ඒ පරිසරය චිත්‍රයක් වගෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-11-ent-73

කළණිට තාල සිනමා නිර්මාණයේ ගුරැවරියකගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණනෙ. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද..?

මම වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට වැඩ කරන කාලෙදී පාලිත අයියා (පාලිත පෙරේරා) එහි කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරද්දී මුණගැහිලා තියෙනවා. ඒ වගේම තුමිඳුගේ සංකාරා ෆිල්ම් එකේ කැමරා අධ්‍යක්ෂකවරයා විදිහටත් කටයුතු කළේ පාලිත අයියා. ඉතින් තුමිඳු හරහාත් මම පාලිත අයියාව හඳුනාගෙන තිබුණා. මේ චිත්‍රපටයේ පිටපත ලියන කාලෙදීම තමයි පාලිත අයියා මට මේ චරිතය ගැන කියලා තිබුණේ. මට හිතෙන විදිහට ඒ මීට අවුරුදු හතරකට පහකට කලිනුයි. ඒ අනුව තමයි පසුකාලෙදී ඔහු මේ නිර්මාණයට මට අවස්ථාව ලබාදුන්නෙ. ඒ අවස්ථාව මම හරිම ආසාවෙන් බාරගත්තා.

 

දින කීයක් විතර රූපගත කිරීම් කළාද..?2019-02-11-ent-74

මට දවස් පහළොවක් පමණ රූපගත කිරීම් කරන්න තිබුණා. සීගිරියේ තමයි රූපගත කිරීම් කළේ. ඒක හරිම ලස්සන පරිසරයක්. ඒ දරුවන් එක්ක ගතකරපු කාලසීමාව හරිම සුන්දරයි. හරිම ආදරණීයයි. එතන එක එක පළාත්වලින් ආපු දරැවොයි හිටියෙ. ඒ දරුවෝ ඇත්තටම හරිම ආදරණීයයි. දරුවන් එක්ක දවස ගෙවෙද්දී කොහොමත් හරිම ආදරණීයයිනෙ. එතන අපිට රූපගත කිරීම් කරනවා කියලා දැනුණෙත් නැහැ. උදේ හමුවුණාම ඒ අය එක්ක කතා කරන දේවල් හරි අලුත්. එයාලට දැනුණු, එයාලා දැකපු දේවල් හරි අලුත්. ඇත්තටම ඒ දරුවන් එක්ක ගතකරද්දී රඟපාන්න අලුතින් දෙයක් තිබුණේ නැති තරම්. සමහර තැන්වලදී පාලිත අයියා ඔයාලා කතා කරන්න, ඔයාලා සෙල්ලම් කරන්න කියලා විතරයි අපිට කිව්වෙ. ඇත්තටම ඒ පොඩි කාලයේදී මගේ ළමා කාලයට ගියා වගෙයි දැනුණේ.

 

මුල්ම දවසේ දරුවන් එක්ක රූපගත කිරීම් කරද්දී ඒ දරුවන්ට ඔබව කලාකාරියක් විදිහට ආගන්තුකව දැනෙන්න ඇති නේද..?

ඒ ආගන්තුක බව දැනෙන නිසාම වෙන්න ඇති, පාලිත අයියා රූපගත කිරීම් කරන්න කලින් පොඩි පුහුණුවීම් ටිකක් පැවැත්වුවා. දරුවන් තෝරාගත්තට පස්සෙ මටයි හේමාල් අයියටයි එන්න කියලා ඒ වැඩ කරන කණ්ඩායමත් එක්ක දවස් තුනක් අපි වර්ක් ෂොප් එකක් කළා. පළවැනි දවසේම මම සාරියක් ඇඳගෙන ගියා. ඒ වෙලාවේ පාලිත අයියා මාව පෙන්නලා මෙයා තමයි ඔයාලගේ ගුරුවරිය. හොඳයිද? කියලා ඒ දරුවන්ගෙන් ඇහුවා. ඒ වෙලාවේ ඒ අයට එයාලගේ ගුරුවරිය බලන්න ආසාව තිබුණා වගේම මාත් ඒ දරුවන් ටික බලන්න ආසාවෙනුයි හිටියේ. මම වෘත්තියෙන් දරුවන් එක්ක වැඩ කරන කෙනෙක්. ඒ වුණාට ෆිල්ම් එකක් ඇතුළේ, කතාවක් ඇතුළේ, චරිතයන් එක්ක, ළමයින් එක්ක වැඩ කරපු පළවැනි අවස්ථාව තමයි මේ තාල නිර්මාණය.

 

ඒ පොඩි කාලසීමාවේදී සිදුවුණු අමතක නොවන සිදුවීමක් මතක් කරමුද..?

ඇත්තටම කිව්වොත් රූපගත කිරීම් කරපු දවස්වල තිබුණු ඒ පරිසරයයි, ඒ දරැවනුයි අපිට අපේ දවස අලුත් කරලා දුන්නා. ඇත්තටම මට සීගිරිය අවට පරිසරය හරියට චිත්‍රයක් වගෙයි. උදේට දකින ඒ පරිසරය හවස වෙද්දී වෙනස්වෙන විදිහ හරිම අපූරුයි. චිත්‍ර ශිල්පිනියක් විදිහට මම ඒ අපූර්වත්වය ඇත්තටම වින්දා. ඒ නිසා මට ඒ අවස්ථාව මේ චිත්‍රපටය නිසා හම්බවුණා. ඒ වගේම දරුවන් හරිම එකමුතුයි. ඒ දරුවන් අතරේ කිසිම විදිහකින් තරගයක් තිබුණේ නැහැ.

 

තාල සිනමා නිර්මාණයේ ගුරුවරිය අද සැබෑ ජීවිතයේ පුංචි පුතෙකුගේ මවක්. ඒ ලෝකය හරි සුන්දරයි නේද..?

ඔව්.. ඇත්තටම ඒ ජීවිතය හරිම සුන්දරයි. තුමිඳුටයි මටයි දැන් පුංචි පුතෙක් ඉන්නවා. පුතාට දැන් මාස එකොළහයි. එයාගේ නම අපූර්ව ආදිත්‍ය දොඩම්තැන්න. මගේ ජීවිතේ ලස්සනම කාලය තමයි මේ ගත කරන්නෙ. මෙච්චර කාලයක් මම දුවෙක් විදිහට, ගුරුවරියක් විදිහට, පෙම්වතියක් විදිහට, බිරියක් විදිහට ජීවිතය ගතකරලා තියෙනවා. ඒත් මවක් විදිහට ජීවිතය ගතකරන්නෙ ප්‍රථම වතාවටයි.

 

අපූර්ව එක්ක ගතකරන ජීවිතය කොහොමද.?

මේ දවස්වල අපූර්ව අල්ලගෙන ඇවිදිනවා. මගෙයි තුමිඳුගෙයි ලොකුම සතුට වෙලා තියෙන්නෙ පුංචි අපූර්වගේ වර්ධනයත් එක්ක එම කාලය ගත කිරීම. එයා පොඩි පොඩි දේවල් කරද්දී මම මාර විදිහට සතුටු වෙනවා. එයාගේ හිනාවත් මට පුදුමාකාර සතුටක් ගෙන එන්නෙ.

 

තුමිඳු කාර්යබහුල චරිතයක්. පුංචි පුතා එක්ක ගෙදර ඉඳිද්දී තාත්තයි පුතයි මොනවද කරන්නෙ..?

ඇත්තටම තුමිඳු කියන්නෙ ටිකක් කාර්යබහුල කෙනෙක්. කලාකරැවෙක් විදිහට වගේම හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්යවරයෙක් විදිහටත් වැඩ කරනවා. ඊට අමතරව මේ දවස්වල එයාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ හැමදෙයක් එක්කම එයා කාර්යබහුල වුණත් එයාට ලැබෙන පුංචි විවේක කාලය අපි වෙනුවෙන් වෙන්කර ගන්නවා. ඒ වෙලාවට අපි දෙන්නා එක්ක එකට ඉන්න, පොඩ්ඩක් එළියට යන්න, පොඩ්ඩක් කතා කරන්න, එයා ආසයි. ඒ නිසා එයාව අපිට මඟහැරෙන්නෙ නැහැ. එයා කොහොමහරි මායි පුතයි එක්ක ඉන්න වෙලාව හොයාගන්නවා. අපි දෙන්නා සාමාන්‍යයෙන් හැමදේම කතා කරනවා. රෑට අපි දෙන්නා අද දවසේ වුණු දේවල් කතා කරනවා. තුමිඳු එයාගේ විශ්වවිද්‍යාලයේ වුණු දේවල්, කලා කටයුතුවලදී වුණු දේවල් මට කියනවා. මාත් මගේ අපූර්වත් එක්ක ගතකරපු හැටි එයත් එක්ක කියලා ඒ දේවල් බෙදාගන්නවා.

 

කළණි කාලයක් සැබෑ ජීවිතේ ගුරැවරියක් විදිහට කටයුතු කළානෙ. අපූර්ව නිසාම ඒක දැන් නතර කළාද..?

නැහැ.. තාමත් මම වැඩ කරනවා. මම ආර්ට් තෙරපි කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නෙ. මානසික ගැටලු තියෙන දරුවන්ට චිත්‍රවලින් ප්‍රතිකාර කිරීම තමයි මගේ වෘත්තිය වෙන්නෙ. ඒ නිසා මම වැඩ කරන්නෙ මානසික ගැටලු තියෙන දරුවෝ එක්කයි. ඒකත් එක්තරා විදිහක ගුරුවරියකගේ කාර්යයක් තමයි. මේ දවස්වල පුංචි පුතා නිසා පොඩි විවේකයක් ගත්තා. අපූර්වගේ ජීවිතේ මේ ගෙවන කාලය මට කවදාවත් ආයේ එයාගෙන් දකින්න බැහැනෙ. අවුරුද්දක් තුළ සිදුවන අපූර්වගේ වර්ධනය, කතා කරන දේවල් හරිම අපූරුයිනෙ. ඉපදෙද්දී හිටපු අපූර්වයි දැන් ඉන්න පුංචි පුතායි අතරේ වෙනසක් තියෙනවනෙ. ඉතින් පුංචි පුතාගේ ඒ වර්ධනය එයත් එක්කම විඳින්න මම හරි ආසයි. ඒ නිසා රස්සාවෙන් මම තාවකාලිකව ඉවත් වුණා. ඇත්තටම අපූරැව මගෙයි තුමිඳුගෙයි ජීවිතේට අපූර්වත්වයක් එකතු කළා.

 

  ► Text - Dishani  /   Pic -  Sumudu