එයා එක්ක රඟපාන්න මම ගොඩක් ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-12-ent-164

මේ දිනවල සමාජ වෙබ් අඩවි ඔස්සේ බොහෝ ජනප්‍රියත්වයට පත් අවුරුදු කුමරිය ලෙස නිමාෂා සිරිවර්ධන හැඳින්විය හැකිය. ඊට අමතරව ඇය රංගන ශිල්පී පුබුදු චතුරංගගේ පෙම්වතිය ලෙසද ප්‍රසිද්ධය. මාෂි සිරිවර්ධන ලෙස ක්ෂේත්‍රය තුළ ජනප්‍රියඇය සිය නිර්මාණ කටයුතු පිළිබඳ මෙලෙස අප සමග පැවසුවාය.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

2017-05-12-ent-167මේ දවස්වල විශ්වවිද්‍යාල වැඩකටයුතුවල තමයි නිරතවෙලා ඉන්නේ. විභාග එකක් නම් ඉවර වුණා. තව ඉදිරියට විභාග තියෙනවා.

 

අවුරුදු කුමරියක් වෙලා ඔබ අන්තර්ජාලය තුළ බොහෝ ජනප්‍රිය වුණා.?

ඒක හැම අවුරුද්දකම අපේ විශ්වවිද්‍යාලයෙන් තියෙන අවුරුදු උත්සවය. මේපාර ඒ සඳහා ඉදිරිපත් වෙන්න ලොකු වුවමනාවක් තිබුණෙ නැහැ. අම්මිත් මුලින් කිව්වා යන්න කියලා. මම බැහැ කියලා හිටියා. ගොඩක් ළමයි ඉන්න නිසා අපට ඒකට ඇප්ලයි කරන්න තිබුණා. මගේ යාළුවො දෙන්නා තමයි ඒක Fill කරලා යවලා තිබුණෙ. ඉතිං ඊටපස්සේ අවුරුදු කුමරිය වෙන්න අවස්ථාව ලැබුණා. මම හිතුවෙ නැහැ ඒකට මේ විධියට ප්‍රසිද්ධියක් ලැබේවි කියලා.

 

ආරංචියක් පැතිරෙනවා ඔබ පුබුදු චතුරංගගේ පෙම්වතිය බව. ඒ කතාව ඇත්තද?

ඒ කතාව ඇත්ත. නමුත් මම කැමති පෞද්ගලිකත්වය රැකගෙන ඉන්න.නමුත් මේ දෙයින් නොසිතූ විදියට ඒක එළිවුණා.

 

අවුරුදු කුමරිය තරග කීයකට දායකවෙලා ජයග්‍රහණය ලබලා තියෙනවාද?

මම පොඩිකාලේ පාසලේදී අවුරුදු කුමරිය තරගයකට ගියා. ඊටපස්සේ ලොකු තරගයකට කියලා දායක වුණේ 2016 අවුරුදු කුමරිය තරගයට. එයටත් අම්මි තමයි ඉදිරිපත් වෙන්න කියලා උනන්දු කළේ. එයින් ජයග්‍රහණය කළා. ඒක නම් ලොකු තරගයක්. ඒගැනත් ගොඩක් ලොකු සතුටක් තිබුණා.

 

අම්මා නිසා නේද අවුරුදු කුමරිය වෙන්න තරගයකට ගියේ?

ඇත්තෙන්ම ඔව්. මම හිතුවෙ නැහැ තරගයට සහභාගි වෙන්න. මට හොරෙන්ම අම්මි ඒ සඳහා ඉල්ලුම් කරලා තිබුණා. එයාගේ සතුට නිසා මම සහභාගි වුණා. ජයග්‍රහණය ලැබුණායින් පස්සෙත් මම මුලින්ම ඇවිත් අම්මිව තමයි බදාගත්තේ. මොකද එයා ඉල්ලුම් කරපු නිසානේ මම මේ තරගය සඳහා සහභාගි වුණේ. ඊටපස්සෙ ගොඩක් වෙළෙඳ දැන්වීම් සඳහාත් ආරාධනා ලැබුණා.

 

අවුරුදු කුමරිය වෙන්න කලින්ම වෙළෙඳ දැන්වීම්වලට එහෙම දායක වුණා නේද?

අවුරුදු 08 දි විතර ඉඳන් මම වෙළෙඳ දැන්වීම්වලට දායක වුණා. ITN අවුරුදු කුමරිය වුණාට පසුව ඒ සඳහා ලැබෙන ආරාධනා ප්‍රමාණය වැඩිවුණා. වෙළෙඳ දැන්වීම් කළත් මම ලැබෙන හැම නිර්මාණයම බාරගත්තේ නැහැ. මට හිතෙන හොඳ නිර්මාණවලට තමයි මම දායක වුණේ. මම ඒකට කැමතියි. හරි නිදහස්. මගේ අධ්‍යාපනයටවත් කිසි බාධාවක් වෙන්නේ නැහැ ඒ දෙයින්. ලොකු කාලයක් වැය කරන්න නැහැනෙ. දවසක් වගේ තමයි ශූට් එකකට යන්නේ. ඒ නිදහසටත් මම හරි කැමතියි.

 

ඉස්සර තිබුණු පෞද්ගලිකත්වය දැන් ටිකක් නැහැ. ඒ ගැන මොකද හිතෙන්නේ?

එහෙම වුණා කියලා ලොකු වෙනසක් වෙලා නැහැ. අපි සාමාන්‍ය පරිදි අපේ වැඩකටයුතු කරගෙන යනවා. මට දැන් තියෙන්නේ විශ්වවිද්‍යාල උපාධිය හරියට නිමා කරගන්නයි. ඒකට එහෙම බාධාවක් වෙලත් නැහැ. ඉතිං ඉස්සරහටත් ඒ දේවල් සාර්ථක කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

අනාගතයේ වෘත්තීය ලෙස තෝරාගන්නේ කුමන ක්ෂේත්‍රයද?

මම ව්‍යාපාර කළමනාකරණය තමයි හදාරන්නේ. මම ඉගෙනගන්න අංශයෙන්ම රැකියාවක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම සිනමාවටත් ගොඩක් ආදරෙයි. දැනටත් මට විවිධ නිර්මාණවලින් ආරාධනා ලැබෙනවා. ටෙලි නාට්‍ය ගොඩක් සඳහා ආරාධනා ලැබෙනවා. නමුත් අධ්‍යාපන කටයුතු නිසා ඒවා බාරගන්නේ නැහැ. ටෙලි නාට්‍ය සඳහා දායක වෙන්න අදහසක් නැහැ. කවදා හෝ හොඳ නිර්මාණයක් ලැබුණොත් සිනමාවට දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා.

 

රංගනයට දායක වීමේදී ඒ පිළිබඳ හැදෑරීමක් කරන්න අවශ්‍යයි. ඒ දේවල්වලට කාලය වෙන්කරගන්නේ කොහොමද?

රංගනය කියන්නේ වෙනස් පැත්තක්. අපි හිතන විදියට රංගනය සඳහා දායක වෙන්න බැහැ. නමුත් මම හිතනවා ඉදිරියේදී සිනමාවට ආරාධනාවක් ආවොතින් ඒ ගැන හැදෑරීමක් කරලා ඒ අත්දැකීමටත් මුහුණදෙන්න.

 

පුබුදු එක්ක එකට රඟපාන්න කැමැත්තක් නැද්ද?

ඇත්තටම එයා එක්ක රඟපාන්න මම ගොඩක් ආසයි. ඒත් එයාගේ රඟපෑම් එක්ක මගේ රඟපෑම් කොහොම වෙයිද කියලා පොඩි සැකයක් තියෙනවා. ඒ නිසා ඒවා හැමදේම කාලයට බාර කරමු. මේ වැඩකටයුතු සඳහා කාලය වෙන්කරගන්නේ කොහොමද? වෙළෙඳ දැන්වීම් සඳහා නම් ලොකු කාලයක් ගතවෙන්නේ නැහැ. මේ වැඩකටයුතු අතරතුරේදීත් මම වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා තියෙනවා. ඒක නම් මට බාධාවක් නෙවෙයි. ඒ නිසාම තමයි මම ටෙලි නාට්‍යවගේ දේවල් බාරගන්නේ නැත්තේ. අපි කැපවීමකින් ඒ දේවල් කරන්න ඕනනෙ. එහෙම කැප කරන්න වෙලාවක් නැහැ මට.

 

මේ ක්ෂේත්‍රයේ හැදෙන කටකතා එක්ක ක්ෂේත්‍රයේම කෙනෙක් එක්ක සම්බන්ධතාවක් ගොඩනගාගන්න බය හිතුණෙ නැද්ද?

පුබුදුඅයියටමම ආදරය කළේ එයා නළුවෙක් නිසා නෙවෙයි. පුද්ගලයෙක් වශයෙන් මම එයාට ආදරය කළා. රංගනය කියන්නේ එයාගෙ වෘත්තිය. වෛද්‍යවෘත්තිය, නීතිඥවෘත්තිය වගේ ඒකත් වෘත්තියක්. එයාගෙ මනුස්සකමට, එයාගෙ ගතිගුණවලට. දැනටත් අපි එහෙම කටකතාවක්වත් අහලා නෑ එයා ගැන. මම හිතන්නේ අවබෝධයෙන් තමයි ඒ දේ ඇතිවුණේ. මම හිතන්නේ එයාගෙයි මගෙයි තියෙන වයස් පරතරයෙනුත් මට එයා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒ දේවල් එක්ක මම හිතනවා අපට සාර්ථකව ගත කරන්න පුළුවන් වෙයි කියලා. අවබෝධය තුළින් තමයි ආදරය ඇති වෙන්නේ කියලා තමයි මම හිතන්නේ. හරි ආදරයක් අපට හොයාගන්න පුළුවන් හරි අවබෝධයක් තිබුණොත්.

 

වයස පරතරය තුළ ගැටලුවක් නැද්ද?

වයස් පරතරය අපේ ආදරයට බාධාවක් වුණේ නැහැ. මගේ අම්මා, තාත්තා අතරත් ලොකු වයස් පරතරයක් තියෙනවා. මම හිතන්නේ වයස් පරතරය වැඩි වුණාම ආදරය, ගෞරවය, විශ්වාසය මේ කියන කාරණා ඇති වෙනවා. මම හිතන්නේ මේක මගේ ජීවිතේ හොඳම තීරණයයි කියලා.

 

ඉදිරි බලාපොරොත්තු හා පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු මොනවගේද?

දැන් ඉතිං හංගාගෙන හිටපු රහස් එළිවෙලා තියෙන්නේ. විවාහ වීමටත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා දිනයක් නම් තවමත් වෙන්කරගෙන නැහැ. සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ශමීර රාජපක්ෂ

 

 2017-05-12-ent-166 2017-05-12-ent-165  2017-05-12-ent-163 2017-05-12-ent-162 2017-05-12-ent-161 2017-05-12-ent-160 2017-05-12-ent-159 2017-05-12-ent-158 2017-05-12-ent-157