කකුල කඩාගෙන ලේ බේරෙද්දිමයි ගෙදර ආවේ
අපි ඔයාට මනෝජා කියන්නද? කෞෂි කියන්නද?
මම නම් ගොඩක් කැමති මනෝජා කියලා කතා කරනවාටයි. ඒ නිසා මනෝජා කියලා කියමු නේද?
මනෝජා.. ජීවිතේ පටන් ගත්තේ කොතැනින්ද?
මගේ ජීවිතේ පටන් ගත්තේ පවුලේ බාලයා විදිහටයි. මට එක අයියා කෙනකුයි අක්කා කෙනකුයි ඉන්නවා. අයියා විවාහ වෙලයි ඉන්නේ. ඉතින් දැන් ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි අක්කයි. මම ඉන්නේ මහරගම. අපේ ගෙදර පොඩි කලා පවුලක්. ඒ නිසා ඒ අයගේ ආභාෂයෙන් මමත් පුංචි කාලයේදීම කලාවට සම්බන්ධ වුණා.
පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
පුංචිම කාලේ හිතාගෙන හිටියෙනම් වෛද්‍යවරියක් වෙන්නම කියලයි. පුංචි කාලේ සෙල්ලම් ඩොක්ටර් කෙනෙක් වෙලා ඩොක්ටර් සෙල්ලම කරපු කාලයකුත් මට තිබුණා. හැබැයි කලාවත් එක්ක එකතු වුණාට පස්සේ, කලාවත් එක්ක විවිධ දේවල් කළාට පස්සේ කලාවට ආදරය කරන්න පටන් ගත්තා. ඒ නිසාම කලාවෙන් මොන යම් හෝ දෙයක් කරන්න ඕනෙ කියලා හිතුණා.
කලාවට අවතීර්ණ වෙන්න ගෙදර පරිසරයෙන් අඩිතාලම වැටුණේ කොහොමද?
අපේ අම්මටත් හරි ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. මට පුංචි කාලේ ඉඳන්ම මගේ අම්මයි තාත්තයි අපිට පොත් කියවන්න දුන්නා. මට තාම මතකයි තාත්තා මට මුලින්ම හරි පුදුම ඉස්කෝලේ පොත කියවන්න දුන්නා. ඒක මම හරිම ආසාවෙන් කියෙව්වා. ඒකෙ හිටපු ටොට්ටෝ චාංගේ චරිතයට මම හරියට ආදරය කළා. ඒ දවස්වල බොහෝ දෙනා මම ටොට්ටෝ චාං වගේ චරිතයක් කියලත් කිව්වා. අපිට දඟ වැඩ කරද්දී කවදාවත් අපේ අම්මා තාත්තා තහංචි දැම්මේ නැහැ. අපේ අම්මා ටිකක් සැරයි. හැබැයි ඒ හැමදේම අතරේ අපිට ජීවිතේ සතුටින් ගත කරන්න ආස හිතෙන වාතාවරණයක් එදා ඉඳන් අපේ ගෙදර තිබුණා. මට තාම මතකයි ඉස්සර අපි පස්දෙනා එකතුවෙලා ගීයෙන් ගීය කළා. අම්මා තාත්තා ඉදිරියේ අපි නර්තනය කළා. අක්කා සින්දු කිව්වා. ඒ හැමදෙයක්ම අවසානයේදී තාත්තා අම්මාගේ තියෙන දිරිමත් කිරීම අපි තුන්දෙනාට කලාවට ආදරය කරන්න පාර පෙන්නුවා. තාත්තගේ පවුලේ අය එකතුවෙලා නත්තල් සාද පවත්වද්දී අපි හැමදාම හවසට බජව්වක් දානවා. එදාට හැමෝම සින්දු කියනවා.
ගෙදරදී කලාවට ආසාවක්, හැකියාවක් දක්වපු මනෝජාගේ හැරවුම වුණේ කොතැනද?
මම පුංචි කාලෙදීම තාත්තා මාව කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයට ඇතුළත් කරලා තිබුණා. එහිදී මම නර්තනය හැදෑරුවා. ඒ අතරේදී මට බන්දුල කුරුවිට සර්ව මුණගැහුණා. ඔහු නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරයෙක්. බන්දුල සර් මට නාට්‍ය කරන්න බල කළා. නමුත් ඒ කාලෙදී මම ඒ විෂයට වැඩිය කැමැත්තක් දැක්වුවේ නැහැ. ටික කාලයක් යද්දී මම ඒ විෂය හැදෑරුවා. මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඔය අතරේ මට අවුරුදු දහඅට විතර වෙද්දී මම ආයෙමත් නර්තනය වැඩිදුර ඉගෙන ගත්තා. 2015 අවුරුද්දෙදී නාට්‍ය තරගාවලියකින් හොඳම නිළිය සම්මානය ලබාගත්තා. එතනින් පස්සේ තමයි ආයෙමත් මට නාට්‍ය කරන්න ඕනෙ කියලා ආසාව ඇතිවුණේ. මම හිතන්නේ නාට්‍යවලට ආයෙමත් පිවිසෙන මගේ හැරවුම වුණේ එතනයි.
මනෝජාව මිනිසුන් හඳුනාගත්තේ පොදු ටෙලිනාට්‍යයේ කෞෂිගේ චරිතය හරහායි. මනෝජාට කෞෂිව දැනෙන්නේ කොහොමද?
පුංචි කාලේ මගේ ජීවිතේ කෞෂි කෙනෙක් හිටියා. ඒ කෞෂි විදිහටම පිටපතේ කෞෂිව මට දැනෙන්න ගත්තා. පුංචි කාලෙදී මම අයියා එක්ක සෙල්ලමට රණ්ඩු කරගෙන, කෑගහගෙන හිටිය කාලයක් තිබුණා. ඒ නිසාම රන්දික අයියා (ආදි) මට මගේම අයියා වගේ දැනුණා. ඒ නිසා කෞෂිට රඟපාන්න මට ඒ තරම් අමාරු වුණේ නැහැ. හැබැයි දැන්නම් මම ඉස්සර වගේ නැහැ. ඉස්සර වගේ කේන්ති ගන්නෙත් නැහැ. අපි ටික ටික කාලයත් එක්ක පරිණත වෙද්දී දේවල් තේරුම් ගන්නවා.
ජීවිතේට අමතක නොවන දඩබ්බර සිදුවීමක් තියෙනවද?
අම්මෝ ඔව්.. එහෙම දඩබ්බර වැඩ බොහොමයක් කරලා තියෙනවා. පුංචි කාලේ මම හරි දඟයි. මට තාම මතකයි ඉස්සර මම දඟ වැඩ කරද්දී සමහරදාට අම්මා මට පොඩි වේවැලක් අරගෙන පොඩ්ඩක් තරවටුත් කරනවා. ඉස්සර අපේ අයියාට පොඩි බයිසිකලයක් තිබුණා. මට ඒක පදින්න උස නැහැ. මම ඒ කාලේ ඒක පැද්දේ අස්සෙන් කකුල දාලා පාගලා. ඉස්සර මගේ ගෙවල් පැත්තේ ලොකු පල්ලමක් තියෙනවා. ඒ පල්ලමේ අයියගේ බයිසිකල් පදින්න මම හරි ආසයි. පදින්න ඕනෙත් නැහැ. උඩ ඉඳගෙන පහළට එද්දී වේගය මරු. අම්මා යන්න එපා කිව්වත් අම්මට හොරා දවසක් මම ඒ පල්ලමේ බයිසිකලේ පැද්දා. බයිසිකලේ චේන් එක පැනලා දැති රෝද අස්සේ කකුල ඇනිලා හොඳට තුවාල වුණා. පල්ලමේ පහළ ඉඳන් කකුලේ ලේ බේරෙද්දී මට ගෙදරට එන්නත් බැහැ. කොහොම හරි ගෙදර ආවා. අම්මත් දැනගත්තා. තාමත් කකුලේ ඒ තුවාලේ කැළල තියෙනවා.
ජීවිතේ තමන්ගේ මහන්සියෙන් හම්බ කරපු මුදල කීයද?
අපේ අක්කා සංගීතය කළා. ඉස්සර කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයේ ජයමංගල කණ්ඩායමක හිටියා. ඒකෙ මම නර්තනය කළත් පුංචි කාලේ ඉඳන් ඕනෑම දෙයක් කරන්න හැකියාව තිබුණු නිසා මාවත් ඉඳලා හිටලා ඔය ජයමංගල ගාථා කණ්ඩායමට සම්බන්ධ කර ගත්තා. ඒකෙදි මුලින්ම ලියුම් කවරයක රුපියල් පන්සීයක් මටත් ලැබුණා. ඒක මට හරි ලොකු දෙයක් වුණා. මට තාම මතකයි මම ඒ සල්ලිවලින් ගෙදරට අයිස්ක්‍රීම් අරගෙන ගියා.
පොදු හරහා කෞෂිගේ චරිතය ජනප්‍රිය වෙයි කියලා මනෝජාට හිතුණද?
මෙච්චරම ජනප්‍රියත්වයක් ලැබෙයි කියලනම් හිතුවේ නැහැ. ඒ වගේම අපේ වැඩේ පවා මේ තරම් උණුසුම් වේවියැයි හිතුවෙත් නැහැ. හැබැයි හිතුවට වඩා පොදු නාට්‍යයට වගේම අපිටත් මිනිස්සු ආදරේ කළා. ඒක කොටස් දහයක කතාවක්. හැබැයි ඒ කොටස් දහය ඇතුළේ අපිට මිනිස්සු බොහොමයක් ආදරේ කළා. ඒකට හැමෝටම ගොඩක් ස්තූතියි.
මනෝජාව මිනිස්සු කලාව හරහා හඳුනනවායැයි දැනුණේ කවදාද?
මාව මුලින්ම දැනගත්තේ 2017 අවුරුද්දේ නිස්සාර සංසාර ගීතයෙන්. ඒ ගීතය ගායනා කළේ අභිෂේකා විමලවීර කලාකාරිණියයි. අභිෂේකා අක්කාගේ ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ හරහා මුලින්ම යම් පිරිසක් මාව හඳුනාගත්තා. ඒ හරහා යම්කිසි ජනප්‍රියත්වයක් ලැබුණා. ඒකට පොදු තවත් පිරිසක් එකතු කළා. කෞෂිට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒක ගැන කියන්න මට තේරෙන්නෙ නැහැ. ඒ හැමෝටම මම ගොඩක් ආදරෙයි. පාරේ යද්දිත් ළඟට ඇවිත් අක්කා කෞෂි නේද? කියලා මගෙන් අහනවා. සමහරු මගේ ගෙදරටත් හොයාගෙන එනවා.
කෞෂි නිසා මනෝජාට විවාහ යෝජනා එහෙම ඇවිත් නැද්ද?
එහෙම දේවල්නම් වෙලා තියෙනවා. හැබැයි තාම ඒ කිසිම දේකට අදහසක් නැහැ. දැන්නම් මම පෙම්වතියක් නෙමේ. කලාවත් එක්ක යද්දී සම්බන්ධතාවයක් තියාගන්න හරි අමාරුයි කියලා මට දැනුණා. එයාලට අපිට කාලය වෙන් කරන්න හරි අමාරුයි. අපි කාර්යබහුල වෙනකොට ඒ දේ නොතේරුම්කමින් ඒ අය දුක් වෙනවා. ඒක තේරුම් ගත්තු කෙනෙක් ලැබුණොත් හොඳයි. ඒ නිසා මේ කාලයේදී ඒ වගේ දේකට ඔළුව වෙහෙසවනවාට වඩා චරිතයක් වෙනුවෙන් මගේ ඔළුව මහන්සි කරන්න මම කැමතියි.
ප්‍රථම ප්‍රේමය?
මගේ ප්‍රථම ප්‍රේමය අවුරුදු හතරක ප්‍රේමයක්. O/L විභාගයෙන් පසුව ඇතිවුණු ප්‍රේමයක්. අවුරුදු හතරක් ගතවෙද්දී, අපි ටික ටික පරිණත වෙද්දී මේ අපිට අවශ්‍ය කෙනා නෙමෙයි කියලා අපිට දැනෙන්න ගත්තා. ඒ නිසා අවුරුදු හතරක ආදරයක් අපි නරත කළා.
මුළු රැයක් ඇහැරගෙන හිටපු දවස් තියෙනවද?
ඔළුවේ ප්‍රශ්නයක් තිබිලා හිතට දුක හිතිලා ජීවිතේ නිදිමරපු දවස් තිබිලා තියෙනවා.
හිතට දුකක් කලකිරීමක් දැනෙද්දී කාටද කියන්නෙ? මොකද කරන්නෙ?
ඒ වගේ වෙලාවට මම තනියම අඬලා තියෙනවා. එහෙම නැතිවුණොත් මම හයියෙන් සින්දුවක් දාලා ඒක අහගෙන ඉන්නවා. නැත්නම් සින්දුවක් කියනවා. ෆිල්ම් එකක් බලනවා. පොතක් කියවනවා. ඒ දේවල් කරලා හිත හදාගන්න බැරිනම් මම තනියම එළියට ගිහින් පොඩ්ඩක් ඇවිදිනවා. ඒවායින් හිතේ දුක නිවාගන්න පුළුවන්. ඒ ප්‍රශ්නය, දුක මට ලොකුවට දැනෙන්නේ මම වැඩක් නොකර ඉන්න වෙලාවටයි. අපි වැඩක් කරලා කාර්යබහුල වුණොත් ඒ කිසිම දෙයක් ලොකුවට දැනෙන්නේ නැහැ.
කෞෂිට පස්සෙ ආයෙත් යම් චරිතයකින් මනෝජාව ඉක්මනටම දකින්න ලැබෙයිද?
ඔව්.. ඉදිරියට පානාමංකඩ ටෙලිනාට්‍යයෙන් මාව ආයෙත් දකින්න පුළුවන් වේවි. ඒක රනිල් කුලසිංහ අයියගේ අපූරු අධ්‍යක්ෂණයක්. ඒ චරිතය හරහා ආයෙත් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබේවියි මම විශ්වාස කරනවා.
මනෝජාට හරි අපූරු හැකියාවක් තියෙනවා. මනෝජාගේ ඇඳුම් නිර්මාණය කර ගන්නෙත් ඔයාමයි?
ඔව්.. මගේ ආච්චිලා දෙන්නටම හරි ලස්සනට ඇඳුම් මහන්න පුළුවන්. ආච්චිලා තමයි මුලින්ම මගේ අක්කට ඒක ඉගැන්වුවේ. අක්කා දැන් රාජ්‍ය සේවිකාවක්. අක්කා දැන් තනියම එයාගේ සාරි ජැකට් මහගන්නවා. ඒ හැමදේම දකිද්දී මටත් ඒ අයගෙන් ඉගෙනගන්න ආස හිතුණා. දැන් මගේ ගවුම්, ඇඳුම් සකසන්නේ මහගන්නේ මමමයි. ඒ ඇඳුම් නිර්මාණ කරන්නෙත් මමමයි. ඒක දැන් මට හරි ලේසියි. මට දැන් ඇඳුම්වලට ලොකු වියදමක් යන්නේ නැහැ.
මනෝජාගේ ජීවිතේ ඊළඟ බලාපොරොත්තු?
මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. හැබැයි හීන තියෙනවා. ඒ හීන හැබෑකර ගන්න මම උපරිමයෙන් වැඩ කරනවා. මම ජීවත් වෙන්නේ වර්තමානයෙයි. ඒ නිසා අද මම ජීවිතේ විඳිමින් ජීවත් වෙනවා.
සේයාරූ සුමුදු හේවාපතිරණ / දිශානි ජයමාලි කරුණාරත්න