ඇත්තටම මේ ලැබෙන ආදරය දෙවියන් දුන්න වටිනම තෑග්ගක් මට
නිරූපණයට මෙන්ම නිවේදනයට දක්ෂ කලා ශිල්පිනියක් ලෙස සෙව්වන්දි හිටිබණ්ඩාර හැඳින්විය හැකිය. මේ වනවිට විවිධ කලා නිර්මාණ රැසටම සිය දායකත්වය සපයා ඇති සෙව්වන්දි ජනප්රිය නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ලෙසද කටයුතු කරන ශෂිනි ලක්ෂි හිටිබණ්ඩාරගේ සහෝදරියක්ද වෙයි. අද "සාරවිට" තරු කතා බහ තුළ අපි සෙව්වන්දිට මෙසේ ඉඩක් වෙන් කළේමු.
සෙව්වන්දි ෆිල්ඩ් එකට එන්නේ කොහෙමද?
2016 වසරේදී. ෆීල්ඩ් එකට එන්නෙ මගේ අක්කා ශෂිනි හින්දා. ෆිල්ඩ් එකට ආපු මුල් කාලේ ඉදලා අද වෙනකම් හැමදේකදිම ඉතින් අක්කා තමයි පස්සෙන්ම හිටියේ. අදටත් එහෙම්මමයි.
ඔබ නිරූපිකාවක්ද? නිවේදිකාවක්ද?
දැනට මම නිරූපිකාවක් ලෙස වැඩ කටයුතු කරගෙන යනවා. ඒක මගේ විනෝදාංශය. නිවේදන කටයුතු ඒ අතරතුර කරනවා. ඒ අංශයෙනුත් අක්කා වගේම ඉස්සරහටම එන්න ගොඩක් කැමතියි.
වඩාත් කැමති මොන ෆිල්ඩ් එකටද?
එහෙම විශේෂයක් නැහැ. දෙකටම ගොඩක් කැමතියි. ගොඩක් ආසාවෙන් තමයි ලැබෙන හැමදේකටම සහභාගි වෙන්නේ.කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම කිව්වොත් කලාව කියන්නෙ හරි සුන්දර දෙයක්. කලාවට තිබ්බ කැමැත්ත නිසාම තමයි මම ඒ පැත්තට යොමු වුණේ. කලාව වෙනුවෙන් කරන්න පුළුවන් යම් දෙයක් තියනවනම් ඒක පුළුවන් උපරිමයෙන් මම කරන්න බලාපොරොත්තුව වෙනවා.
මිනිස්සුන්ගේ පිළිගැනිම කොයි වගේද?
ඇත්තටම ඒක දෙවියො දුන්න ලොකු තෑග්ගක්. මට ඕනි ජනප්රිය වෙන්න නෙවේ. මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න පුළුවන් චරිතයක් වෙන්න. ගොඩක් අයට තරු වෙන්න පුළුවන්. ඒ උනාට මිනිසුන්ගේ හදවතට කතා කරන්න පුළුවන් ඉන් අතලොස්සකට විතරයි. අක්කා නිසා මේ අංශයේ ඉන්න හැම කෙනෙක්ම වගේ මගේ පවුලේ හැමෝටම ගොඩක් ආදරේ කරනවා. ඇත්තටම මේ ලැබෙන ආදරය දෙවියන් දුන්න වටිනම තෑග්ගක් මට.
රඟපාන්න අදහසක් නැද්ද?
රගපාන්න ගොඩක් අය කතා කළා. ඒ උනාට තෝර බේරගෙන තමයි චරිත වුණත් මම භාර ගන්නේ. ගොඩක් අංශ නියෝජනය කරන හින්දා ඒ පැත්තට පොඩ්ඩක් ඉඩක් දෙනවා මදි මම. හොද චරිතයක් ලැබුනොත් ඒ චරිතෙට හොද සාධාරණයක් කරලා ඉස්සරහටම එන්න කැමැත්තක් තියනවා.
අක්කා නිසා ඔයාගේ නමක් හැදුනා කියලා හිතෙනවාද?
අනිවාර්යයෙන්ම ඔව්..අක්කා නැත්තන් සෙව්වන්දි කියලා කෙනෙක් කලා ක්ෂේත්රයේ නැතිවෙන්න තිබ්බා. ඒ වගේම මගෙ අයියා. මේ ෆිල්ඩ් එකේ ඉන්න ඕනි කොහොමද හොද නරක කියලා දීලා හොදට ඉන්නෙ කොහොමද ඉන්නෙ කියලා ඒ දෙන්නා තමා ඔක්කොම කියලා දෙන්නෙ අදටත්. අම්මා තාත්තට සම කරන්න පුළුවන් ආදරණිය අක්කා කෙනෙක් හා අයියා කෙනෙක් මට ඉන්නේ.
ඉදිරි ඉලක්ක මොනවද?
පාසල් යන කාලෙදි සංගීතය විශයට ගොඩක් ආස කළා. සංගීතය හදාරමින් පවතිනවා. ලොකු වෙනසක් එක්ක ඒ අංශයෙනුත් ඉස්සරහටම එන්න බලාපොරොත්තුවක් තියනවා. නිරූපන අංශය සහ නිවේදනයත් එක සේම කරගෙන හොද නමක් තියාගෙන හැම දෙනෙක්ගෙම මතකයෙ රැදෙන කෙනෙක් වෙන්නයි මට ඕනි. ඒ දේ කොහොමහරි මම කරනවා. බලාපොරොත්තු නම් ගොඩයි. ඒවා හැබෑ කරගනිමින් පවතිනවා.