එතකොට කවුද එයා?
අපේ ෆීල්ඞ් එකේම කෙනෙක්.
ආදරේ සුන්දරයිද?
ආදරේ විඳිනවා. මම වගේම මම හිතන්නෙ ආදරය කරන කවුරුත් කැමති ආදරේ විදින්නනෙ.
බලපෑම් වලින් තොරව කලාවේ රැුඳී සිටින්න නම්, කොහොම සිටිය යුතුයි කියලද හිතන්නෙ?
කලාවේ විතරක් නොවෙයි. සමාජයේ ඕනෑම තැනක නොගැලපෙන අය ඉන්නවා. අපි අපටම සීමා දාගෙන සිටියොත් ජීවිතය හරිම සැහැල්ලූවෙන් ගෙනියන්න පුළුවනි. කවුරුවත් අපට බලපෑම් කරන්නෙ නැහැ. මගේ නැන්දලා වගේම ඥාතින් සිටින්නෙ මීගමුවෙ. අපේ ගමේ. හැබැයි සමාජයේ ඕනෑම තැනකට තනියම ගිහිල්ලා ගෞරවයෙන් එන්න මට පුළුවනි. මොකද මම මටම සීමා දාගෙන ඉන්නෙ.
අද තරින්ඳිට ජීවිතය දැනෙන්නෙ කොහොමද?
පොඩි කාලයේ හිතුවෙ කෑම බීම ඇඳුම් - පැළඳුම් තියෙන එක විතරක් ඇති කියලයි. කොහොම වුණත් අපේ අම්මා නැති වුණාට පස්සෙ ජිවිතය බලාපොරොත්තු ගොඩාක් එක්ක ගෙව්වෙ නැහැ. අම්මා මේ තරම් ඉක්මනට අපිව දාලා යාවි කියලා හිතුවෙ නැහැ. ඒ නික්මයාමත් එක්ක ජීවිතයේ යථාර්ථය මම තේරුම් ගත්තා. ආසාවන් සියල්ල සරල වන තරමට ජීවිතය සුන්දරයි.
හැඩගැන්වීම් - නිෂාන් තරංගද සිල්වා
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ