කලා කටයුතු නිසා නිවේදනය අත් හරින්න බලාපොරොත්තුවක් නැහැ
වෘත්තීමය නිවේදිකාවක් ලෙස කටයුතු කරන මහර්ඝා සිතුමිණීට අප මෙවර සාරවිට ඉඩක් වෙන් කළා. මහර්ඝා නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතරතුර කලා කටයුතුවලටත් දායක වී තිබෙනවා. වේදිකා නාට්‍ය සහ වෙළඳ දැන්වීම් ඇතුළු කලා කලා කටයුතු රැසකට ඇය දායක වී තිබෙනවා. ඉතින් සිතුමිණී අපට එකතු වුණේ මේ විදහට.
මගේ නම මහර්ඝා සිතුමිණී. මම වෘත්තීමය වශයෙන් නිවේදිකාවක්. මම දැනට “රිසිර” නාලිකාවේ නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. “රිසිර” නාලිකාව විකාශය වන්නේ ෆේස්බුක් සහ යූ - ටියුබ් සමාජ මාධ්‍ය තුළයි. නිවේදනයට අමතරව මම කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.
ඔබ නිවේදන ක්ෂේත්රයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක්ද?
මම නිවේදිකාවක් විදිහට මුලින්ම වැඩ කටයුතු කරන්න පටන් ගත්තේ 2011 වසරේදී. ඒ Max නාලිකාව හරහා. එතැනින් පටන් ගත්තු නිවේදන ගමනේ මේ වෙද්දි නාලිකා හයක පමණ වැඩ කරලා තිබෙනවා. මගේ හයවෙනි නාලිකාව තමයි “රිසිර” නාලිකාව. රිසිර නාලිකාවේ මම දැන් සතියේ දින පහේම උදේ සජීවී වැඩසටහනක් කරනවා.
කලා කටයුතුවලට සම්බන්ධ වුණා කිව්වනේ. ඒ ගැන පොඩ්ඩක් කියමු?
මම වේදිකා නාට්‍ය, ඒකාංගික නාට්‍ය, චිත්‍රපට සහ වෙළඳ දැන්වීම් කිහිපයකට දායක වෙලා තියෙනවා. මුලින්ම වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණේ ජයසේකර අපෝන්සු මහත්මාගේ “තටු” වේදිකා නාට්‍යයට. තටු නාට්‍යයේ නව නිෂ්පාදනයකට තමයි දායක වුණේ. එතකොට ජයසේකර අපෝන්සු මහත්මාගේ “සුදූ” කියලා චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. මම ඒ චිත්‍රපටයේ රඟපෑවේ ජයසේකර අපෝන්සු මහත්මාගේ බිරිඳ හැටියටයි. බවකර්ම කියලා ඒකාංගික ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා.
වෙළඳ දැන්වීම් පැත්ත ගැන කිව්වොත්?
කෝමාරිකා, මහජන බැංකුව ඇතුළු වෙළඳ දැන්වීම් රැසකට සම්බන්ධ වෙලා තිබෙනවා.
නිවේදනය කියන්නේ ඔබ කුඩා කාලයක සිට දැකපු සිහිනයක්ද?
මම නිවේදනයට සම්බන්ධ වෙන්නේ අහම්බයෙන්. නමුත් අපි පුංචි කාලේ ඉඳලා නිවේදනය ගැන ගොඩාක් දේවල් දැක්කා. පුංචි පැංචි වගේ වැඩසටහන් බලලා අපි ඒ විදිහට කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඒ දේවල් කරා. ඒ දේවල් ගැන මමයි නංගි චිත්‍ර ඇන්දා. පසුකාලීනව ඒක මගේ දක්ෂතාවය කියලා මම දැනගත්තා. ඊටපස්සේ නිවේදනය හදාරලා තමයි ක්ෂේත්රයට එන්නේ.
වර්තමානයේදී නිවේදන ක්ෂේත්රයේ ගැටළු තිබෙනවාද?
ඔව්. නිවේදනය ගැන දන්නේ නැති පිරිස් දැන් නිවේදන වෘත්තීයට සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් රංගනයට එක්වෙලා ඉන්න පිරිස් නිවේදනයට එක් වෙලා තිබෙනවා. ඒකෙන් වෙන්නේ නිවේදනය හදාරලා වෘත්තීමය වශයෙන් වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අළුත් අයට අවස්ථාවක් නැති වෙන එකයි. වෘත්තීමය නිවේදිකාවෝ මේ ක්ෂේත්රය පිළිබඳව හැමදේම හදාරලායි ක්ෂේත්රයට එන්නේ. තමන්ට පුළුවන් එක දේකින් ඉදිරියට යන්න තැන හදාගන්න පුළුවන් නම් තමයි වැදගත් වෙන්නේ. හොඳ අය ඉන්නවා. නමුත් වැඩි හරියක් ඉන්නේ රූපෙන් ලස්සන සහ ජනප්‍රිය අය විතරයි. රංගන ශිල්පිනයෝ සමහර වෙලාවට සැලුන් පටන් ගන්නවා. ඒකෙන් වෙන්නෙත් ඒ ක්ෂේත්රයේ ඉන්න හොඳ අයට අවස්ථාවක් නැති වෙන එකයි.
ඔබ කියන්නේ රංගන ශිල්පිනියෝ නිවේදනයට සම්බන්ධ වෙන එක ක්ෂේත්රයට හොඳ නැහැ කියලද?
මෙහෙමයි. දක්ෂ අය ඕන තරම් ඉන්නවා. නමුත් අද රූපවාහිනියේ අපිට දකින්න ලැබෙන්නේ ඒ අයගේ ලස්සන, නැත්නම් වෙන වෙන දේවල්. ඒ දේවල් වලින් වැඩසටහන ජනප්‍රිය කරවාගන්න එක තමයි උත්සහ ගන්නේ. එයාට ඉන්න රසික පිරිස වටා තමයි වැඩසටහන ජනප්‍රිය කරවා ගන්න උත්සහ කරන්නේ. එයාගේ ජනප්‍රියත්වය නිසා ප්‍රෝග්‍රෑම් එක හිට් කරගන්න නෙවෙයි. ප්‍රෝග්‍රෑම් එක හිට් වෙලා එයා හිට් වෙනවා නම් තමයි වටිනාකමක් තියෙන්නේ. එතකොටයි නිවේදිකාවක් හැටියට එයාට යම් දක්ෂතාවයක් තිබෙනවා කියලා හැමෝම දැනගන්නේ.
ඔබට කලා කටයුතු නිසා නිවේදනය අත් හරින්න වුණොත් ඒ දේ කරනවාද?
කලා කටයුතු නිසා නිවේදනය අත් හරින්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මගේ වෘත්තීය මේක සහ මම මේක ආසාවෙන් කරන දෙයක්. මම නිවේදනය ගැන හදාරලා තිබෙනවා. ඒ නිසා නිවේදනයෙන් ඉවත් වෙන්නේ නැහැ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මගේ නිවේදන වැඩකටයුතු ඉදිරියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ලැබෙන කලාකටයුතුත් කරනවා.
ඔබේ ගමනට ආශිර්වාදයක් වුණ පිරිස ගැන කිව්වොත්?
මුලින්ම මගේ පවුලේ අයට ස්තූතියි වෙන්න ඕනේ. එතකොට මගේ සැමියාව මතක් කරන්න ඕනේ. විශේෂයෙන් හරීන්ද්‍ර ජයලාල් මහත්මාට ස්තූතියි කරන්න ඕනේ. ඔහු තමයි අපිව මේ තැනට ගෙනාවේ. එතකොට සිරස නාලිකාවේ ප්‍රදීප් මහේෂ්, තුෂාන් කරුණාරත්න. එතකොට මාව කලාවට ගෙනාවේ ජයසේකර අපෝන්සු මහත්මා. මේ හැමෝටම මම ස්තූතියි කරනවා.
කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද