එක්කෙනෙක් වැරැද්දක් කළාම ඒක ඔක්කෝටම තමයි බලපාන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-18-ent-87

නිරූපණ ක්‍ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් වූ ඕෂදී හිමාෂා පසුගිය කාලයේ සිනමා නිර්මාණයක් ඔස්සේද දැකගත හැකිවිය. ‘අශාවරී’ මියුසික් වීඩියෝව හේතුවෙන් ඇය බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්විය. මියුසික් වීඩියෝ තුළින් ජනප්‍රිත්වයට පත් ඕෂදී, මේ වන විට නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳ දරනුයේ ඉතා සෘණාත්මක අදහසකි. ඒ පිළිබඳ හා ඉදිරි කලාකටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස සාරවිට ට සම්බන්ධ වූවාය.

 

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?2018-12-18-ent-91

විශේෂයෙන් කියලා ලොකු වැඩක් කළේ නැහැ. සාමාන්‍ය පරිදි නිරූපණ ක්‍ෂේත්‍රයේ සහ රංගන ක්‍ෂේත්‍රයේ සුපුරුදු පරිදි වැඩකටයුතු කරගෙන යනවා. කරපු චිත්‍රපට දෙකක් තියෙනවා. ඒ ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ලබන අවුරුද්දේ එළිදක්වයි කියලා.

 

එම චිත්‍රපට දෙක ගැන කිව්වොත්?

මම සිනමාවට දායක වුණේ උදයකාන්ත අයියාගේ චිත්‍රපටක් වන ‘වස්සානේ සඳ’ චිත්‍රපටයෙන්. ඒ චිත්‍රපටයෙන් පසුව මම හර්ෂ උඩකන්ද මහත්මයාගේ ‘ෆේස් ටූ ෆේස්’ තමයි එම චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟපානවා. මාත් එක්ක රොෂාන් රණවන, දිනෙත් ද සිල්වා සහ ශෙහානි පෙරේරා. ඒකෙන් පස්සේ මම ආයෙත් දායකත්වය ලබා දෙනවා ‘මං මිස් ජෙනිස්’ කියලා චිත්‍රපටයට. සුසිරන් ද සිල්වා තමයි එහි අධ්‍යක්‍ෂණය. ඒ දෙකම ලබන අවුරුද්දේ එළිදක්වයි කියලා මං හිතනවා.

 

පළමු සිනමා නිර්මාණයෙන් ලැබුණු දේවල් මොනවාද?

මම සිනමාවට පා තබන්නේ උදයකාන්ත වර්ණසූරිය කියන දැවැන්ත චරිතයෙන්. මං හිතන්නෙ ලොකු වෙනසක් වුණා මගේ ජීවිතයේ. නිරූපණ ශිල්පිනයක විදිහට අවුරුදු 08ක් ක්‍ෂේත්‍රයේ ඉන්නවා. ඉතිං ලොකු වෙනස්ම අත්දැකීමක් වුණා සිනමාවට එන එක. හිතේ තිබුණු හීනයක් සැබෑ වුණා කිව්වොත් නිවැරදියි. උදයකාන්ත වර්ණසූරිය මහත්මයා යටතේ සිනමාවට දායක වෙන්න පාතැබීමට මම ගොඩක් වාසනාවන්තයි කියලා මම හිතනවා. ලබන අවුරුද්දේ වෙද්දි ඩී.වී.ඩී. චිත්‍රපට හරහා දැකගන්න පුළුවන් සහ රූපවාහිනියෙන් බලා ගන්න පුළුවන්කම තියෙයි. මම එහි පණ පෙව්වේ නටාෂා කියන චරිතයටයි. මගේ රූගත කිරීම සියල්ල සිදු වුණේ ඔස්ට්‍රේලියාවේ. ඒකත් මට වෙනස්ම අත්දැකීමක් වුණා. ලංකාවේ පිට, වෙන රටක රූගත කිරීම් කරපු නිසා ගොඩක් ආසාවෙන් රඟපාපු චිත්‍රපටයක් ඒක.

 

ඇයි පුංචි තිරය ඔස්සේ දකින්න නොලැබෙන්නෙ?

මම නිරූපණය ශිල්පිනියක විදිහටයි මම මෙච්චර කාලයක් වැඩකටයුතු කළේ. සිනමාවට එන්නවත් මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් උදයකාන්ත වර්ණසූරිය මහත්මයා ආරාධනා කළාම සහ ඒ දේ ප්‍රතික්‍ෂේප කරන්න බැරි වුණා. ඉතාමත් ආසාවෙන් දායකත්වය ලබා දුන්නෙ. සිනමාවට ආවා කියලා ටෙලිනාට්‍යයවලට එන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මම තාමත් කැමැති සහ වැඩි කැමැත්ත තියෙන්නේ නිරූපණ ශීල්පිනියක විදිහට වැඩකටයුතු කරන්නයි. ඒ නිසා මම හිතන්නේ මගේ නිරූපණ ක්‍ෂේත්‍රය බාධාවක් වෙයි මම පුංචි තිරයට ආවොත්. මොකද නාට්‍යයවලට සම්බන්ධ වුණොත් මගේ කාලය කළමනාකරණය කරගන්න අපහසුතාවක් වෙයි සහ මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමැති කෙනෙක් නෙමෙයි. මම ගොඩක් කාර්යබහුල වුණොත් මගේ පෞද්ගලික ජීවිතයට ඒක බාධාවක් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මම ටෙලිනාට්‍යවලට සහභාගි වෙන්න කැමැත්තක් සහ බලාපොරොත්තුවක් නැහැ.

 

නිරූපණය ක්‍ෂේත්‍රය අද වෙද්දි අභාවයට යන ලකුණු දකිනවා කියලා ගොඩක් අය චෝදනා කරනවා?

නිරූපණය ක්‍ෂේත්‍රය ගැන කතා කළොත් එන්න එන්න පිරිහෙන දෙයක් විදිටට තමයි අද මම දකින්නෙ. ඒ ගැන නම් ලොකු කලකිරීමක් තියෙනවා. ක්‍ෂේත්‍රය ආපු කිහිපදෙනෙක් නිසා තමයි මේ විදිහට දෙයක් වෙලා තියෙන්නේ. ඒ ගැන පුදුම කලකිරීමක් තමයි තියෙන්නේ. නිරූපිකාවක් කියලා නම තියාගෙන වැඩ කරගෙන යන පිරිසක් ඉන්නවා. ඒ අතරින් ආපු කිහිපදෙනෙක් නිසා ක්‍ෂේත්‍රය ‘චාටර්’ වෙලා තියෙනවා කිව්වොත් හරියි. ඉතිං මේ වෙන දේවල් එක්ක කලකිරීමක් තමයි ඇති වෙන්නේ. නිරූපිකාවක් කියන තැන පරිහානියට පත්වෙලා තියෙනවා ඒ අය කරන වැඩ නිසා.

 

කිහිපදෙනෙක් වුණත් සමස්ත නිරූපිකාවන්ටම නේද මේ ලේබලය වදින්නේ?

අන්න ඒක නිසා තමයි කලකිරීමක් තියෙන්නේ. එක්කෙනෙක් වැරැද්දක් කළාම ඒක ඔක්කෝටම තමයි බලපාන්නේ. රටේ මිනිස්සු පොදුවේ තමයි හැමෝටම බණින්නෙ. නිරූපණ ක්‍ෂේත්‍රයට ‘මොඩල්ස්’ලා කියාගෙන ආපු කිහිපදෙනෙක් කරන වැරදි නිසා අනික් අයටත් ක්‍ෂේත්‍රයේ ඉන්න බැරි ගතියක් තියෙනවා. කිහිපදෙනෙක් කරන දෙයක් නිසා පරිහානියට ලක්වෙලා තියෙන්නේ නිරූපණ ක්‍ෂේත්‍රයයි. රටේ ලෝකයේ මිනිස්සු බණිද්දි බණින්නේ එක්කෙනෙකුට නෙමෙයි. නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්න සියල්ලටම තමයි ඇඟිල්ල දික් කරන්නේ.

 

මේ කාරණාවන් ඇති වීමට හේතුවක් විදියට දකින්නේ?

සමාජ මාධ්‍ය පැත්තෙන් සමහර මිනිස්සු අනවශ්‍ය විදිහට උඩින් තියන ගතියක් තියෙනවා. මේ ක්‍ෂේත්‍රයට නිරූපිකාවන් කියාගෙන එන සමහරුන්ගේ අධ්‍යාපනික මට්ටම තමයි එතැනින් පෙන්වන්නේ. එක ෆොටෝ ෂූට් එකක්, වැඩක් කරපු පලියට ‘මොඩල්’ කෙනෙක් කියන ලේබල් එක ගන්න අමාරුයි.

 

අද බියුටි පැජන්ට් කියන්නේ එක්තරා ආකාරයේ ව්‍යාපාරයක් නේද?

අපි කතා කළොත් රොසෑන් ඩයස්, වාසනා දන්තනාරායන කාලයේ නිරූපිකාවන්ට ක්‍ෂේත්‍රය තුළ ලොකු තැනක් තිබුණා. දැන් ඒ තැන නැති කරගෙන තියෙන්නේ සහ කාගෙන තියෙන්නේ අපේ කට්ටියම තමයි. ෆේස්බුක් එකේ මොඩල්ස් කියලා දාගෙන ඉන්න අය නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. අද පැජන්ට් ගැන කතා කළොත් තනිකරම ව්‍යාපාරයක් කරගෙන ඉවරයි. ඇත්තටම ඒ ගැනත් සෑහීමකට පත් වෙන්න බෑ. පැජන්ට් කියන දේ සීමිත සංඛ්‍යාවක් තමයි ඒ දවල්වල තිබුණේ. අද වෙද්දී පැජන්ට් පඳුරකට ගැහැව්වා වගේ තියෙනවා. එක එක ඒවා තියෙනවා. ඒ දේවල්වලින් වෙන්නේ ක්‍ෂේත්‍රය බාල්දු වෙන විතරක් මිසක් ක්‍ෂේත්‍රයට වටිනාකමක් ලැබෙන එක නෙමෙයි.

 

මේ කාරණා නිසා ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙන්න එහෙම හිතෙන්නෙ නැද්ද?

අනිවාර්යයෙන්ම හිතලා තියෙනවා. නිරූපිකාවක විදිහට මම වැඩිකල් වැඩ කරයි කියලා මම හිතන්නේ නැහැ.

 

ඒ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවාද?

ඔව්, මම අවුරුදු ගාණක් තිස්සේ හිතපු කාරණාවක් තමයි මගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එක. මොඩල් කෙනෙකුට හැමදාම මොඩල් කෙනෙකු විදිහට ජීවත් වෙන්න අමාරුයි. ඉතිං අපට හැමදාම මේ වෘත්තිය කරගන්න බෑ. ඒක මුලින්ම තේරුම් ගන්න ඕන. සමහර අය ඉන්නවා මැරෙනකම්ම නිරූපණය කරනවා කියලා හිතන් ඉන්න අය. කවදාහරි දවසක ක්‍ෂේත්‍රයෙන් ඒ අයව නැති වෙන කොට ඒ අයට හිත හදාගන්න අමාරු වෙයි. ඒක අලුත් මුහුණු එද්දි අපි වයසට යද්දි, අපිව නිතර නිතර දකිද්දී අපිව නොදැනීම ක්‍ෂේත්‍රය තුළින් නැති වෙනවා. අපි එක්කෙනෙකුට නෙමෙයි ඒක හැමෝටම පොදු දෙයක්. මම අවුරුදු දෙකක් වගේ තමයි උපරිම ඉන්න බලාපොරොත්තු වෙන්නේ සහ එතැනින් එහාට මට ඉන්න බලාපොරොත්තුවකුත් නැහැ. මම මේ ක්‍ෂේත්‍රය ගැන අවබෝධයකින් ඉන්නේ. කොහොමත් මගේ ව්‍යාපාරයක් පටන්ගන්න බලාපොරොත්තුවක් තියෙනවා සහ ඒ වැඩකටයුතු එක්ක වැඩි කාලයක් නිරූපණය කරන්නේ නැති වෙයි.

 

නිරූපණයට එකතු වෙන නවකයන්ට දෙන අවවාදය කුමක්ද?

‘නිරූපණය කියන ක්‍ෂේත්‍රය බල්ලට ගිහිල්ලා තියෙන්නෙ. ඒක කන්න එපා’ කියලා තමයි මුලින්ම කියන්න ඕන. එක ෂූට් එකක් කළා හෝ ෆේස්බුක් එකේ මොඩල් කියන එක දාගත්ත පලියට මොඩල් කෙනෙක් කියලා කියන්න බැහැ. ඒකට කැපවෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, ආසාව තියෙන්න ඕන. එතකොට තමයි හරි විදියට නිරූපිකාවක් කියන තැනට එන්න පුළුවන්කම තියෙන්නේ. මුලින්ම තැන හදාගන්න, ඊට පස්සේ නම හදාගන්න. පස්සේ පුළුවන් ‘මොඩල්’ කියන වචනේ පාවිච්චි කරන්න. ඒක වචනයක් විතරක් කර ගෙන ක්‍ෂේත්‍රය නැති කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

 2018-12-18-ent-88 2018-12-18-ent-89 2018-12-18-ent-90