ඉස්සර නිළියකට තිබුණ පිළිගැනිම අද ලැබෙන්නේ නැහැ
වේදිකාව හරහා රංගනයට පිවිසි දුෂි ප්‍රභා ඉලංගකෝන් මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබේ. වර්තමානයේ සිටින ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනයන් අතරේ ක්‍රමයෙන් තැනක් සොයා යමින් සිටින දුෂි සමගින් මෙවර %සාරවිට^ අපි කතාබහ කළේමු.
ක්ෂේත්රයට ඔබගේ පිවිසිම සිදුවුණේ කොහොමද?
මම ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ 2012 වසරේදී. හැබැයි ඊට පෙර 2008 විතර මම සිරස %තරුමංසල^ වැඩසටහනේ ජයග්‍රහණය කරලා ඒ හරහා ටෙලි නාට්‍ය වලට අවස්ථාව ලැබුනත් පාසල් කටයුතු නිසා මග හැරුණා. ඔහොම ඉන්නකොට පාසල් වේදිකා නාට්‍ය වලට සම්බන්ද වෙලා සම්මාන සහතික ලබාගත්තා. ඊට පස්සේ තමයි ජයසේකර අපොන්සු මහතාගේ %තටු^ වෙදිකා නාට්‍යයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ තමයි මගේ රංගන දිවියේ ආරම්භය.
නිළියක් වෙන්න හීනයක් තිබුණද ඔබට?
පොඩි කාලේ මම සාරි ඇඳගෙන, මාල වළලු දාගෙන රගපානවා කියලා මගේ අම්මා කිව්වා. හැමවෙලේම ශ්‍රී දේවීගේ %නාගීනා^ චිත්‍රපටය දාලා දෙන්න කියලා ගෙදර අයට කරදර කරලා තියෙනවා. ඊට පස්සේ ඒකේ ගීත වලට මම නටනවා කියලා පවුලේ හැමෝම කියනවා. ඉතින් මම ලොකු වුනාම නිළියක් වෙයි කියලා ඒ කාළේ ඉඳලා මගේ ගෙදර අය විශ්වාසෙයන් ඉඳලා තියෙනවා. නමුත්, කාලෙත් එක්ක ඒ ආසාව මගෙන් මගහැරුනා. ඔය අතරෙදි මම කොළඹින් බදුල්ලට යනවා අම්මගේ ගමට එහෙ හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල්වෙලා ඉගනුම් කටයුතු කරගෙන යද්දි පාසල් වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා. එතකොට ආයෙත් ආසවක් ඇතිවුණා ආයෙත් මට රංගන ශිල්පිනියක් වෙන්න. ඒත් මම අවස්ථාවන් පස්සේ හොයාගෙන ගියේ නෑ ඉබේම වගේ මට රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ ඒක මගේ වාසනාවට සිදුවන දෙයක්.
වර්තමාන රංගන ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම, කලා ක්ෂේත්රය හොඳයි. ඒත් විවිධ පුද්ගලයන් කරන දේවල් නිසා මිනිස්සු මේ ක්ෂේත්රය දිහා වපරඇහින් බලන්න පුරුදු වෙලා තියනවා. මම නම් හිතන්නේ තමන් මේ ක්ෂේත්රය තුළ හරියට ඉන්නවනම් මේක කෙනෙක්ට හොඳම තැනක්. ඒ වගේම හැමෝටම ලබන්න බැරි දෙයක් කියලා.
දැනට ඔබ දායක වෙලා තියෙන කලා නිර්මාණ මොනවද?
මම වේදිකා නාටය ජයසේකර අපොන්සු මහතාගේ තටු, සකෝ, සේනා සුනිල් ශ්‍රී මහතාගේ ඉලංදාරී, ගත්තොත් දෙන්නෑ සම්බන්ධ වෙලා තියනවා. ටෙලි නාට්‍යය ගත්තොත් චායා, නීලපබලු , අපේක්ෂා, මන්දාරමින් එහා, කිරුළී ,ඉරුදේව , හතේ කල්ලිය, නාටක මාරයි ටෙලි නාට්‍යය සඳහා රංගනයෙන් දායක වෙලා තියනවා. ඉදිරියේදී තව අලුත් ටෙලිනාටය තුනකටම ආරාධනා ලැබිලා තියනවා. මේ නිර්මාණවලට අමතරව මම රංගනයෙන් දායක වුණ ශෙලීනා, ගුත්තිල චිත්‍රපට දෙක මේ වසරේදී තිරගත වෙන්න නියමිතයි. තව චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙන්න ආරාධනා මේ වනවිට මට ලැබිලා තියෙනවා.
රංගන ශිල්පිනියකට අද තියෙන පිළිගැනීම කොහොමද?
ඇත්තටම, අද ඉස්සර තරම් පිළිගැනිමක් ලැබෙන්නේ නෑ. මම හිතන්නේ ඒත් අපිට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඔවුන්ගේන් ලොකූ පිලිගැනිමක් ලැබෙනවා. ඒත් මම හිතන්නේ 80 90 දශකයේ තිබ්බ පිළිගැනිම දැන් නිළියකට ලැබෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ. එකට ඉතින් ගොඩක් හේතු කාරණාත් තියනවා.
කලා ක්ෂේත්රය තුළ දිගටම රැඳෙන්නද අදහස?
දැනටනම් මේක තමයි මගේ වෘත්තීය ඉදිරියේදි ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියනවා. නමුත්, දිගටම මේ ක්ෂේත්රය තුළ වැඩ කරනවා. මොකද, මේක මම ආසාවෙන් කරන වෘත්තියක් නිසා.
උදව් කරපු අයත් මතක් කරමු?
උදව් කරපු අයනම් ගොඩක් ඉන්නවා නම් වලින් කියන්න ගියොත් මතක් කරන්න බැරිවුනු අයගේ හිත් රිදෙයි ඒ නිසා මගේ දෙමව්පියේ ඇතුලු මට මේ ක්ෂේත්රය තුළ රැදෙන්න, වැඩකරන්න උදවු කරපු හැමෝම මතක් කරනවා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - දුලීත ශ්‍රීනාත්