එයාව දකින්නේ නැතුව මට ඉන්න බැහැ
ඉතින්... කොහොමද සමාධී ජීවිතේ?
ජීවිතේ හොඳයි... හරීම සතුටින් කාලය ගතකරනවා.
දැන් චූටි කෙල්ලට අවුරුද්දකුත් ගෙවුණා නේද...?
ඔව්... දුවට දැන් අවුරුදු එකාමාරට ළඟයි. එයාගේ නම සනල්‍යා සයුන්දි මොරගොල්ල.
කෙලි පැටියා දඟයිද?
චූටි දඟකාරකමක් තියෙනවා. දුව හරීම ආදරණීයයි. පුංචි වුණාට එයාට දැනටම හොඳට තේරෙනවා. අපිට එයත් එක්ක ඉන්න හරිම පහසුයි. සමහර දරුවන් හරියට වද දෙනවනේ. අනේ ඒත් සනල්‍යා එහෙම වදදෙන දරුවෙක් නෙමේ.
දුව වැඩියෙන් ළඟ කාටද...?
එහෙම නෑ... එයා අපි හැමෝටම හරි ආදරෙයි. අපි හැමෝටම හරිම සමීපයි. මටයි එයාගේ තාත්තටයි එයා ගොඩාක් ආදරෙයි. ඒ වගේම තමයි හස්බන්ඩ්ගේ අක්කලාටත් එයා ගොඩාක් ආදරෙයි. ඇත්තටම චූටි දූ හරිම කීකරු දරුවෙක්.
ඇත්ත කියන්නකෝ... ආසාවෙන් හිටියේ දුවෙක්ටද...? පුතෙක්ටද...?
පළවෙනි බබා නිසා කවුරු හම්බවුණොත් අපි දෙන්නා ආසාවෙන් හිටියේ. දැන්නම් මම මගේ හදවතින්ම කෙල්ලට කැමතියි.
ජීවිතේ මුලින්ම... චූටි දූගේ මුහුණ දකිද්දී දැනෙන හැඟීම විස්තර කරන්න බෑ තමයි... ඇත්තටම මොකද හිතුණේ?
අම්මෝ... ඒ ගැන අදටත් කියන්න බෑ වගේ... ඒතරමටම ඒක ආදරණීය හැඟීම් ගොන්නක්. අපි දෙන්නා කතාවෙලා හිටියේ අපි දෙන්නා දරුවා ඉපදුණාට පස්සේ දෙන්නාගෙම මූණ හංගගමු කියලා. මම නම් කිව්වා මටනම් මූණ බලන්න බෑ කියලා. එච්චරටම ඒක සප්‍රයිස් එකක්නේ කියලා. මුලදී එහෙම මූණ වහගමු කියලා කතාවුණාට චූටි කෙලි පැටියගේ ඇඬිල්ලේ සද්දේ ඇහෙද්දී දෙන්නටම මූණ වහගෙන ඉන්න බැරිවුණා.
දුව ඉපදෙද්දී දූගේ තාත්තත් ළඟ හිටියාද...?
ඔව්... එයා මගේ ළඟටම වෙලා හිටියා. අපි ක්ලිනික් ගියේ ලංකා හොස්පිට්ල් එකට. ඒ වුණාට මට අමාරුවෙලා ඩොක්ටර්ට කෝල් කරලා බලද්දී ඩොක්ටර් හිටියේ නවලෝක හොස්පිට්ල් එකේ. ඉතින් ඉක්මණටම මාව ඇඩ්මිට් කළා. සාමාන්‍ය දරු උපතකින් මගේ කෙලි පැටියා නවලෝකයේදී ඉපදුණා.
ඇත්තටම දුව කවුරු වගේද...?
එයා අපි දෙන්නගේම සංකලනයක්. අපි දෙන්නාගේම මුහුණුවර චූටි දුවට තියෙනවා. එයා අපිට සතුට අරන් ආවා. අපි දෙන්නගේ ජීවිතේ සම්පූර්ණයි කියලා අද අපි දෙන්නටම දැනෙනවා.
දුවගේ වැඩකරගන්න මුල්කාලේදී උදව් කළේ කවුද...?
ඇත්තටම ඒ කාලේ කිසිම දෙයක් මම දැනන් හිටියේ නෑ. මගේ අත ඒවට හුරුවෙලා තිබුණේ නෑ. ඉතින් ගෙදර අය තමයි මට ඒ හැමදේටම උදව් කළේ. ඒවගේම හස්බන්ඩ්ගේ අම්මා, හස්බන්ඩ්ගේ අක්කලා තමයි මට ඒවාට උදව් කළේ. අම්මා තමයි චූටි දුවව මුල් දවස්වල නෑව්වෙත්. ඒ අත්දැකීම් ලබන්න කොහෙත්ම බයක් දැනුණේ නෑ. මේ අය මම වටා එක්රොක්වෙලා හිටියා. අදටත් එහෙමයි.
ආයෙත් සමාධි රඟපාන්න පටන් අරන්... එතකොට චූටි දූ?
බබාට මාස හතරේ ඉඳන් තමයි “සිඳු* නාට්‍යයට සම්බන්ධ වුණේ. මම කොහොමත් බබාට අසාධාරණයක් වන විදියට ඒකේ රෑගත කිරීම් බාර ගන්නේ නෑ.
එතකොට මුල් දවස්වල චූටි දුව හිටියේ ගෙදරද...?
මුල් දවස්වල පැය දෙකක් වගේ කාලයක් තමයි රෑගත කිරීම් කළේ. ඒ වෙලාවට සිඳු නාට්‍යය කණ්ඩායමත් පුදුම සහයෝගයක් මට ලබලා දුන්නා. මාව ඉක්මණටම රෑගත කිරීම් කරලා යැව්වා. ඒ අවශ්‍ය හැම පහසුකමක්ම එයාලා ලබලා දුන්නා.
අදටත් එහෙමද...?
ඊට පස්සේ ලොකු අක්කයි, මායි බබයි ෂූටිංවලට යනවා. මම රෑගත කිරීම් කරනකොට අක්කා දුවව තියාගෙන හිටියා. තාමත් දූ රෑගත කිරීම් කරන තැනට යනවා. මම ආස නෑ දුවව පැය ගාණකට දකින්නේ නැතිව ඉන්න. මට ඒ කාලය ගැන ලෝභයි. වේලාසන එනවානම් අම්මට දීලත් යනවා. හැබැයි පැය ගාණක් මට මෙයාව දකින්නේ නැතිව ඉන්න බෑ.
ඇයි දූගේ තාත්තට මැණික කියන්නේ...?
අනේ... ඒක ඒ කාලේ ඉඳන්ම අපි දෙන්න කියන දෙයක්. එයා මට මැණික කියනවා. මම එයාට මැණික කියනවා.
මොනවද ඔය හිතේ තියන බලාපොරොත්තු?
අපි දෙන්නා ලොකුවට ජීවිත ප්ලෑන් කරගෙන නෑ. ජීවිතේ ගොඩාක්ම අත්‍යවශ්‍ය දේවල් අපි පහුකරගෙන ඇවිත් තියෙන්නේ. අපි යාළුවුණාට පස්සේ හොඳ විවාහ උත්සවයක් අරගෙන විවාහ වුණා. ඊට පස්සේ අපි ආදරණීය දරුවෙක් බිහි කළා. ඒ නිසා මූලික හීන අපි සැබෑ කරගෙන ඉන්නේ. අවශ්‍ය විදියට ගෙවල් දොරවල් යානවාහන හම්බකරගෙන තියෙන්නේ. එතනින් එහාට අපිට ලොකු තන්හාවල් නෑ. ඒනිසා කාටවත්ම කරදරයක් නැතිව ධාර්මික ගමනක් තමයි අපේ බලාපොරොත්තුව. ලොකු බලාපොරොත්තු නෑ. හිතේ සතුටින් මේ ගතකරන ජීවිතේට මම හරි ආදරෙයි.
Text – Dishani / Pic – Sumudu