එන්න ඉන්නෙ පුතෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-23-ent-11

මේ දිනවල ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මැද දිවෙන චිත‍්‍රපටයක් වන ”වෛෂ්ණාවි” හරහා සිනමාවට අලූතින්ම එක්වූ රංගන ශිල්පිනියක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කර ගත්තා.

ඒ ඔබගේ ආදරය ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පිනී සමාධි අරුණඡායා.

මේ ඇය සමඟ කළ කතාබහ.

 

මේ දිනවල වෛෂ්ණාවි හරහා ඔබ දකින්න ඉන්නවා. ඒ ගැන කතා කරමු ද?2018-05-23-ent-12

වෛෂ්ණාවි රූගත කළේ 2012 වර්ෂයේ. රූගත කිරීමෙන් පසුව අවුරුදු 6කින් වගේ තමයි චිත‍්‍රපටය දකින්න ලැබෙන්නේ. මෙතෙක් දකින්න නොලැබුණු අමුතු කතාවක් මෙහි අන්තර්ගත වෙලා තියෙන්නෙ. ඇත්තටම මේ සඳහා සම්බන්ධ වෙන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද මට ඒ වෙනුවෙන් වැඩ කරන්න ලැබුණෙ සිනමාවෙ පුරෝගාමීන් එක්ක. ලෙස්ටර් ජේම්ස් පිරිස්, සුමිත‍්‍රා පීරිස් කියන්නෙ සිනමාවේ පුරෝගාමීන්. ඔවුන්ගේ නිර්මාණයකින් මුලින්ම එළියට එන්න ලැබීම ලොකු භාග්‍යයක්.

 

කොහොම ද ඒ අවස්ථාව සමාධිට ලැබෙන්නේ?

මේ නිර්මාණය වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණවලින් නළු නිළියො තෝර තෝරා ඉන්න අතරතුරේදී තමයි සුමිත‍්‍රා මැඩම්ට මගෙ ගැන ආරංචියක් ලැබිලා තියෙන්නෙ. ඒ කැමරා ශිල්පී ඩොනල්ඞ් කරුණාරත්න හරහා. ඉතින් මම මේ වෙනුවෙන් සුදුසුයි කියලා තෝර ගත්තා.

 

2012 වසරෙනෙ මේ චිත‍්‍රපටය රූගත කළා කිව්වෙ. ඒ වෙනුවෙන් සිනමාවේ දැවැන්ත රංගන ශිල්පී ශිල්පිනියන් එක්ක සමාධිටත් රංගනයෙන් දායක වෙන්න ලැබුණනෙ. ඉතින් ඒ රංගනයන් අද පුළුල් තිරයෙන් නරඹද්දි මොනවගේ හැඟීමක් ද ඇතිවෙන්නෙ?

ඇත්තටම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ රේඛාවෙ ඉඳලම අන්තිමට වෛෂ්ණාවි දක්වාම ඒ රූප පෙළ දකිද්දිත් හරි ආසයි. වසන්ති චතුරානි මහත්මිය ඇතුළු තවත් ජනප‍්‍රිය දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් ඒ සෙවණෙ හැදුණු වැඩුණු අය. අතීතයේ ඒවට උදාහරණ තියෙනවා. දැන් වර්තමානයේ මම ඒ තැනට පත්වුණා. ඉතින් මම රංගනයෙ යෙදිලා ඉන්නවා දකිද්දි මට හරිම සතුටුයි. මොකද ආයෙත් මෙවැනි නිර්මාණයක් බිහිවෙන්නෙ නෑ. මොකද ලෙස්ටර් සර්ගෙ අභාවය සිදුවුණා. ඒක රටේම අභාග්‍යයක් විදියට දැනෙන්නෙ. ඒ වගේ චරිත ජීවත්වෙලා ඉද්දි කලාව කියන දේ ජීවමානයි. ඉතින් ඒ වගේ චරිත නැතිවෙනවා කියන්නෙ කලාවෙම අභාග්‍යයක්. මෑත කාලයේදී ඔවුන්ගේ අන්තිම චිත‍්‍රපටයට දායක වෙලා අවසානයේදී හරි ඒ දම්වැලේ පුරුකක් වෙන්න ලැබීම ලොකු වාසනාවක්. ඒක තමයි කියන්න තියෙන්නෙ.

 

සමාධි පුංචි තිරයෙන්නෙ ගොඩක් දෙනෙක් දැක්කෙ. ඉතින් පුංචි තිරයෙ දැකපු සමාධිව පුළුල් තිරයෙ දැකපු පේ‍්‍රක්ෂකයන්ගෙ ප‍්‍රතිචාර කොහොම ද?

ඇත්තටම ඒක මටත් ලොකු වෙනසක්, හිත කුල්මත් වන ප‍්‍රීතියක් තිබුණා. ඉතින් පේ‍්‍රක්ෂකයන්ගෙනුත් හොඳම ප‍්‍රතිචාර තමයි ලැබුණෙ. චිත‍්‍රපටය තිරගත වුණු දවසෙ ඉඳන්ම, ඒ වගේම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ කලාකරුවන්ගෙනුත් ඉහළම ප‍්‍රතිචාර ලැබුණා.

 

සමාධි කීවතාවක් බැලූවා ද?

මේ චිත‍්‍රපටය මුලින්ම පෙන්නුවෙ චිත‍්‍රපට සංස්ථාවෙ. ලෙස්ටර් සර්ට අසනීප නිසා එක වතාවක් එහිදී බලන්න අවස්ථාවක් ලැබුණා. එතැනින් පසුව චිත‍්‍රපට තිරගත වුණු දවසෙ බැලූවා. පවුලෙ අයත් එක්කත් එක වතාවක් බැලූවා. මේ වෙද්දි තුන්වතාවක් බලලා තියෙනවා.

 

සමාධිගෙ චරිතය ගැනත් ටිකක් කතා කරමු ද?

1930 ගණන්වල කෙළිළොල් තාරුණ්‍යය යොවුන් විය නියෝජනය කරන තම පවුලට දැඩිව ආදරය කරන ගැමි චරිතයක්.

 

මේ වෙනුවෙන් සම්බන්ධවීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

පෙර පිනක් කියලා හිතෙන්නෙ. මොකද මේ හරි දුර්ලභ අවස්ථාවක්. ලේසියෙන් කෙනකුට නොලැබෙන අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව මට ලැබුණා. මේ සඳහා මාව යෝජනා කරපු මට මේ තැනට එන්න උදව් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

 

රංගනයෙන් දායක වුණු ප‍්‍රවීණයන්ගෙන් ලැබුණු සහාය කොහොම ද?

ඇත්තටම ප‍්‍රවීණයන් එක්ක රඟපෑම ඉතා පහසුයි. මොකද ඔවුන් මේ විෂය ගැන පරිනත අය. ඒ හැමෝගෙම ගුරු හරුකම් හරිම වැදගත්. අපේ දක්ෂතාත් හොඳින් එළියට ගත්තා. ඒ වගේම ඒ අය ක්ෂේත‍්‍රයේ නවකයන්ට හොඳ ආදර්ශයක් සපයනවා. කොච්චර ජ්‍යෙෂ්ඨයන් වුණත් ඒ අය හරිම නිහතමානියි. මුළු රටටම ඔවුන් සපයන්නෙ ආදර්ශයක්.

 

මීට අමතරව මේ දිනවල යෙදෙන කලා කටයුතු?

මම රඟපෑ සිඳු ටෙලිනාට්‍යය තමයි විකාශය වෙමින් තියෙන්නෙ. ඒ වෙනුවෙන් මම මීට මාසයකට පෙරදි සමුදුන්නා. ඒ වගේම තව විකාශය වෙන්න තියෙන නිර්මාණත් තියෙනවා.

 

ඇයි ‘සිඳු’ නාට්‍යයෙන් සමුගත්තේ?

මට නැවතත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඉදිරියේදී දරු ප‍්‍රසූතියට සූදානම් වෙනවා. ඒ නිසා තමයි සමුදුන්නෙ.

 

එතකොට දැන් එන්න ඉන්නෙ කවුද කියලා දන්නවා ද?

එන්න ඉන්නේ පුතෙක් කියලා තමයි කියන්නේ.

 

දැන් ඉන්නේ දුවෙක්නෙ. එයත් එක්ක ගෙවන ජීවිතේ කොහොම ද?

ඒ ජීවිතේ හරිම සුන්දරයි. ගෙදර ඒගොල්ලො නැත්නම් වැඩක් නෑ. ඒ තරමට ඒ හුරතල් දකිද්දි ජීවිත පිරෙනවා.

අම්මා තාත්තා වුණාම මුළු ජීවිතේම දරුවො වෙනවා. හරි වෙහෙසකරයි පොඩි අය බලාගන්නවා කියන එක. නමුත් ඒ දවස් සුන්දරව ගෙවෙනවා.

 

ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?

මම රංගනයෙන් දායක වුණු නිර්මාණ කිහිපයක් තියෙනවා. ඒවා ඉදිරියේදී විකාශය වෙයි. ඒ වගේම අපේ නිෂ්පාදන ආයතනයෙන් කරපු ගොඩක් නිර්මාණ තියෙනවා එළියට එන්න. ඒවා ආවොත් මම මේ ටිකේ ගන්න නිවාඩුව පේ‍්‍රක්ෂකයන්ට දැනෙන එකක් නෑ. මම හිතනවා මම ප‍්‍රාර්ථනා කරනවා ඒවා විකාශය වෙන්න කියලා.

 

ධනු විජේරත්න

ඡා​යාරූප: සඳුන් ගමගේ

 

2018-05-23-ent-09 2018-05-23-ent-10