කවදාවත් හිතුවේ නැහැ මම නිළියක් වෙන්න
ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ‘කලාමැදිරියෝ’ ටෙලි නාට්‍යයේ ‘විහංසා’ නම් ප්‍රධාන චරිතයට පණ පොවන හර්ෂි අංජුමාලා අද ‘සාරවිට’ තරු කතා බහ මෙළෙස සම්බන්ධ කරගත්තේමු. දෙරණ ‘ලිට්ල් ස්ටාර්’ රියලිටි තරගයේ ළමා නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්රයට පිවිසි ඇය වර්තමානය වන විට රංගන ශිල්පිණියක්, වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් මෙන්ම හඬකවන්නියක් ලෙසද කටයුතු කරමින් සිටියි.
ඔබ ‘සිදූ’ නාට්‍යයේ ‘ගයනි’ වෙන්නේ කොහොමද?
මම 2008 වසරේ දෙරණ ‘ලිට්ල් ස්ටාර්’ රියලටි තරගයට සම්බන්ධ වෙනවා. එහිදි වයස අවුරුදු 12න් පහළ නර්තන අංශයේ ජනප්‍රියම තරුව වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ හරහා තමයි මට දෙරණ නාලිකාවේ ‘සිදූ’ ටෙලි නාට්‍යයේ ‘ගයනි’ කියන චරිතය ලැබෙන්නේ.
හර්ෂි මේ දිනවල අපි දකින්නේ?
‘සිදූ’ ටෙලි නාට්‍යයේ ‘ගයනි’ විදිහටත්, ‘කලාමැදිරියෝ’ ටෙලි නාට්‍යයේ ‘විහංසා’ විදිහටත් මේ දිනවල මාව දකින්න පුළුවන්. ඊට අමතරව ‘අබාන්ස්’, ‘DSI’ හා ‘ජම්බෝ පිනට්ස්’ කියන වෙළෙඳ දැන්වීම් හරහාත් මාව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා. ඊට අමතරව හඬකවන්නියක් විදිහට නිර්මාණ කිහිපයකටත් මේ දිනවල දායක වෙලා ඉන්නවා මම.
‘ගයනි’ කියන චරිතයටද, ‘විහංසා’ කියන චරිතයටද වැඩිපුර රසික ප්‍රතිචාර ලැබෙන්නේ?
‘ගයනි’ කියන චරිතයට. මොකද, ‘කලාමැදිරියෝ’ ටෙලි නාට්‍යයේ තවමත් විකාශය වුණේ කොටස් කිහිපයක් පමණයි. මම ‘විහංසා’ විදිහට මෙහි පෙනි ඉන්නේ කොටස් පහක්, හයක් විකාශය වුණාට පස්සේ. ඉතින් ගොඩ දෙනෙක් තවමත් ‘විහංසා’ කියන චරිතය ගැන දන්නේ අඩුවෙන්. නමුත්, ‘ගයනි’ කියන චරිතය ගොඩ දෙනෙක් අඳුනනවා. විශේෂයෙන්ම හර්ෂි අංජුමාලාව දන්නේ නැති අය පවා ‘ගයනි’ කියන නමින් මාව අඳුනනවා.
නර්තන ශිල්පිනියක් වුණ අද රංගන ශිල්පිනියක් විදිහට පරිවර්තනය වෙලා තියෙනවා?
පුංචි කාලේ ඉඳලා මම කළේ නර්තනය. කවදාවත් හිතුවේ නැහැ නිළියක් වෙන්න කියලා. අධ්‍යාපනයට අමතරව ‘හොබි’ එකක් විදිහට තමයි මම නර්තනය කළේ. නමුත්, අම්මාගේ කැමැත්තක් තිබුණා මම නිළියක් විදිහට රංගනය පැත්තට යොමු වෙනවාට. අම්මාගේ ආසාව නිසා තමයි මම නිළියක් වුණේ කිව්වොත් හරි.
ඉදිරියට එන්න තව කලා නිර්මාණ තියෙනවද හර්ෂිගේ?
නැහැ. ආරාධනා නම් කිහිපයක් ලැබුණා. නමුත්, භාර ගත්තේ නැහැ. මොකද අධ්‍යාපන කටයුතුත් එක්ක කලා කටයුතුවලට වැය කරන්න තියෙන කාලය අඩු නිසා මට. ඒත්, මම හිතනවා ‘කණාමැදිරියෝ’ ටෙලි නාට්‍යයේ ‘විහංසා’ කියන ප්‍රධාන චරිතය ඉදිරියට මගේ ජනප්‍රියත්වයට පිටුවහලක් වෙයි කියලා. ඊට අමතරව දෙරණ නාලිකාවේ තවමත් ‘සිදූ’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. නිර්මාණ කිහිපයකම මාව දකින නිසා තවත් නිර්මාණයකට කාලය වැය කරන එක තේරුමක් නැහැ කියලා.
පවුලේ අයගෙන් මොන වගේ සහයක්ද හර්ෂිට ලැබෙන්නේ?
ගොඩක්ම මට උදව් කරන්නේ අම්මා. ඇය තමා නිතරම වගේ මාත් එක්ක කලා කටයුතුවලට යන්නේ. ඒ වගේම තමයි අම්මාගේ තෝරා ගැනීම් මත තමයි මම චරිතයකට වුණත් සම්බන්ධ වෙන්නේ. සමහර තාත්තලා කැමති නැනේ දුව නිළියක් වෙනවාට. මොකද, සමාජයේ අද තියෙන කතා එක්ක. ඇත්තටම මගේ අම්මා, තාත්තා එහෙම පටු විදිහට මේ ක්ෂේත්රය ගැන හිතන්නේ නැහැ. අපිට විවිධ මිනිස්සු මේ ක්ෂේත්රය තුළදී මුණ ගැහිලා තියෙනවා. අම්මා, තාත්තා එක්ක මගේ අක්කලා දෙන්නත් ගොඩක් මට උදව් කරනවා. ඊට අමතරව ලිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂක තුමා ඇතුළු මාව කලා නිර්මාණවලට දායක කරගත්ත හැම දෙනාවමත් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කර සිටිනවා.
බුද්ධික සේනාධීර