එයාටත් කලින් මට එයා ගැන ආදරයක් ඇතිවුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-17-ent-01

පියුමි... අපි මුලින්ම පවුලේ විස්තර ටිකක් කියමු...?

මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි මල්ලියි මමයි. මම තමයි පවුලේ එකම ගැහැනු දරුවා. පුංචි කාලේ ඉඳලම මගේ ආසාව වුණේ නිළියක් වීමයි. ළදරු පාසල් යන කාලේ ඉඳලම මම ගොඩක් දේවල්වලට සම්බන්ධ වුණා. අපේ ලොකුඅම්මා හරි ලස්සනට අඳිනවා. ඒ කාලේ ඉඳලම මම හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා. ඉතින්.. ඉස්කෝලෙ ගිහින් ආපු වෙලාවේ ඉඳලම මගේ වැඩේ ලොකුඅම්මගේ සාරි ඇඳගෙන, ලිප්ස්ටික් කියුටෙක්ස් ගාගෙන හැඩ බලන එකයි. මම ඉගෙනගත්තෙ කඳාන කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙ. පහ වසරේ ඉඳලම ඉස්කෝලෙ ඇරිලා ඇවිත් කෑම කන ගමන් කරන්නෙත් ටීවී එක දාගෙන හින්දී ෆිල්ම් බලන එකයි. වෙන ළමයි කාටුන් බලන්න ආසා වෙද්දී මගේ ආසාව වුණේ ෆිල්ම් බලන එකයි. සමහරදාට මගේ ලොකුඅම්මා ටීවී එකේ රිමෝට් එක හංගලා යනවා. ඒ තරමටම පාඩම් නොකර සමහරදාට මම ෆිල්ම්ස් බලනවා.

 

පාසලේදී මොනවගේ චරිතයක්ද..?

පාසලේදී මම බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වුණා. පාසල් කලා උළෙලවලදී නර්තනය පැත්තෙන් මම බොහෝ දේවල්වලට සහභාගි වුණා. ඒ වගේම මම ඉස්කෝලෙදී හරිම දඟයි. ඉගෙන ගන්නවාටත් වඩා ඉස්කෝලෙදී දඟ වැඩ තමයි කළේ.

 

පුංචි කාලේ ඉඳලම තිබුණු හීනය හැබෑකරගත්තෙ කොහොමද..?

රෑපවාහිනී නාලිකාවක අවුරුදු කුමරිය තරගයට සහභාගි වුණා. ඒකෙදී අවසන් පස්දෙනා අතරට තේරුණා. ඊටපස්සෙ මට රෑපවාහිනී වැඩසටහනක නිවේදනය කරන්න අවස්ථාව ලැබුණා. මුලින් නම් මට නිවේදනය කරන්න එච්චර බැහැ. ඊටපස්සෙ සුදත් සමරකෝන් සර් යටතේ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වුණා. %අරුමවන්තී^ කියන නාට්‍යයේ තමයි මුලින්ම මම රඟපෑවේ. සුධාර ද සිල්වා තමයි ඒ අවස්ථාව මට ලබාදුන්නෙ. එතැන තමයි කලා ජීවිතේ මගේ ආරම්භය වෙන්නෙ.

 

'වෙස්' ටෙලිනාට්‍යයේ ටානියා දැන් හරිම ජනප්‍රියයි නේද..?

ඔව්.. වෙස් නාට්‍යයේ මම රඟපාන්නෙ ටානියා කියන චරිතයයි. ජනක සම්පත් තමයි මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්නෙ. එයාලගේ %සඳපිණිවැස්ස^ ටෙලිනාට්‍යයටත් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක ඉවරවුණාට පස්සෙ ජනක අයියා මට වෙස් ටෙලිනාට්‍යයට කතා කළා. වෙස් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායකයි. ඉතින් ධනුෂ්ක අයියගේ ඉඳලා හැමෝම මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. අද ටානියාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාරක ගියත් &ආ.. ඔයා වෙස් එකේ ඉන්නවා නේද?* කියලා අහනවා.

 

වෙස් පෙරළනවාට අමතරව ඔබ සම්බන්ධවෙලා තියෙන වෙනත් නිර්මාණ මොනවද..?

වෙස් නාට්‍යයට අමතරව මම ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධවෙලා තියෙනවා. 'නීලපබළු' ටෙලිනාට්‍යයෙ මම රඟපාන්නෙ සෙනුරි කියලා චරිතයක්. 'නීලපබළු' අධ්‍යක්ෂණය කරන්නෙ සඳුන් රාජකරුණා. සිංහ එන්ටර්ටේන්ට්මන්ට් නිෂ්පාදනය කරන %නීලපබළු^ ටෙලිනාට්‍යයට ලලිත් වසන්ත මහත්මයා තමයි මට අවස්ථාව ලබාදුන්නෙ.

 

මීට අමතරව 'රාවණා' ටෙලිනාට්‍යයත් ඔබට අභියෝගයක් නේද..?

ඇත්තෙන්ම ඔව්.. රාවණා තමයි මට ලොකුම අභියෝගය වුණු නාට්‍ය වෙන්නෙ. රාවණා කියන්නෙ රජ කතාවක්. ඒක ළඟදීම තිරගත වේවි. එහි අධ්‍යක්ෂණය තුෂාර තෙන්නකෝන්.

දඟකාර චරිත කරපු මට රාවණා ලොකු අභියෝගයක්. බටහිර පන්නයේ චරිතවලට කොටුවුණු මාව බිසවකගේ චරිතයකින් රාවණා වෙනස් කළා.

 

සැබෑ ජීවිතයේ පියුමි කාගේ බිසවද..?

සැබෑ ජීවිතයේ මම ගිහාන් චමිත් කුමාරගේ බිරිය. අපි දෙන්නා විවාහ වුණේ ප්‍රේම සම්බන්ධතාවයකින්. අපි විවාහ වුණේ දැන් අවුරුදු හතකට විතර කලින්. රඟපාන්න කලින් මම රෙස්ටුරන්ට් එකක සේවය කළා. ගිහානුත් එතැනම වැඩ කළා. ඒ රෙස්ටුරන්ට් එකට ගිය මුල්ම දවසෙම තමයි මම ගිහාන්ව දැක්කෙ. ඒ මුල්ම මුණගැහීම හරි අපූරු හමුවීමක් වුණා. එයාටත් කලින් මට එයා ගැන ආදරයක් ඇතිවුණා. එදා ඉඳලා අද වනතුරුම අපේ ඒ ආදරය වෙනස්වෙලා නැහැ.

 

රංගනයට ගිහාන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?

මම නිර්මාණවලට දායක වෙනවට එයා කැමතියි. එයා හැමවෙලේම කියන්නෙ රංගනය ගැන ඉගෙනගෙන කවදාහරි දක්ෂ නිළියක් වෙන්න කියලා. මම ලස්සනට අඳිනවට පළඳිනවට එයා හරි කැමතියි. අනිත් අයට වඩා එයා හරිම වෙනස් චරිතයක්. එයා නිසා තමයි මම රඟපෑම පැත්තට යොමුවුණේ. චරිත තෝරාගනිද්දී එයා මට ගොඩක් උදව් කරනවා. සමහර වෙලාවට ඒ නිර්මාණ තෝරාගන්න බැහැ කියලා හිතද්දී ගිහාන් තමයි මාව ධෛර්යමත් කරන්නෙ. සමහරදාට මම ගෙදරදී පිටපත පුහුණු වෙන්නෙත් ගිහාන් එක්කයි. ඒ තරමටම ලොකු සහයෝගයක් ගිහාන්ගෙන් මට ලැබෙනවා.

 

මොනවද ඉදිරියට තියෙන බලාපොරොත්තු..?

කලා කටයුතුවලදී තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි හොඳ විවිධ චරිත රඟපාමින් නිර්මාණ කටයුතුවල නියැලෙන එක. ඊට අමතරව ගිහාන් එක්ක මේ ගෙවන ජීවිතය හැමදාමත් හරිම සතුටින් ගෙවන්න මම බලාපොරොත්තු වෙනවා.

 

Text - Jayamali / Pic - Sumudu

 

 2018-11-17-ent-02 2018-11-17-ent-03 2018-11-17-ent-04 2018-11-17-ent-05