කලාව තමයි දැන් මගේ ප්‍රධාන වෘත්තිය
වේදිකාවෙන් රංගනයට පිවිසි තවත් නවක යොවුන් රංගන ශිල්පිණියක් සමග "සාරවිට" අපි අද කතා බහ කළේමු. ඇය නමින් දිනුෂා පතිරණය. මේ වනවිට ටෙලි නාට්‍යය රාශියක් සඳහා සිය දායකත්වය ලබා දී ඇති ඇය ඉදිරියේදී තවත් බොහෝ කලා නිර්මාණ හරහා ප්‍රේක්ෂක ඔබට දැකගත හැකිය. මේ ඇය අප ඇසු ප්‍රශ්නවලට දැක්වූ ප්රතිචාරයන්..
රංගනයට පිවිසුණේ කොහොමද? කොයි කාලේද?
රඟපාන්න ඇවිත් මම ලොකු කාලයක් නැහැ. දැන් වසර: 2 ක් වගේ විතර ඇති.
කලා ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
ක්ෂේත්රය ගැන නම් කියන්න අමාරුයි. හොඳ කල්පනාවක් තියෙන්නේ ඕනා මේකේ රැඳිලා ඉන්න. ඒ වගේම මේ ගමන යන්න කැපවීම, ඉවසීම මේ හැම දෙයක්ම තියෙන්නත් ඕනා කියලයි මම හිතන්නේ.
දැනට ඔබ දායක වුණ නිර්මාණ මොනවද?
මම මුලින්ම "කුණ්ඩලකේෂි" කියලා වේදිකා නාට්‍යයක රඟපාමින් තමයි කලාවට පිවිසුණේ. ඒක කාලේ ස්ටැන්ලි හෙට්ටිආරච්චි සර්ගේ. පස්සේ "අහස් මාළිගා" , හිරු නාලිකාවේ විකාශය වුණ "ඉව", "හේලි" හා "සිහින කුමාරි" කියන ටෙලි නාට්‍යවල දැනට මම රඟපාලා තියෙනවා. ඒ වගේම ඉදිරියට මම දායක වුණ නිර්මාණ කිහිපයක්ම එන්නත් තියෙනවා.
නිරූපිකාවකට, රංගන ශිල්පිනියකට අද තියෙන පිළිගැනිම කොහොමද?
ඒ ගැන නම් කියන්න කණගාටුයි. නිරුපිකාවක් කිව්වොත් බොහෝ අය ඒ වෘත්තිය පහත් කොට කතා කරනවා. නිරූපිකාවකට අතිතයේ තිබුණ පිළිගැනිම නැවතත් ඇති වෙයි කියලා දැන් හිතන්න අමාරුයි. මම ඇත්තටම ගොඩක් දුක් වෙනවා අද සමාජය තුළ නිරූපිකාවකට රංගන ශිල්පිනියකට තියෙන තැන දැකලා.
කලාව ඔබේ වෘත්තියද?
වෙනත් වෘත්තියක් දැනට මම කරන්නේ නැහැ. ඒ හින්දා මේක මගේ ප්‍රධාන වෘත්තිය විදිහට කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව.
උදව් කරපු අය?
මේ තැනට එන්න ගොඩක් අය උදව් කළා මුලින්ම මගෙ අම්මව මතක් කරන්න ඕනි. මොකද, ඇය මුලින්ම විරුද්ධ වුණානම් මට මේ ගමන එන්න බෑ. ඒ වගේම මගෙ පෙම්වතා එයාවත් මතක් කරන්න ඕනි විශේෂයෙන්ම. මොකද එයත් මගේ ජීවිතේ එක් කොටසක්. ඔහුත් මේ ගමනට යන්න ගොඩක් මට උදව් කළා මාව කලා ක්ෂේත්රයට හඳුන්වලා දුන්න චතුරිකා රණසිංහ අක්කිව මතක් කරන්න ඕනා. ඒ වගේම නම් කියු නොකී හැම දෙනාවත් මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා.
බුද්ධික සේනාධීර