කලාවට සම්බන්ධ වුණත් මගේ හීනේ දක්ෂ ගායිකාවක් වෙන්න
ගායිකාවක් ලෙස ක්ෂෞත්රයට පිවිස පසුව නිරූපණයට සම්බන්ධ වූ රේශානි හෙන්නදිගේ සමගින් ‘සාරවිට’ අපි මෙවර කතා බහ කළේමු. මේ වනවිට ගීත රූප රචනා බොහෝමයක දකින්නට ලැබෙන රේශානි ඉදිරියේදී ලාංකීය සිනමාවටද පිවිසිමේ සූදානමකින් පසුවේ.
ක්ෂේත්රයට ඔබ පිවිසෙන්නේ ගායිකාවක් විදිහට කිව්වොත් හරි?
ඔව්, මුලින්ම ගායිකාවක් විදිහට තමයි මිනිස්සු අතරට එන්නේ. 2016 වසරේ මම සංගීත කණ්ඩායම නියාමක ගායන ශිල්පිනියක් විදිහට වැඩ කළා.
නිරූපණයට ඔබ එකතු වුණේ එතකොට?
පොඩි කාළේ ඉඳලා නිරූපණයටට එකතු වෙන්න ආසාවක් තිබුණා. නමුත්, මම දක්ෂ වෙලා හිටියේ ගීත ගායනයට. කොහොම හරි අහම්බෙන් මම නිරූපණය ක්ෂේත්රයට සම්බන්ධ වුණා.
නිරූපණ හා රංගන ක්ෂේත්රය ගැන ඔබ දරණ අදහස මොන වගේද?
තම තමන් හැසිරෙන විදිහ අනුව තමයි. ඉතින් තමන්ට හොඳද? නරකද? කියලා තිරණය කරන්න පුළුවන් මේ ක්ෂේත්රය වල කටයුතු කරන විදිහත් එක්ක. තමන් හොඳ විදිහට ඉන්නවා නම් ඉතින් ඕනා තැනක තමන්ට හොඳ විදිහට රැඳෙන්න පුළුවන් කියන මතයේ මම ඉන්නවා.
දායක වුණ කලා නිර්මාණ ගැනත් කියමු අපි?
මේ දිනවල දෙරණ රූපවාහිනියේ විකාශය වෙන ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ මම රංගනයෙන් දයක වුණා. ඒ වගේම ඉදිරියට එන්න තියෙන ටෙලි නාට්‍යය කිහිපයකම පසුගිය කාළේ වැඩ කළා. ඊට අමතරව ‘රාක්ෂ අසපුව’ කියලා චිත්‍රපටයකටත් දායක වුණා. වර්තමානයේ රටේ තියන වතාවරණයත් එක්ක ගොඩක් කලා නිර්මාණවල රූපගත කිරිම් අතරමඟ නතර කරලා තියෙන්නේ. ඔය අතරේ මා විසින්ම ගායනා කළ ගීත කිහිපයකම රූප රචනාවලටත් මම දායක වුණා.
නිරූපිකාවකට අද තියෙන පිළිගැනීම කොහොමද?
වර්තමාන සමාජය තුළ නම් ලොකු පිළිගැනීමක් නම් අද වෙන කොට නිරූපිකාවන්ට රංගන ශිල්පිනියන්ට නැහැ. ඒත් තම තමන් ජිවත් වෙන විදිහ අනුව තමයි තමන්ට ලැබෙන පිළිගැනිම තිරණය වෙන්නේ.
කලාව කියන දේ ඔබේ වෘත්තිය බවට අද පත් වෙලාද?
දැනට මම වෙනත් රැකියාවක් කරනවා. ඒ අතරේ ලැබෙන විවේකයේදී තමයි නිරූපණ හා රංගන කටයුතුවල නිතර වෙන්නේ. මේක මගේ වෘත්තිය විදිහට මම තාම පත් කරගෙන නැහැ. මම දැනට තොරතුරු තාක්ෂණයට සම්බන්ධ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ඒ අතරේ මම සංගීත කණ්ඩායමක ගායන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරනවා. මගේ තව තියෙන ලොකුම බලාපොරොත්තුවක් තමයි ගායන ක්ෂේත්රයේන් ඉදිරියට යන්න එක. පළමු ගීතය දැනටමත් එළිදක්වලා තියෙන්නේ මම. ඉදිරියෙදි තව ගීත කීපයක්ම එළඑළිදැක්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
උදව් කරපු අය?
දෙමාපියන් සහෝදර සහෝදරියන් පවුලේ සියලු දෙනාම ගොඩක් උදව් කරනවා , විශේෂයෙන්ම මම කලාවට සම්බන්ධ වුණේ සුමින්ද යාපා මහත්මයාගේ සංගීත කණ්ඩායම හරහා ඔහු තමා මගේ සංගීත ජීවිතයේ මුල්ම ගුරුවරයා ඉතින් ඔහුගේ ආශිර්වාදය මත තමයි මුලින්ම සංගීත ක්ෂේත්රයට පිවිසුණේ එතැනින් එහාට තමයි නිරූපණයට රංගනයට පිවිසුණේ. ඒ වගේම මම දැනට සංගීත විශාරද පාඨමාලාව හදාරනවා මට උගන්වන ගුරුතුමියත් මට ගොඩක් උදව් කරනවා. මම ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේදී මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා.
බුද්ධික සේනාධීර