කලාවෙන් දැන් අපි වගේ අයට ජීවත් වෙන්න අමාරුයි
මේ දිනවල අති සාර්ථකව ප්‍රදර්ශනය වන හර්ෂ උඩකන්දගේ ‘කොළඹ සන්නිය රිටන්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන මේනකා මධුවන්ති අද ‘සාරවිට’ තරු කතාබහට අපි මෙලෙස සම්බන්ධ කරගත්තෙමු. ඉදිරියේ දී තවත් සිනමා නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින ඇය, ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘රාජයෝගය’ ටෙලි නාට්‍යයේද රංගනයේ යෙදෙයි.
කාලයකට පස්සේ මේ දිනව අපි චිත්‍රපටයකින් ඔබව දකිනවා?
ඔව්, හර්ෂ උඩකන්දගේ ‘කොළඹ සන්නිය රිටන්ස්’ චිත්‍රපටය තුළින්. ගොඩක් ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා මෙහි මා ඉදිරිපත් කරන චරිතයට. මේක ප්‍රතිනිර්මාණයක් නිසා ටිකක් පොඩි චකිතයකින් තමයි මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. මොකද, මේක දැවැන්ත චිත්‍රපටයක් 80 දශකයේ තිරගත වුණ. නමුත්, අධ්‍යක්ෂක හර්ෂ ඇතුළු මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණ හැම කෙනෙක්ම මේ චිත්‍රපටයට හොඳ දායකත්වයක් දීලා තියෙනවා, ඒ බව ලැබෙන රසික ප්‍රතිචාර තුළින් මට කියන්න පුළුවන්.
පරණ චිත්‍රපටයේ කතාව නෙමෙයිනේ අලුත් චිත්‍රපටයේ තියෙන්නේ?
මේ චිත්‍රපටය පැරැණ චිත්‍රපටයට වඩා ගොඩක් වෙනස්. ප්‍රතිනිර්මාණයක් වුණාම ගොඩක් වෙලාවට අපිට දකින්නට ලැබෙන්නේ පැරැණි චිත්‍රපටයේම කතාව. නමුත්, හර්ෂ මේක ගොඩක් වෙනස් කරලා තියෙනවා. මම රඟපාන චරිතේ වුණත් පළමු චිත්‍රපටයේ නැහැ. ඒක හර්ෂ අලුතෙන් මේ චිත්‍රපටයට එකතු කරලා තියෙනවා. චිත්‍රපටයේ මුල ගත්තොත් පැරැණි චිත්‍රපටයට සමානකමක් පෙන්වනවා. ඒත්, චිත්‍රපටයේ අඟ බලනකොට පැරැණි චිත්‍රපටයේ කතාව නැහැ. ඒ වෙනසත් එක්ක චිත්‍රපටයට අමුතුම ආකාර්ෂණයක් ලැබිලා තියෙනවා.
මේ චිත්‍රපටයෙත් ඔබ රඟපාන්නේ බටහිර පාන්නට හැඩගැහුණු තරුණියකගේ චරිතයක්?
ඔව්, සුපුරුදු පරිදි එවැනි චරිතයක් මට ලැබිලා තියෙනවා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. සමහර විට මගේ පාටත් එක්ක තියෙන පෙනුමට තමයි මේ චරිත මට ලැබෙනවා ඇත්තේ. නමුත්, මේ චිත්‍රපටයෙන් පස්සේ මගේ තවත් ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකින් එන්න තියෙනවා. ඒ නිර්මාණවල නම් මට ලැබිලා තියෙන්නේ එකිනෙකට වෙනස් විවිධ චරිත.
පසුගිය කාලයේ ඔබ කලා නිර්මාණවල අපි දුටුවේ නැහැ?
කලා නිර්මාණවල තමයි බොහෝ වෙලාවට මම හිටියේ. මා කලින් සඳහන් කළ චිත්‍රපට හතරේ රූපගත කිරීම්වලට දායක වුණා. ටෙලි නාට්‍යය පැත්තෙන් නම් මම කිසිම නිර්මාණයකට පසුගිය කාලේ දායක වුණේ නැහැ. ඒකට හේතුව තමයි මම කාලයක් එකම චරිතයකට කොටුවෙලා හිටිය නිසා. මට එකෙන් මිදෙන්න ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ‘රාජයෝගය’ ටෙලි නාට්‍යයේ ‘දුලීකා’ කියන්නේ මම කාලයක් තිස්සේ වැඩ කරන්න බලාගෙන හිටපු චරිතයක්. ‘දුලීකා’ කියන චරිතය මා මෙතෙක් රංගනයෙන් දායක වූ ටෙලි චරිත එක්ක ගත්තොත් ලොකු වෙනසක් තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් මේ චරිතය තුළ යමක් කිරීමේ හැකියාව මට තියෙනවා කියලා හිතෙනවා. මේ අවස්ථාව මට ලබාදුන්න සද්ධා මංගලසූරිය බණ්ඩාර හා චාමර අයියාට විශේෂයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි. ඊට අමතරව හෙක්ටර් කුමාරසිරි මහත්මයාගේ ‘අනෝරා වැස්ස’ කියන චිත්‍රපටයෙත් මම වෙනස්ම චරිතයක් නිරූපණය කරනවා.
අලුත් ව්‍යාපාරයකුත් ඔබ පටන් ගත්තා?
ඔව්, මගේම කියලා රූපලාවන්‍යගාරයක් පවත්වගෙන යනවා කඩවත. ඊට කලිනුත් මම පොඩි පොඩි ව්‍යාපාර කළා. නමුත්, කාලයක ඉඳලා මගේ තිබුණ හීනයක් තමයි මගේම කියලා රූපලාවන්‍යගාරයක් පටන් ගන්න එක. කලා කටයුතු වගේම ව්‍යාපාර කටයුතු නිසාත් වර්තමානයේ මම ටිකක් විතර කාර්යබහුල වෙලා ඉන්නවා. කලාවෙන් දැන් ජීවත් වෙන්න අමාරුයි. එකයි මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තේ.
රංගන ශිල්පිනියක් විදිහට මේ ගෙවනු කාලය ගැන තෘප්තිමත් වෙනවාද?
රංගන ශිල්පිනියක් විදිහට මම මහා ලොකු වැඩ ගොඩක් කරලා නම් නැහැ. නමුත්, මම හිතනවා මේ ලැබුණ සීමිත නිර්මාණවල මට ලැබුණ කාර්ය මම හොඳට කළා කියලා හිතනවා. මොකද, අදටත් මා රඟපෑ චරිත තියෙනවා ප්‍රේක්ෂකයෝ කතා කරන. අපි කරන නිර්මාණය තුළ අපිට ලැබෙන මුදල නෙමෙයි අපිට වටින්න, ප්‍රේක්ෂකයන්ගේ ආදරය හා ප්‍රතිචාරය. අන්ත එතැනදි තමයි අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්. මිනිස්සු ආදරය කරන චරිතයක් වෙලා තියෙනවා. ඒ ගැන හිතන කොට ලොකු සතුටක් තියෙනවා.
බුද්ධික සේනාධීර