කලාව කියන්නේ හරියට භාවනාවක් වගේ සිත් සතන් සුවපත් කරන තැනක්
කලා ක්ෂේත්රයට එකතු වුණ නවක රංගන ශිල්පිනියක් සමග කතා බහ කරන්නයි මෙවර සාරවිට අපගේ සුදානම. ඇය නමින් හංසි ගමගේ.. මේ වනවිට ගීත රූප රචනා, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් වගේම ටෙලි නාට්‍යය කිහිපයකද දකින්නට ලැබුණ හංසි පාසල් අවදියේ සිටම රංගනයට එක්වූ අයෙකි. හංසි අපි සමග ඇයගේ කලා තොරතුරු මෙසේ බෙදාහදා ගත්තේමු.
හංසි කොහොමද කලාවට සම්බන්ධ වුණේ?
කලාවට සම්බන්ධ වුණේ මීට අවුරුදු දෙකහාමාරකට උඩදී. ඒ ස්වාධින රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘මිල්ලෑව වළව්ව’ කියන ටෙලි නාට්‍යයේ අමාලි කියන චරිතය හරහා.
මේක අහම්බෙන් ලැබුණ අවස්ථාවක්ද?
ඔව්, නමුත්, මම පාසල් යන කාළේ ඉඳලා වේදිකා නාට්‍යයවලට සම්බන්ධ වුණා. මම පාසල් ගියේ නුගේගොඩ මහාමයා බාලිකා විදුහලට. පාසල් වේදිකාවට සම්බන්ධ වීමත් එක්ක රංගනයට මගේ හිත ගියා. ඒ තිබුණ ආසාව මුල් කරගෙන තමයි කලාවට මම සම්බන්ධ වුණේ.
කලා ක්ෂේත්රය ගැන ඔබට හිතෙන දේ?
කලා ක්ෂේත්රය හොඳ හෝ නරක වෙන්නේ අපි එහි රැඳෙන පිළිවෙල සමගයි කියන මතයේ මම ඉන්නවා.
කෙටි කාලයක් තුළ වැඩ ගොඩකට ඔබ දායක වුණ කෙනෙක්?
ටෙලි නාට්‍යය පැත්තෙන් නම් මම ගොඩකට සම්බන්ධ වෙලා නැහැ. නමුත්, විවිධ කලා නිර්මාණ බොහෝමයකට මම දායක වෙලා තියෙනවා දැනට. නම් වශයෙන් කිව්වොත් තොප්පි වෙළෙන්දා, ඔබගේ මතකයේ කියන ගීත රූප රචනාවලට මම දායක වුණා. ෆැඩ්නා ශේෆප්, ෆේශියා, සෝනි හා එළිෆන්ට් හවුස් කියන රූපවාහිනි වෙළඳ දැන්වීම්වලට දායක වෙලා තියෙනවා. ටෙලි නාට්‍යය පැත්තෙන් ගත්තොත් මගේ මුල්ම ටෙලි නාට්‍යය මිල්ලෑව වළව්ව. ඊට පස්සේ හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ සිද්ධාර්ත් ගෞතම, රූපවාහිනියේ විකාශය වුණ ක්‍රයිම් සින්. ඉදිරියට එන්න තියෙනවා සිරසේ දැන් විකාශය වෙන නීල පබළු කියන ටෙලි නාට්‍යය.
රංගන ශිල්පිනියක් විදිහට අද තියෙන පිළිගැනීම කොහොමද?
රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් හෝ වේවා.. පිළිගැනීම යහපත් වෙන්නේ ඔවුන්ගේ හැසිරිම මතයි. මට නම් දැනට යහපත් පිළිගැනීමක් මේ ක්ෂේත්රය තුළ ලැබිලා තියනවා. ඒ ගැන ගොඩක් සතුටුයි වගේම ඉදිරියටත් ඒ පිළිගැනීම ඒ ආකාරයෙන්ම යහපත් විදිහට තියාගන්න මම උත්සාහ කරනවා.
මේක හංසිගේ වෘත්තියද?
මේක වෘත්තිය නොවෙයි. ඉන් ඔබ්බට ගිය පුංචි මානුෂිය මෙහෙයුමක්. කලාව කියන්නේ හරියට භාවනාවක් වගේ සිත් සතන් සුවපත් කරන තැනක් කියලයි මම දකින්නේ.
ඒ කියන්නේ ඔබ දිගටම මේ වෘත්තියේ රැඳෙනවා?
අනිවාර්යයෙන්ම දිගටම රැඳෙන්නයි ආසයි. තාම මම මේ ක්ෂේත්රයට නවකයෙක්. මට තවත් බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම කලා ලෝකයට අලුත්ම හා යහපත් දේවල් මගෙනුත් එක්කරන්න ගොඩක් ආසවෙන් මම ඉන්නවා.
උදව් කරපු අයත් මතක් කරමු?
මුලින්ම මගේ පවුලේ අම්මා තාත්තා සහෝදරිය සහ මගෙ ආදරණීය ස්වාමියා ඇතුළුව , මගේ පාසලේ රංගකලාව ඉගැන්වූ මයුරි ගුරුතුමිය, මා වැඩ කරන කලා ක්ෂේත්රයේ මුල් අඩිතාලම දුන් අකිල අබේරත්න (Tolamy) සර්ටද මාගේ ස්තූතිය පුද කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.
කතා බහා - බුද්ධික සේනාධීර