කලා ක්ෂේත්රය මට නම් මගේ පවුල වගේ
රංගන ක්ෂේත්රයට නවකයෙකු වූවත් මේ වන විට බොහෝ ටෙලි නිර්මාණයන් සඳහා දායක වෙමින් රසික ආදරේ නොඅඩුව ලබන කෙනෙකු ලෙස ඇයව හැඳින්විය හැකිය. ඇය නමින් අනුරාධා එදිරිසිංහ වේ. මේ දිනවල ‘රාවණ’ ටෙලි නාට්‍යය ඔස්සේ ආලින්දයට පැමිණෙන ඇය මෙවර ‘අද’ තරු කතාබහට මෙලෙස එක්විය.
මේ දවස්වල ‘රාවණ’ එක්ක සහ අවුරුදු එක හමාරක ඉඳන් ‘අහස් මාළිගා’ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ‘වෙස්’ කතාවට අලුතින් එකතු වුණා.
ඔබට ජනතාව ආදරය කළේ මොන නිර්මාණය නිසාද?
මගේ මුලින්ම විකාශය වුනේ ‘නිල්වලා’ කණ්ඩායම එක්ක කරපු සඳුන් රාජකරුණා මහත්මයාගේ ‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යයයි. ඒකේ මම කරපු චරිතය පිළිබඳව ගොඩක් දෙනෙක් කතා කළා. ඊට පස්සේ ඒ වකවානුවේම ‘පැහැසරා’ ටෙලි නාට්‍යයේ ‘පහන්දි’ කියන චරිතයට ජනතාව ගොඩක් ආදරය කළා. මම ජනතාව අතරට ගියේ මොන නිර්මාණයෙන්ද කියන්න අමාරුයි. මොකද වකවානුවෙන් වකවානුවල මගේ එක එක චරිතය සඳහා ඔවුන් ආදරය කළා. මේ කාලයේදී ‘රාවණ’ නිසා ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඒ නිසා මම ජනතාව අතරට ගියේ මොන නිර්මාණය නිසාද කියන දේට උත්තරයක් දෙන්න අමාරුයි.
කලාකාරිනියක් විදිහට ඔබේ රංගන ජීවිතයේදී හැරැවුම් ලක්ෂය කොතනද?
මට ලැබුණු නිර්මාණවලින් මට ලැබුණු විශිෂ්ට නිර්මාණය තමයි ‘රාවණ’ කියන්නේ. මීට පෙර මම රජ කතාවට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒ වගේම මම රංගනයෙන් දායක වන ප්‍රධාන චරිතය මේක. මම හිතන්නේ මේක වෙන්න ඇති මගේ හැරවුම් ලක්ෂය විදිහට මම දකින්නේ.
නවකයෙකු ලෙස පවතින තරඟකාරිත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාද?
එහෙම එකක් නැහැ. මම දැනට කලා නිර්මාණ සඳහා දායක වෙන්න පටන් අරන් දැනට අවුරුදු හතරක් විතර වෙනවා. තරඟකාරිත්වයක් ගැන නම් මට දැනිලා නැහැ. අලුතෙන් අය මේ ක්ෂේත්රයට එන එක හොඳයි. ඒ වගේම මට දැනෙන්නේ මමත් නවකයන් ගොඩේ ඉන්න කෙනෙක් විදිහටයි. ඒ හින්දා තරඟයක් නම් මට දැනිලා නැහැ. මම පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා.
නවකයෙකු වීම නිසා අභියෝග කියන දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේද?
අනිවාර්යෙන්ම. අභියෝග කියන දේවල් වැඩි වෙනවා. මම මේ අවුරුදු හතරම අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින’ කියන පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අභියෝග ජය ගන්න ඒ වැඩමුළුව ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. අදටත් මම ක්ෂේත්රයට අලුත් කෙනෙක්. චරිත තෝරා බේරාගෙන කරන්න තරම් මම අත්දැකීම් තියෙන කෙනෙක් නෙමෙයි. නවකයෙක් යම් කිසි නිර්මාණයක් සඳහා දායක කර ගනිද්දී ඒක අධ්‍යක්ෂකවරයා ඇතුළු මුළු කණ්ඩායමටම අභියෝගයක්. ඉතින් ඒ ඇතුළේ හැමෝම දෙන සහයෝගය තමයි ඒ අභියෝග ජය ගන්න පිටුවහලක් වෙලා තියෙන්නේ.
වර්තමානයේ කලා ක්ෂේත්රය තුළ නවකයන්ට ලැබෙන තැන කොහොමද?
නවකයෙකු විදිහට එදා සහ අද කියන දේ සසඳන්න මට අත්දැකීමක් නැහැ. ප්‍රේක්ෂකයෙකු වෙලා මේ දිහා බලන් ඉන්න දවසක් තිබුණා. ක්ෂේත්රයට ආවයින් පස්සේ නවකයන්ට ඇති තැන ගැන සසඳන්න තරම් මට අත්දැකීමක් නැහැ.
ප්‍රවීණ අයගෙන් ලැබෙන ආශිර්වාදය සහ සහයෝගය කොහොමද?
මට නවකයෙකු විදිහට ආශිර්වාදය මුලදිම ලැබෙනවා. මම රංගනය පිළිබඳව හැදෑරීම පටන් ගන්නේ අනෝජා වීරසිංහ ගුරුතුමියගෙන්. එතුමියගේ ‘අභින’ පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉන්න නිසා සනත් ගුණතිලක මහත්මා සමග මට ඒ වකවානුවේදීම චිත්‍රපටයක් කරන්න හම්බවෙනවා. එතුමාගේ වැඩේ ඉද්දී සිනමාවේ හැත්තෑවේ දශකයේ හිටපු දැවැන්තයන් රැසක් සමග වැඩ කරන්න හම්බ වෙනවා. එතනින් එහාට මේ මෑතකදී මම වැඩ කළේ අමරසිරි කලංසූරිය මහත්මයා සමගයි. ඉතින් ලැබෙන සහයෝගය කියලා වැඩක් නැහැ. මම අමරසිරි කලංසූරිය මහත්මයා සමග ටෙලි ෆිල්ම් එකක් කළා. ඒකෙන් පස්සේ අමරසිරි කලංසූරිය වගේ ප්‍රවීණයෙක් මට කතා කරලා කියනවා &දුව නිර්මාණය හරි ලස්සනයි. දුව ඒක ලස්සනට කරලා තියෙනවා* කියලා. ඊටත් වැඩිය දෙයක් මට තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ක්ෂේත්රයේ අද වෙනකම් වැඩ කරන්න හම්බවෙලා තියෙන ප්‍රවීණයන් හැමෝගෙන්ම ලැබිලා තියෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ.
සිනමා නිර්මාණවලට දායක වෙන්නේ නැද්ද?
සිනමාවට පය තබන්න අවස්ථාවක් ලැබිලා නැහැ. සනත් ගුණතිලක මහත්මයා සමග කළ නිර්මාණය සිනමාපටයක් තමයි. නමුත් ඒක ඇප් එකක් ඔස්සේ බලන්න තිබුණ නිර්මාණයක්. ඒ ‘මංගල තෑග්ගේ දෙවැනි ගමන’ කියලා. ඊට අමතරව නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. වේදිකාවට සහ සිනමාවට ආදරෙයි. කැමතියි. සමහර වෙලාවට ඒ දේවල්වලට ආරාධනා ලැබුණාම මම වෙන වැඩකට දායක වෙලා තියෙනවා. ඒ නිසා ඒවට යන්න බැරි වුණ නිසා තමයි සිනමා නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න බැරි වුණේ.
දැන හැඳින ගැනීම් මත පමණයි නවකයන්ට නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ කියන චෝදනාව ඔබ පිළිගන්නවාද?
ඒක මම විශ්වාස කරන්නේ නැහැ. ‘රාවණ’ නිර්මාණයටත් මට යන්න ලැබෙන්නේ ඔඩිෂන් එකකට සම්බන්ධ වෙලයි. නැත්නම් එක පාරටම මාව තෝර ගත්තා කියලා කිව්වෙ නැහැ. ස්ක්‍රීන් ටෙස්ට්, මේකප් ටෙස්ට් පවා කරලා තමයි මාව ඒ නාට්‍යය සඳහා තෝර ගත්තේ. ඒ ක්‍රමය ඇර මම වෙනත් දේවල් තියෙනවා කියලා හිතන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය ‘රාවණ’ ඒකේ කිසිම කෙනෙක්ව මම දන්නෙත් නැහැ. මට කිසිම ඇඳුනුම්කමකුත් නැහැ.
තරුණියක් සඳහා කලා ක්ෂේත්රය ආරක්ෂිතද? අයුතු යෝජනා තියෙනවා කියලා ඇතැමුන් චෝදනා කරනවා?
කලා ක්ෂේත්රයේ එහෙම දෙයක් අද වෙනකම් මට වෙලා නැහැ. මේක හරිම සුන්දර, ලස්සන, ආරක්ෂාව ගොඩක් තියෙන පවුල වගේ තැනක්. මට නම් මගේ පවුල වගේ ආරක්ෂාව තියෙන හොඳ තැනක්.
ඉදිරි බලාපොරොත්තු සහ කටයුතු?
මගේ ප්‍රධාන චරිතය ‘රාවණ’. ඒක ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. අවුරුදු එක හමාරක් ඒ ව්‍යාපෘතියක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. කිසිම අලුත් වැඩක් බාර අරගෙන ගත්තේ නැහැ. ‘රාවණ’ එක්ක විතරයි සම්බන්ධ වුණේ. මොකද ඒක දැවැන්ත වැඩක් නිසා. ඉතින් මේ අවුරුද්ද පුරාවටම ඒ නිර්මාණයත් එක්ක සම්බන්ධ වෙලා එක් සාර්ථක කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පළමු වතවට හිරු ටිවී එකත් එක්ක රූපාවහිනි නිවේදිකාවක් විදිහට වැඩ කටයුතු පටන් ගත්තා. ඒක සජීවී වැඩසටහනක්. ඒක මට නුහුරු අත්දැකීමක්. ‘අහස් මාළිගා’ නාට්‍ය අවුරුදු එක හමාරක් තිස්සේ විකාශය වෙනවා.
නිවේදනය ගැන කිව්වොත්?
සජීවි වැඩසටහනක් කරන එක ටිකක් ව්‍යාකූලයි. අලුත් කෙනෙක්ට ඒක ඇත්තටම අත්දැකීමක්. හිරු ටීවී නාලිකාවට ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕනා. හොඳ අත්දැකීමක්. සජීවි වැඩසටහන් නිවේදිකාවක් කියන්නේ වෙනම දෙයක්. ඒක ලබමින් ඉන්නවා.
මේ තැනට එන්න අත හිත දුන්න අය ගැන මතක් කළොත්?
මේ ක්ෂේත්රයේ මම වැඩ කරපු සෑම අධ්‍යක්ෂකවරයෙක්ටම, සහය අධ්‍යක්ෂකවරයෙක්ටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපිට තේ එකේ ඉඳන් හදලා දෙන සෙට් එකක ඉන්න හැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට. මගතොටේදි හමුවෙලා කතා කරන ලොකු කුඩා බේදයකින් තොරව ඉන්න ප්‍රේක්ෂකයන් හැමෝටම ගොඩාක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. මං වගේ අලුත් කෙනෙක්ට ඒක ගොඩක් දැනෙනවා. මේ අවුරුදු හතර ඇතුළත කරපු හැම වැඩකදිම එක් කෙනෙක් හරි කතා කරාම ඒක මාර විදිහට මට වටිනවා. සමාජ මාධ්‍ය හරහා සුබ පතන හැම කෙනෙක්ටම ස්තූතියි. විශේෂයෙන්ම මගේ පවුලේ අයට, මගේ අම්මට, අයියට, අම්මගේ පවුලේ අයටත් ස්තූතියි.
Dilan Chryshantha