කලාව මගේ වෘත්තිය කරගන්න මම කැමති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-04-ent-02

හඬකැවිම් ශිල්පිනියක් ලෙස අප දන්නා පූර්ණිමා විදේශිකා වර්තමානය වනවිට වඩාත් කතාබහට ලක්ව ඇත්තේ රංගන ශිල්පිනියක් හා ගායිකාවක් ලෙසය. එමෙන්ම මේ වනවිට රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කරන ඇය දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාහය වෙන ‘රාවණ’ ටෙලි නාට්‍යයේද දක්නට ලැබේ.

 

පූර්ණිමා නිළියක් විදිහට මේ දිනවල අපි දකිනවා? 

ඔව්, තුෂාර තෙන්නකෝන් මහත්මයාගේ ‘රාවණා’ චිත්‍රපටයේ. එහි මම නිර්භිත යක්ඛ තරුණියක් වන ‘පුටා’ ලෙස රංගනයෙන් දායක වෙනවා. රංගන ශිල්පිනියක් විදිහට මේ මම ලබපු පළමු අත්දැකිම. රඟපාන්න නම් මගේ ලොකු ආසාවක් නැහැ. නමුත්, මේ චරිතය මට ගොඩක් ගැලපුණ හින්දා ආසාවෙන් භාර ගත්තා. මගේ චරිතය ගොඩක් වෙලාවට යොදාගෙන තියෙන්නේ සටන් ජවනිකාවලට. මටත් සටන් කිරිමේ හැකියාව තියෙන හින්දා මේ චරිතය කරන්න මට ගොඩක් පහසු වුණා.

 

හඬකැවිම් ශිල්පිනියක් විදිහට ඔබ බොහෝ පිරිසක් අතරට ගියේ ‘ශිවන්‍යා’ හරහා?

ඔව්, මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂය එක කිව්වොත් හරි. ‘ප්‍රේම දඩයම’ ටෙලි නාට්‍යයේ ‘ශිවන්‍යා’ට හඬකවමින් මට බොහෝ පිරිසක් අතරට යන්න පුළුවන් වුණා. ‘ශිවන්‍යා’ චරිතයට හඬකවන්න කලින් මම බොහෝ විදෙස් නිර්මාණවලට හඬකවලා තිබුණා. නමුත්, මාව බොහෝ පිරිසක් අඳුන ගත්තේ ‘ශිවන්‍යා’ හරහා.

 

අලුත් ගීතයකුත් කරලා තියෙනවා නේද?

ඔව්, ‘හීනේ’ කියලා. තවත් නොබෝ දවසකින් එක එළිදක්වන්න නියමිත වෙලා තියෙනවා. මේ ගීතය යුග ගීතයක්. සංජුල හිමාල අයියාත් එක්ක තමයි මම මේ ගීතය කියන්නේ. ගී තනුව හා සංගීතය නිර්මාණය කළේ ජාදු ලංකා. පද රචනය සචිත් හේරත්ගේ. මේගීතයට කලින් මම ‘අම්මා, ‘මා සිනාසෙන්න’ හා ‘මංගල්‍ය’ කියලා තව ගීත තුනකුත් කළා. නමුත්, වෘත්තිය ගායිකාවක් විදිහට ක්ෂේත්‍රයට මම පිවිසෙන්නේ තවත් නොබෝ දිනකින් එළිදක්වන ‘හීනේ’ කියන ගීතය හරහා. මේ ගිතයට පස්සේ තවත් ගීත කිහිපයක්ම නිර්මාණය කරන්න මම සැලසුම් කරලා තියෙනවා.

 

ක්ෂේත්‍රය කිහිපයක වැඩ කරන නිසා ඔබ නිතරම කාර්යබහුල ඇති?

නැහැ. මම හැම වැඩක්ම භාරගෙන කරන්නේ නැහැ. මට හොඳයි කියලා හා මට කරන්න පුළුවන් කියලා හිතෙන වැඩ විතරයි මම භාර ගන්නේ. අනික හැම දෙයක් පස්සේම මම ලොකුවට එලවන්නේ නැහැ. කලා කටයුතුවලට අමතරව මම දැනට කැළණිය විශ්වවිද්‍යාලයේ ‘මනෝ විද්‍යාව’ පිළිබඳව උපාධියකුත් හදාරනවා. දැන් මේ තුන්වැනි වසර ගෙවන්නේ. ඊට අමතරව තවත් උපාධියක් හදාරන්නත් සූදානමින් ඉන්නවා. මොන දේ කළත් මම අධ්‍යාපන කටයුතුවලට තමයි ලොකු තැනක් දෙන්නේ.

 

‘රාවණ’ ටෙලි නාට්‍යය තුළින් පුර්ණිමාව අපිට ඉදිරියට රංගන ශිල්පිනියක් විදිහට දකින්න පුළුවන්ද?

‘රාවණ’ ටෙලි නාට්‍යයේ කළ රංගනය නිසා තවත් නිර්මාණ කිහිපයකටම දායක වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. බලමු ඒ අතර මට හොඳයි කියලා හිතෙන නිර්මාණයක් අනිවාර්යයෙන්ම මම රඟපායි.

 

කලා ශිල්පිනියක් වුණ එක ගැන තෘප්තිමත්?

ඔව්, මම හිතන්නේ රූපයක්, කටහඬක් කෙනෙකුට ලැබෙන්නේ පෙර පිනකට. මටත් ඒ දේවල් ලැබිලා තියෙන නිසා තමයි අද මම කලා ශිල්පිනියක් විදිහට මේ තරම් දුරක් ඇවිල්ලා තියෙන්නේ. කෙටි කාලයක් තුළදි මම වැඩ ගොඩක් කළා කියලා හිතනවා. ඒ ගැන හිතන කොට ලොකු සතුටක් මට තියෙනවා.

 

කලාව ඔබගේ වාත්තිය වෙයිද?

නැහැ. කලාව මගේ වෘත්තිය කරගන්න මම කැමති නැහැ. මම මේ කරන්නේ ‘හොබි’ එකක් විදිහට. මම කැමතියි මම ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම මට තෙරේන කාලේ ඉඳලා ලොකු ආසාවක් තියෙනවා මගේම කියලා ව්‍යාපාරයක් කරන්න. දැනට මගේ තියෙන ලොකුම ඉලක්කය එකයි.

 

බුද්ධික සේනාධීර

 

2019-03-04-ent-01