එයා එදා මාව තඹේකට මායිම්කළේ නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200623-15

‘‘කැළුම් ශ්‍රී’’ රඟපෑමේ ක්ෂේත්‍රයට ඒමට පෙර, වැඩි දෙනෙක් දැනගෙන හිටියේ රූපවාහිනී වෙළඳ දැන්වීම්වලට පෙනී සිටිය නිසයි. ඉන්පසුව දෙරණ සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහන සමග නර්තනයෙන් කරළියට ආ ඔහු ගැන වැඩි දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය නිසයි. ඒ විදියට රංගනය වෙතින් අද දවසේ ගමනක් යන කැළුම් ශ්‍රී මේ දිනවල හමුවන්නෙ ‘රැස්’ නාට්‍යය සමගයි. හැබැයි අද ඔහු ගැන ප්‍රේක්ෂක බොහෝ දෙනා කතා වන්නෙ නම් මේ සියල්ලට වඩා ඔහුගෙ ‘‘විවාහය’’ ගැනයි. ඔහුගෙ ආදරණීය බිරිඳ වූ ඇය කලා ක්ෂේත්‍රයේ නර්තන අංශය වෙතින් ගමනක් යන ශිල්පිණියකි. ඇය නර්තන හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකටව සිටින්නේ ‘‘දූලී’’ යන නමිනි. අද සඳැල්ල කවරය සහ කතාබහ හැඩ කරන්නේ මේ සුන්දර යුවළයි.

 

‘‘කැළුම් ශ්‍රී’’ කියන්නේ ක්ෂේත්‍රයේ ලෙහෙසියට භාවිතා කෙරෙන නමද?

මගේ නම ශ්‍රී කැළුම්. ඒත් ලෙහෙසියට යොදා ගන්නෙ කැළුම් ශ්‍රී කියලයි.ENT-20200623-16

 

මේ දිනවල ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

මාක්ස් එක දාගෙන ගියත් බොහෝ දෙනෙක් හඳුනන බව පෙනෙනවා. රැස් නිසා ලැබෙන ප්‍රතිචාර හොඳයි.

 

රැස් හැර වෙන නාට්‍ය මොනවද?

එක වරකට මම කැමති එක් නාට්‍යයක රඟපාන්න විතරයි. ඒක ඉවර වුණාම ලැබුණොත් ඊළඟ එකට දායක වෙනවා.

 

කලා ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල් වෙනවද?

අවුරුදු 11ක් විතර වෙනවා. මුලින්ම ආවේ ටෙලිවිෂන් දැන්වීම් සහ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් හරහායි. රඟපෑමට තිබුණු ආසාව නිසාත්, නර්තනයට තිබෙන හැකියාව නිසාත්, නර්තන තරගයට ඉදිරිපත් වුණේ, රඟපෑම සොයා යන්නයි. ඒ විදියට ආපු ගමන තමයි මේ.

 

කැළුම් ශ්‍රී - මෙච්චර ඉක්මණට විවාහ වෙන්න හිතුවෙ?

ඉක්මණටමත් නෙවෙයි. අපි දෙන්නා දැන හඳුනාගෙන අවුරුදු පහකට වැඩියි.

 

කියමුකො බලන්න, ඒ සම්බන්ධය ඇතිවෙච්ච හැටි?

මගෙ හොඳම යාළුවගෙ උපන් දින සාදය දවසෙදි තමයි මුලින්ම නම් ඇයව දුටුවෙ. මගේ හොඳම යාළුවගෙ බිරිඳගෙ හොඳම යෙහෙළියක් එයා. ඉතින් එදා ඇයටත් ඇරයුම් කරලා තිබුණා. හොඳ හැදියාවක් තියෙන ගැහැනු ළමයකු විදියට එයා හැසිරුණේ. ඉතින් මම එයා ගැන විමසිලිමත් වුණා. යාළුවන්ගෙනුත් ඇහුවා. කවුද ඒ කියලා? කොහොම හරි එදා මම ඇයගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලුවා. ඒත් දුන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් එයා මාව තඹේකට මායිම් කළේ නැහැ. මට මේ විදියට ආඩම්බරකම් පෑ කෙල්ලව කොහොම හරි යාළුකරගන්න ඕනෑ වුණා. මාස දෙකක විතර කට්ටක් කාලා තමයි කැමැත්ත අරගත්තෙ.

 

ඇයි, ඇය කෙරෙහිම හිත ගියේ?

මට ජීවිතයේ හුරු පුරුදු කමක් දැනුණා. දැකලා පුරුදු ගතියක් පෙනුණෙ. ඒ අතරේ අමුතු අහිංසකකමක් ඇය වෙතින් දුටුවා. ‘‘දූලි’’ තමයි මට ගැලපෙන්නෙ කියලා හිතුවා.

 

‘දූලී’ ගෙ පවුලේ විස්තර කිව්වොත්?

අම්මා, තාත්තා, අයියා සහ නංගි. බොහොම සාමාන්‍ය පවුලක්. අපිත් ඒ වගේ පවුලක්. අපට ගැලපෙන පවුලක්.

 

ඇය මීගමුවෙ, ඔබ නුවර, ඒ වගේම ඇය කතෝලික, ඔබ බෞද්ධාගමේ. ඒ දේවල් බලපෑවෙ කොහොමද?

ඇත්තම කිව්වොත් අපට දෙපැත්තෙ වැඩිහිටියන්ගෙන් කිසිම බාධාවක් ආවෙ නැහැ. අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුළුවන් නම්? හරි දේ කරන්න කීවා. අපට ආගම් ප්‍රශ්නයක් නෙවෙයි.

 

මේ තේරීම ‘හරි’ කියලා අද හිතෙනවද?

හරියට ගැලපෙන හොඳ තීරණයක්. ‘දූලි’ හමුවන්න කලින් මගේ ජීවිතේ, කළමනාකරණයක් තිබුණේ නැහැ. යාළුවො එක්ක, රවුම් ගැහුවා, කෑවා, බිව්වා, එතැනින් එහාට දෙයක් ගැන හිතුවෙ නැහැ. ඒත් ‘දූලි’ ජීවිතයට ළං වුණාම තමයි මම මුලින්ම මෝටර් සයිකලයක් පවා ගන්න තරමට මුදල් එකතු කර ගත්තෙ. ඉන් පස්සෙ, මෝටර් සයිකලය වෙනුවට කාර් එකක් ගත්තා. ඒ වගේ පිළිවෙළක් මම එයා නිසා ඉගෙන ගත්තා. ‘දූලී’ ට පවුල් ජීවිතයක් ගැන, අරපරිස්සම ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්.

 

විවාහ උත්සවය ගැනත් කියමු?

විවාහ උත්සවය ගන්න පුළුවන් වුණේ කලින් සැලසුම් කරලා තිබුණු විදියට නෙවෙයි. මේ වසංගත තත්ත්වය සහ ඇඳිරි නීතිය එක්ක ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් තමයි උත්සවය ගත්තෙ. මාකොළ නෙල්ලිගල පංසලේදි චාරිත්‍ර සිදුකළා. ඉතා සරලව පැවැත්වූ මංගල උත්සවයක්.

 

‘‘කැළුම් ශ්‍රී’’ දූලීව අමතන්නෙ වෙන නමකින් නේද?

ආදරේට කියන්නෙ සිඟිති කියලයි.

 

සිඟිති එක්ක ගත කරන්න ලැබුණු විවාහ ජීවිතය ගැන දැනෙන්නෙ කොහොමද?

අපි දෙන්නා අවුරුදු පහක් ආදරයෙන් ඇසුරු කරලා තමයි විවාහ වුණේ. ඒ නිසා ආදරයෙන් ඉන්න අපි දෙන්නා දන්නවා. දෙන්නට-දෙන්නාගෙ අදහස් දන්නවා. ඒ අනුව දෙන්නාට දෙන්නා නම්‍යශීලීව ප්‍රශ්නයක් ආවොත් විසඳාගන්නවා. අපි දෙන්නගෙ තේරුම් ගැනීම ‘විවාහය’ අරුත්බර කළා. ඉදිරියත් ඒ විදියට වේවි.

 

ඔයාගෙ සිඟිති හෙවත් ‘දූලි’ මොනවද කරන්නෙ?

එයා නර්තන ශිල්පිනියක්. විශේෂයෙන්ම කරන්නෙ නර්තනය ගැන ඉගැන්වීමයි. මේ දිනවල නම් හිරු සුපර් ඩාන්සර් වෙනුවෙන් තරග කරන ශිල්පීන්ට නර්තනාංග මෙහෙයවීම කරනවා. දැන්වීම්වලටත් එයා පෙනී සිටිනවා. ඇත්තටම කිව්වොත් සමාජ මාධ්‍ය ඔස්සේ නම්, මට වඩා ප්‍රසිද්ධ ‘දූලී.

 

දුලී, ඇත්තද කැළුම් කියන්නෙ?

ඔව්, කැළුම් අයියා කියපුවා ඔක්කෝම ඇත්ත.

 

‘දූලී’ කැළුම් ශ්‍රී ට කියන්නෙ කැළුම් අයියා කියලද?

ඔව්.

 

ඇයි කැළුම්ටම හිත ගියේ?

මුලින්ම නම් එයා ගැන මට අදහසක් ඇතිවුණේ නැහැ. එකක් එයා ඒ වන විටත් ජනප්‍රියයි, ලස්සනයි ඉතින් මේ කරන්න හදන්නෙ බොරැවක්ද කියලා දන්නෙත් නෑ කියලා තමයි මුලදි මට හිතුණෙ. ඒත් අවුරුදු පහක්ම ඇසුරු කරන්නෙ බොරුවට නොවන වග එයා ඔප්පු කරලා පෙන්නුවා. මුලින්ම නම් මට එයාට ආදරය කරන්න හිතුණෙ ලස්සන නිසයි. එයාගෙ පෙනුම ආකර්ශනීයයි. පසුව අදහස් ඊට වඩා ගැලපුණා. මේ ඔක්කොම එක්ක දෙන්නට – දෙන්නා තේරුම් ගත්තා. අන්තිමට කෙළවර වුණේ විවාහයෙන්. පෙම්වතුන් හැටියට සිටියදී අපි ඉතින් පොඩි පොඩි රංඩුත් වුණා. ඒවා ඉතින් පෙම්වතුන් අතර සාමාන්‍යයෙන් සිදුවන දේවල්. විවාහ වුණා කියලා ආදරය වෙනස් වෙන්නෙ නැහැ. මම හිතන්නෙ කැළුම් අයියා ඉස්සරටත් වඩා දැන් මට ආදරෙයි.

 

‘දූලී’ ට රඟපෑමේ අදහසක් නැද්ද?

ආරාධනා නම් ආවා. සමහර විට ඉදිරියේදී එක ඩ්‍රාමා එකක විතරක් රඟපාවි.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ