කලාව අත්හරින්න මට බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-19-ent-58

වසරක කාලයක් කලා කටයුතුවල දකින්නට නොලැබුණ අශිකා මතසිංහ මේ දිනවල යළිත් ටෙලි නිර්මාණ කිහිපයක් හරහා ප්‍රේක්ෂක ඔබ හමුවේ. පසුගියදා විකාශය වී නිමා වූ සංජය නිර්මාල්ගේ ‘ප්‍රාණ‘ ටෙලි නාට්‍යයේ රඟපෑ අශිකා ඉදිරියේ දී තිරගත වීමට නියමිත හර්ෂ උඩකන්දගේ ‘ෆේස් ටු ෆේස්‘ චිත්‍රපටය තුළින්ද රසික ඔබ හමුවට පැමිණීමට නියමිතය.

 

අශිකා ආයෙත් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා නේද?

2017-06-19-ent-63ඔව්, මගේ තුන්වැනි දරුවා ලැබෙන්න හිටිය නිසා වසරක කාලයක් මම කලා කටයුතුවලින් ඉවත් වෙලා හිටියා. ආයෙත් මේ දවස්වල සුපුරුදු පරිදි කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. මේ දවස්වල ෂර්ලි පී දෙලංකාව මහත්මයාගේ අලුත් ටෙලියක වැඩ කරනවා.

 

කලකට පස්සේ ඔබව අපි පුංචි තිරේ දැක්කා?

ඔව්, සංජය නිර්මාල් මහත්මයාගේ ‘ප්‍රාණ‘ ටෙලි නාට්‍යයේ මා රඟපෑවා. නපුරු ව්‍යාපාරික කාන්තාවකගේ චරිතයක් තමයි මම එහිදී රඟපෑවේ. මේක ප්‍රධාන චරිතයක් නෙමෙයි. නමුත්, මේ ටෙලි කතාවේ බොහෝ සිදුවීම් මා නිරූපණය කළ චරිතය අලළා තමයි නිර්මාණය වුණේ. ‘ප්‍රාණ‘ ටෙලි නාට්‍යයෙන් පස්සේ හර්ෂ උඩකන්දගේ ‘ෆේස් ටු ෆේස්‘ චිත්‍රපටය තුළින් බොහෝ දුරට මාව යළිත් මගේ රසික, රසිකාවියන්ට දැකගත හැකියි.

 

වසරක් වැනි කාලයක් ඔබ කලා කටයුතුවලින් ඈත් වෙලා හිටියා නේද?

ඔව්, මගේ තුන්වැනි දරුවා ලැබෙන්න හිටිය නිසා කලා කටයුතුවලින් ඈත් වුණා. අන්තිමට කළේ ‘කුලැත්තියෝ‘ ටෙලි නාට්‍යය. දැන් තුන්වැනියා ලොකු නිසා ආයෙත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න හිතුණා. මුදල් හම්බ කිරීමේ පරමර්ථයක් මට නැහැ. මට මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා මගේ පවුලේ අය සමග දිගටම රැඳිලා ඉන්න කියලා මගේ සැමියා දැනටත් කියනවා. නමුත්, රඟපානවා කියන දේ මට අමතක කරන්න බැහැ. ඒකයි දරුවා ලැබිලත් මම ආයේ රඟපාන්න ආවේ.

 

නමුත්, කතාව නම් විවාහ වෙලා දරුවන් ලැබුණාහම වැඩ ලැබෙන්නේ නැහැ කියලා?

මට එකේ අනිත් පැත්ත. විවාහ වෙන්න කලින් නම් මට ලොකුවට වැඩ ලැබුණෙ නැහැ. නමුත්, විවාහ වුණාට පස්සෙ තමයි මට ගොඩක් වැඩ ලැබුණෙ. දරුවො ඉන්න මවක් මම. ඒත්, මට වැඩ නම් අඩු වෙලා නැහැ. තියෙන්නේ මේ හැම වැඩක්ම භාර අරගත්තට මට කරන්න වෙලාවක් නැති එක.

 

චරිත තෝරගෙන රඟපාන කෙනෙක්ද ඔබ?

නැහැ. මම කරන්නේ මා දන්නා හඳුනන අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුගේ වැඩ පමණක් භාරගෙන කරන එක පමණයි. ඔවුන් දන්නවා මට රංගනය පැත්තෙන් කරන්න පුළුවන් මොනවද කියලා. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණවල මට ගැළපෙන චරිතයක් දෙනවා. ඉතින් මට එහි තෝරා බේරාගැනීමක් සිදුකරන්න අවශ්‍යතාවක් නැහැ.

 

ප්‍රේක්ෂයෝ අශිකා ගැන කතා කරපු චරිත තියෙනවාද?

ඔව්, ‘හේඩි‘ ටෙලිටේ ‘හේඩි‘ කියන චරිතය ගැන ප්‍රේක්ෂයන් බොහෝ දෙනෙක් කතා කළා. මම හිතන්නේ මගේ කලා දිවියේ මම කරපු හොඳම රංගනය තමයි ඒක. කකුල් පණ නැතිව රෝද පුටුවෙන් යන තරුණියකගෙ චරිතයක් තමයි මම එහි නිරූපණය කළේ. මගේ සැමියා මට ඒ චරිතය කරන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඔය ටෙලිය රූපගත කරන කාලේ තමයි ‘ඇවටර්‘ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ. මගේ සැමියා එහි පිටපතක් අමාරුවෙන් හොයලා ගෙනත් දුන්නා. ‘ඇවටර්‘ චිත්‍රපටයේ කතාවේ හැටියට එහි ප්‍රධාන නළුවත් රෝද පුටුවෙන් තමයි යන්නේ. ඒ හැම අංග ලක්ෂණයක් ගැනම මගේ සැමියා මට අවබෝධ කරලා දුන්නා. ‘හේඩි‘ චරිතයට අමතරව ‘බ්‍රහ්ම මූර්ති‘, ‘හිමකඳු‘ කියන ටෙලි නාට්‍යය චරිත හරහාත් ප්‍රේක්ෂකයෝ මා ගැන ගොඩක් කතා කළා.

 

රංගන ශිල්පිනියක් විදිහට අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

නිළියක් විදිහට අද මම මේ ගොඩනගා ගෙන ඉන්න ප්‍රතිරූපය ගැන ගොඩක්ම තෘප්තිමත් වෙනවා. රංගන ශිල්පිනියක් වෙලා කටයුතු කළ මේ කාලය තුළ මම විවිධ චරිත රඟපාලා තියෙනවා. අහිසංක පෙම්වතිය ඉඳලා දුෂ්ටයා වෙනකම් එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපාලා තියෙනවා. ඒ හැම චරිතයකටම ලොකු සාධාරණයක් මම කරලා තියෙනවා. කලා ලෝකයෙන් සමුගන්නා තෙක් මම නිළියක් විදිහට වැඩ කරන්න තරම් ආත්මතෘප්තියක් මම මේ කලා ක්ෂේත්‍රය තුළ ලබලා තියෙනවා.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - ලක්මාල් සිහාරගේ

 

2017-06-19-ent-56 2017-06-19-ent-57  2017-06-19-ent-59 2017-06-19-ent-60 2017-06-19-ent-61 2017-06-19-ent-62  2017-06-19-ent-64