කලා ක්ෂේත්‍රයේ තාම මම ඉන්නේ පළමු පියවරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201126Hot (6)මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ දිගහැරෙන ‘අග්නි පියාපත්’ ටෙලි නාට්‍යයේ පොලිස් නිලධාරිණියකට පණ පොවන දුල්මි නිමේෂා සමගින් අපි අද ‘සාරවිට’ කතාබහ ඇරඹුවෙමු. රංගනයට නවකයෙකු වන දුල්මි මේ වනවිට කෙටි චිත්‍රපට බොහෝ ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදී ඇත.

කලා ක්ෂේත්‍රයට ඔබගේ පැමිණිම සිදුවන්නේ කොහොමද?

මම මුලින්ම ‘ඉම්ෆස් මිඩියා’ පාසලේ නිවේදනය පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ තමයි රංගනය පිළිබඳව පාඨමාලාවක් හදාරලා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. කොටින්ම කිව්වොත් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තාම මම ලොකු කාලයක් නැහැ.

රංගන ශිල්පිනියක් වෙන හීනේ ඇතිවුණේ කොයි කාලේද ඔබට?

පාසල් අධ්‍යාපනය ලබන කාලේ ඉඳලා මට රංගන ශිල්පිනියක් වෙන හීනේ තිබුණා. නමුත්, මට හිතුණා හැමදේම නිවැරදිව ඉගෙන ගෙන මේ ක්ෂේත්‍රයට එන එක හොඳයි කියලා. ඒ නිසා තමයි මම රංගනය ගැන හැදැරිමක් කරලා මේ ක්ෂේත්‍රයට ආවේ.

කලා ක්ෂේත්‍රය ගැන මොකද ඔබට හිතෙන්නේ?

ගොඩක් හොඳ ක්ෂේත්‍රයක් සහ හොඳ අවබෝධයකින් ගමන් කල යුතු ක්ෂේත්‍රයක්. නවකයින්ට අද වෙන කොට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න වැඩි අවස්ථාවක් ලැබිලා තියනවා. ඒ ගැන සතුටුයි.

මෙතෙක් ඔබ දායක වුණ නිර්මාණ මොනවද?

මේ වන විට ටෙලිනාට්‍ය සහ කෙටි චිත්‍රපටි, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සහභාගි වෙලා තියනවා. ලොකුවට ගොඩක් වැඩ කරලා නම් නැහැ තවම. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘අග්නිපියාපත්’ ටෙලිනාට්‍යයේ මාව පොලිස් නිළදාරිනියක් විදිහට දකින්න පුළුවන්.  

රංගන ශිල්පිනියකට අද තියෙන සමාජයේ තියෙන පිළිගැනීම කොහොමද?

එක එක්කෙනා අනුව වෙනස් වෙන දෙයක් කියලා තමයි මම නම් හිතන්නේ. කෙනෙක්ට ගෞරවය, ආදරය කියන දේ ලේසියෙන් ලැබෙන්නෙ නෑ. ඒ මොන දේ වුණත් කෙනෙක් නිහතමානී වෙන තරමට ඒ කෙනාට පිළිගැනීමක්.. ආදරයක්.. ලැබනවා.

රංගනය කියන්නේ ඔබගේ වෘත්තියද?

රංගනයට තියන කැමැත්ත නිසා මේ ක්ෂේත්‍රයෙන් ආවා මිසක් මේක මම වෘත්තිය කරගන්න කැමති නැහැ. නමුත්, මේ ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් යන්න ආසයි. මේක මගේ පොඩි කාලේ තිබුණ හීනය. ඉතින් දැන් මම මේ ක්ෂේත්‍රෙය් පළමු පියවරට ඇවිල්ලා තියෙනවා. දිගටම රැඳිලා රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න කැමතියි ඉතින්.


උදව් කරපු අය?

මගේ පවුලේ අය වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ ගුරුතුමා සද්ධාමංගල සූරියබණ්ඩාර සර්. ඒ වගේම චේතනී විජේතුංග මිස්, ප්‍රසන්න මහගමගේ සර් වගේම මේ දිනවල විකාශය වන ‘අග්නිපියාපත්’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක සිවගුරුනාදන් මහතා හා සහය අධ්‍යක්ෂක අමිල ප්‍රේමරත්න ඇතුළු සියලුම කාර්යමණ්ඩලය. ඔවුන් සැමදෙනාම මට ලොකු සහයක් ලබාදුන්නා. ඊට අමතරව රංගන ශිල්පිනියක් විදිහට ආපු මේ ගමනට උදව් කල හැමදෙනාම ආදරයෙන් මතක් කරනවා.

කතා බහා - බුද්ධික සේනාධීර

20201126Hot (1) 20201126Hot (2) 20201126Hot (3) 20201126Hot (4) 20201126Hot (5)