ඉවසීමෙන් යන ගමන දිගු ගමනක් එක්කන් යයි
මේ දිනවල ‘හිරු මෙගා ස්ටාර්’ රියැලිටි වේදිකාව තුළ ජනප්‍රියත්වයක් ලැබූ තැනැත්තියක ලෙස රශිප්‍රභා සංදීපනී නම් යොවුන් නිළිය හැඳින්විය හැකිය. වේදිකාව තුළින් ටෙලිනිර්මාණ සඳහා පිවිසි ඇය මේ වන විට ටෙලිනාට්‍යය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් ලබා තිබේ. සිය කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙවර ‘සාරවිට’ තරු කතාබහට මෙලෙස එක්විය.
මේ දවස්වල හරි කාර්යබහුලයි නේද?
ඔව් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මොකද මේ දවස්වල ටෙලිනාට්‍යය තුනක වැඩකටයුතු සිදු වෙනවා. ඒවා ඔක්කොම අලුත් ටෙලිනාට්‍යය. ඉස්සරහට විකාශය වෙන්න තියෙන ඒවා. එතකොට මේ දවස් ටිකේ වැඩිපුරම කාර්යබහුල වෙලා තියෙන්නේ ‘මෙගා ස්ටාර්’ එක්ක. ‘මෙගාස්ටාර්’වල අවසාන 10 දෙනාට ඇවිල්ල ඉන්නවා. ඉතිං ඒකත් එක්ක ගොඩක් පුහුණු වීම කරන්න වෙලා තියෙනවා. ඒ දේවල් නිසා කාර්යබහුල වෙලා කියලා කියන්න පුළුවන්.
රියැලිටි අත්දැකීම ලැබෙන්නේ පළමු වර නෙමෙයි නේද?
මේ මගේ දෙවැනි රියැලිටි අත්දැකීම. හැබැයි මේ රියැලිටි තරගය විශේෂයි. මොකද පළමු රියැලිටි තරගයේ මම තරග කළේ කණ්ඩායම් වශයෙන්. හැබැයි මේ තරගයේ අපි තරග කරන්නේ යුගල වශයෙන්. ඉතිං අපි තරග කරන අනිත් තරගකරුවන් අතරින් කැපුණොත් මේ තරගාවලියෙන්ම ඉවත් වෙනවා. ඉතිං මේ තරගාවලිය පුරා ලොකු තරගයක් තිබුණා. ඉතිං ගොඩක් ප්‍රවීණ අය පවා මේ තරගයෙන් ඉවත් වුණා. ඒක තරගයේ ස්වභාවයත් එක්ක තමයි වුණේ. නමුත් හරි සතුටුයි, දක්ෂතාවෙන් ලොකු තැනක් ලබා ගැනීමට හැකියාව ලැබුණු එක ගැන. අනික සජීවී ප්‍රේක්ෂකයන් ඉදිරියේ තමයි අපි ඉදිරිපත් කරන්නේ. මිනිස්සු කැමැති දේ කරන, ඔවුන්ගේ ආකර්ෂණය ලබා ගන්න එක ඇත්තටම අමාරුයි. සාධාරණ විනිශ්චයක් නිසා දක්ෂතාවට ඉඩක් ලැබුණා කියා විශ්වාස කරනවා. ගායන, නර්තනය කියන දේ උපරිම මට්ටමෙන් කරන්න ඕන තරගයක්. ඉතිං මම හරි ආසාවෙන් බාරගෙන කරනවා. ඒ වගේම තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබුණා. මගේ නර්තනය පැත්තෙන් රසිකයන් දැක්කේ නැති ලොකු කැපෑසිටි එකක් මේ හරහා දැක බලාගන්න පුළුවන් වුණා. ගොඩක් අය අහනවා, මම නර්තන ශිල්පිනියක් වෙලා රංගනයට ආවද කියලා. ඇත්තටම කිව්වොත් මම නර්තනය කියන දේ ඉගෙන ගෙන නැහැ. ඉතිං ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දී ගොඩක් සතුටුයි.
රියැලිටි තරගයක් තුළ ලැබෙන ප්‍රතිඵල හෝ විනිශ්චය සාධාරණව සිදු වෙනවාද?
ඇත්තටම මම ඉන්න තරගාවලිය ඇතුළෙ සාධාරණ විනිශ්චයක් ලැබුණා. ‘හිරු මෙගා ස්ටාර්’වල හැම තිස්සේම සාධාරණ විනිශ්චයක් ලැබුණා. ඒ නිසා තමයි අපේ දේවල් හැමෝටම දකින්න ලැබුණේ. අපේ ඉදිරිපත් කිරීම් කරන්නේ සජීවී ප්‍රේක්ෂකයන් ඉදිරියේ. ඒ අය තමයි අපට වෝට් එක දෙන්නේ. ඒ නිසා සාධාරණ විනිශ්චයක් ලැබුණා කියලා කියන්න පුළුවන්.
මෑත කාලයේදී රියැලිටි කියන දේ රැල්ලක් වුණ නිසා බොහෝ අය එය ප්‍රතික්ෂේප කළා. ඉතිං ඒ වගේ කාලවකවානුවක රියැලිටි අත්දැකීමක් ඔස්සේ රසිකයන් අතරට යෑමට හැකියාව ලැබීම ගැන ඔබේ අදහස?
මෙහෙමයි. රියැලිටි තරගාවලියක් තුළදී තරගකරුවා දැන ගන්න ඕන යම්කිසි ප්‍රමිතියක් තියාගෙන තරග ඉදිරිපත් කරන්න. ඒ දේ නැති වුණාම තමයි ප්‍රේක්ෂකයන් ඉදිරියේ අපිව ෆේල් වෙන්නේ. ඒ කියන්නේ, ප්‍රේක්ෂයන් ඉදිරියට තමයි අපේ ඉදිරිපත් කිරීම් යන්නේ. එතකොට රියැලිටි තරගයේ ස්වභාවය මොන විදිය වුණත් තමන්ගේ ඉදිරිපත් කිරීමට ප්‍රමිතියක් දෙන්න, වටිනාකමක් දීලා ඒක හරියට කරන්න පුළුවන් නම් තමන්ගේ දක්ෂතාව පෙන්වන්න හොඳම තැනක් කියලා කියන්න පුළුවන්. තෝරා ගැනීමේ ඇති වන ගැටලු නිසා තරගයෙන් ඉවත් වීමට සිදු වෙනවා. ඉතිං නුවණැති තෝරා ගැනීමක් සහ ඒකට වෙන කැපවීමත්, මහන්සියත් එක්ක රියැලිටි තරගය හරහා තමන්ට අවශ්‍ය, තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය තමන්ට ලැබෙනවා.
ජීවිතේ හොඳම දේ හෝ කාලය මගහැරුණා කියලා හිතෙන්නේ නැද්ද?
මම හිතන්නේ, එක දිගට වැඩ වැටෙන කාලයක් තියෙනවා. මේ අපේ තරුණ කාලේ. මහන්සි වෙලා වැඩ කළොත් තමයි අපට තැනක් හදා ගන්න පුළුවන් වෙන්නෙ. මම අවුරුදු 06ක් මේ ක්ෂේත්රය තුළ ඉදිරියට ආවේ මගේ දක්ෂතාවෙන්. මට අනිවාර්යයෙන්ම දක්ෂතාව පෙන්වන්න කැප කරලා වැඩ කරන්න වෙනවා. එහෙම නොවුණොත් මගේ ඉදිරි ගමනත් මට නැති වෙනවා. ඒ නිසා මගේ ගමනේ ඉදිරියට යන්න නම් මේ විදියට මහන්සි වෙන්න වෙනවා.
සිනමාවට කැමැත්තක් නැද්ද?
ඇත්තටම සිනමාවට කැමැතියි. නමුත් මේ වන කොට ලැබිලා තියෙන සිනමා නිර්මාණ මට ගැළපෙන්නේ නැහැ කියලා හිතෙනවා, යම් යම් මගේ පෞද්ගලික හේතුත් එක්ක. මගේ පළමුවැනි සිනමා නිර්මාණය ටිකක් හොඳ එකක් වෙනවා නම් මම කැමැතියි. ඉතිං ඒවගේ නිර්මාණයක් ලැබුණොත් මම භාර අරගෙන කරනවා.
අවුරුදු 06ක කාලයක් තුළ ක්ෂේත්රය ඔස්සේ ලැබුණු දේවල් ගැන දකින්නේ කොහොමද?
අවුරුදු 06ක් කියන්නේ ලොකු කාලයක්. සමහර අය දන්නෙත් නැතුව ඇති මම අවුරුදු හයක් තිස්සේ ක්ෂේත්රයේ ඉන්නවා කියලා. මේ අවුරුදු 06 දී මම හෙමින්හෙමින් ආපු කෙනෙක්. මගේ පවුලේ කවුරුත් රංගන ක්ෂේත්රයේ නැහැ. එක ටෙලිනාට්‍යයක් කළොත් ඒ දේ බලලා තමයි මාව අනෙක් නිර්මාණයට දායක කර ගත්තෙ. බොහොම නිහඬ සහ හෙමින් ගමනක් තමයි මට තිබුණේ. ඒ කාලය ගොඩක් ඉවසුවා, සමහරක් අසාධාරණකම් දැක්කා. ඒ හැම දෙයක්ම ජීවිතේ අත්දැකීම් කරගෙන තාමත් ක්ෂේත්රයේ ඉන්නවා. ඒ කාලයේ මාත් එක්කම ආපු අය එක පාරටම ජනප්‍රිය වුණත් දැන් නැහැ. මම හිතනවා ඉවසීමෙන් යන ගමන ලොකු කාලයක් සහ දිගු ගමනක් එක්කන් යයි කියලා.
ආසාධාරණකම්, කැපිලිකෙටිලි නිසා ක්ෂේත්රය එපා වීමක් නැද්ද?
යම්යම් අසාධාරණකම් වෙද්දි එහෙම හිතුණු අවස්ථා තියෙනවා. නමුත් දක්ෂතාවෙන් මේ ක්ෂේත්රයේ ඉදිරියට යන්න ඉවසීමේ ශක්තිය තියෙන්න ඕන. මුලින්ම ජනප්‍රිය වෙන්න හදිස්සියක් තියෙනවා නම් ඒ දේ කරන්න බැරි වෙයි. හැම තිස්සෙම මට ඕන වුණේ හොඳ නිර්මාණ කරන්න. මම රංගනය ඉගෙන ගෙන තියෙනවා. ලංකාවේ ප්‍රධාන පෙළේ, එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍ය 05ක ප්‍රධාන රංගනය ඉදිරිපත් කරපු කෙනෙක්. මම මේ ක්ෂේත්රය ගැන නොදැන ආපු කෙනෙක් නෙමෙයි. ඉතිං ඒ හින්දා මම නිතරම උත්සාහ කරන්නේ මගේ දක්ෂතාවට කැපී පෙනෙන දෙයක් කරන්නයි.
Dilan Chryshantha
Photographer : Pubudu Dissanayaka
Hair ,make up & costumes designed by : Isha Gayani Kulatunge from Isha's Hair & Beauty