කලාව කියන දේ නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ
නිරූපණයට සහ කලා ක්ෂේත්රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට නිර්මාණ කිහිපයකටම දායක වෙලා තිබෙනවා. ඉතින් මාෂිට සාරවිට අපි ඉඩක් වෙන් කළේ මේ විදිහට.
ඔබේ පෞද්ගලික විස්තර ගැන කිව්වොත්?
මගේ නම මාෂි ජයසේකර. මගේ වයස අවුරුදු 19යි. මම ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. දැනට මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනවා. නිරූපණයට සහ රංගනයට ආශාවක් දක්වනවා. මේ වෙද්දි නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.
නිරූපණයට එන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මම හරිම ආසායි මේ ක්ෂේත්රයට. පාසල් කාලයේදීත් මම පාසලේ නාට්‍යවලට සම්බන්ධ වුණා. මම හඳුනන අයියා කෙනෙක් කලා අධ්යක්ෂවරයෙක්. ඔහුගේ මාර්ගයෙන් තමයි මම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ.
නිරූපණය පැත්තෙන් දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?
මුලින්ම සම්බන්ධ වුණේ වෙළඳ දැන්වීම් දෙකකට. නමුත් ඒ දෙක තවම විකාශය වුණේ නැහැ. ෆිල්ම් එකකට ආරාධනා ලැබුණා. ඒකේ රූ ගත කිරීම් මැයි මාසයේදී ආරම්භ වෙනවා. තව ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. මේ කලබල කාලේ නිසා ඒකේ රූ ගත කිරීම් ටිකක් පස්සට දාලා තියෙනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. නිර්මාණවලට සම්බන්ධ වෙන්න කලින් දෙමාපියන්ගෙන් අහලා තමයි සම්බන්ධ වෙන්නෙත්.
පහුගිය කාලයේදී නිරූපණ ක්ෂේත්රය ගැන සමාජය කතාබහ කළේ වැරදි දේවල් විතරයි. ඉතින් බයක් හිතුනේ නැද්ද නිරූපණයට සම්බන්ධ වෙන්න?
නරක පැතිවලට යන කෙනා කොහොමත් යනවා. අපි හරියට ඉඳලා වැඩ කරනවා නම් ක්ෂේත්රය අපට හොඳ තැනක්. අපි හොඳින් ගණුදෙනු කරනවා නම් කිසි කෙනෙකුට බැහැනේ අපට බලපෑම් කරන්න. නිරූපණය සහ කලාව කියන ක්ෂේත්රයන් ඇත්තටම හොඳ ක්ෂේත්රයන්. කලාව කියන දේ නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ.
නිරූපණය වෘත්තීයක් විදිහට කරන්නද බලාපොරොත්තුව?
නැහැ. මම කැමතියි නිරූපණය විනෝදාංශයක් විදිහට කරන්න. මම දැනට අධ්‍යාපන උසස් අධ්‍යාපන කටයුතු කරනවා. තව වසර කිහිපයකින් විදෙස් ගත වෙන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් ඒ කාලය වෙනකල් ක්ෂේත්රයේ රැඳී ඉන්න තමයි බලාපොරොත්තුව.
ඔබට උදව් කළ පිරිස ගැන කිව්වොත්?
මුලින්ම මතක් කරන්න ඕනේ මගේ ගෙදර අයව. එතකොට මයුර අයියා සහ ශ්‍රීලාල් කියන නිෂ්පාදකතුමාට ස්තූතියි කරන්න ඕනේ. විශේෂයෙන්ම සඳුන් මදුරප්පෙරුම අයියව මතක් කරන්න ඕනේ. එයා මට ක්ෂේත්රයට එන්න ගොඩාක් උදව් කළා.
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද