ඇත්තටම මිනිස්සු බලන්නේ නම් වපර ඇහැකින් තමයි
නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට කලාවට එකතු වුණු නවක ශිල්පිනියකට අද අප සාරවිට ඉඩක් වෙන් කරන්න හිතුවා. ඇය නමින් තාරුකා. තාරුකා මේ වනවිට ටෙලි නාට්‍ය, රූප රචනා ඇතුළු නිර්මාණ රැසකට දායක වෙලා තිබෙනවා. රංගනයට වැඩි කැමැත්තක් දක්වන තාරුකා අපට සම්බන්ධ වුණේ මේ විදිහටයි.
මගේ නම තාරුකා හෙට්ටිආරච්චි. මගේ වයස අවුරුදු 23යි. කලා ක්ෂේත්‍රයට නිරූපණයෙන් සහ රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා.
නිරූපණයට සම්බන්ධ වෙලා කොච්චර කාලයක් වෙනවාද?
දැනට අවුරුද්දක් වගේ ඇති.
මුලින්ම සම්බන්ධ වුණේ මොනවටද?
ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කලින් අවුරුදු දෙකකට විතර උඩදි funky dirtලගේ ගීතයක රූප රචනාවකට දායක වුණා. ඉතින් ඊටපස්සේ තමයි නිර්මාණවලට ආරාධනා ලැබුණේ.
නිරූපණයට සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබුණාද?
මොඩ්ලින් කරන්න ලොකු ආශාවක් නැහැ. මම වැඩියෙන්ම කැමති රඟපාන්න තමයි.
මේ වනවිට රංගනයෙන් දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
මේ දිනවල විකාශය වන ඔබ නිසා, හුස්මක් තරමට, කන්තෝරු මෝරු ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා. එතකොට සිද්ධාර්ථ ගෞතම, අහස් මාලිගා වැනි නාට්‍ය දෙකේත් හිටියා. ඒ නාට්‍ය දැන් විකාශය වෙලා ඉවරයි. ඊට අමතරව පොහොය නාට්‍ය, මියුසික් වීඩියෝවලටත් දායක වෙලා තිබෙනවා.
කලාවට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?
පොඩි කාලේ ඉඳලා ආශාවක් තිබුණා. නමුත් අවස්ථාවක් නම් ලැබුනේ නැහැ. funky dirtලාගේ සින්දුවෙන් පස්සේ වැඩවලට ආරාධනා ලැබුණේ.
නිර්මාණවලට ආරාධනා ලැබෙද්දි ආශාව වැඩි වුණාද?
ඇත්තටම ඔව්. බ්‍රයිඩ්ල් ෂූට්, ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබෙද්දි ඇත්තටම මේ ක්ෂේත්‍රයේ ඉස්සරහටම යන්න ආශාවක් ඇතිවුණා.
ගෙදරින් බලපෑමක් ඇතිවුණේ නැද්ද?
නැහැ. අම්මයි තාත්තයි හැමදේටම උදව් කරනවා.
නවකයෙක් විදිහට කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
කලාව හොඳයි. ඇත්තටම අපට කලාව ගැන ඉගෙනගන්න දේවල් ගොඩක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ලොකු හදිස්සියක් නැහැ. හැමදේම ඉගෙනගෙන පියවරෙන් පියවර ඉස්සරහට යන්න තමයි කැමති.
මේ ක්ෂේත්‍රය ගැන මිනිස්සු හිතන්නේ වෙනස් විදිහකට නේද?
ඇත්තටම මිනිස්සු බලන්නේ නම් වපර ඇහැකින් තමයි. නමුත් ඇත්තටම කලාවට එකතු වුණාට පස්සේ හිතුණා මිනිස්සුන්ගේ චෝදනා බොරුයි කියලා. යම් යම් වැරදි තියෙනවා. තමන් තැනකට ගිහිල්ලා ඉන්න විදිහ ගැන තමන් දැනගන්න ඕනේ.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මම රැකියාවක් කරනවා. ඊට අමතරව රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරනවා. ලැබෙන නිර්මාණ බාරගෙන කරනවා. මේ දේවල් කරගෙන කලාවෙනුත් දුරක් යන්න බලාපොරොත්තු වෙනවා.
ආපු ගමන ගැන තෘප්තිමත්ද?
ඔව්. මේ අවුරුද්දක් ඇතුලත ආපු ගමන ගැන මම තෘප්තිමත්.
කැළුම් දේවින්ද