ඇත්තටම මම ආසයි රඟපාන්න
නවක නිරූපණ ශිල්පිනියක් වන සංජනාව සාරවිට කතාබහකට සම්බන්ධ කරගන්නට සිතුවේ ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තුවෙන් ඉන්න නිසායි. ඒ වගේම ඇය රංගනයට පිවිස රංගනය තුළිනුත් දිගු ගමනක් යෑමට සිහින දකින නවක ශිල්පිනියක්. ඉතින් සංජනා අපිට පිළිතුරු දුන්නේ මෙහෙමයි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම සංජනා පැලවත්ත. මගේ වයස අවුරුදු 22යි. මගේ පදිංචිය මොරටුවේ. මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා.
නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම දැනට වැඩ කරන්න පටන් අරගෙන අවුරුද්දක් විතර වෙනවා. මම පැජන්ට් එකකට අයදුම් කළා. පැජන්ට් එකකින් දෙයක් ඉගෙනගන්න ආශාවක් තිබුණා. මම පොඩි කාලේ ඉඳලාම මේ ෆීල්ඩ් එකට ගොඩක් ආසයි. ඒ විදිහට තමයි වැඩ කරන්න එකතු වුණේ.
පැජන්ට් එකෙන් ජයග්‍රහණය කළාද?
නැහැ. ඒ පැජන්ට් එකෙන් ජයග්‍රහණයක් ලැබුණේ නැහැ. මොකද ඒ පැජන්ට් එකේ යම් යම් අසාධාරණකම් සිදු වුණා. සමහර සුදුසුකම් තිබුණු අයට සුදුසු තැන් ලැබෙන්න ඇති කියලා හිතනවා. නමුත් පැජන්ට් එක හරහා යම්කිසි දෙයක් මම ඉගෙන ගත්තා.
පැජන්ට් එකකින් අසාධාරණකම් සිදුවුණා කියලා කිව්වනේ. ඒ නිසා තවත් පැජන්ට් එකකට සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
ඇත්තටම මම ආයෙත් පැජන්ට් එකකට අයදුම් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මොකද මට මේ පැජන්ට් එක නිසා පැජන්ට් වලට යන එක එපා වුණා. අපි සල්ලි වියදම් කරලා ඒකෙදි අසාධාරණයක් වෙනවා නම් තේරුමක් නැහැනේ. ඒක නිසා මම ආස නැහැ පැජන්ට් එකකට ගිහිල්ලා මගේ කාලය සහ මුදල් නාස්ති කරගන්න.
මේ වනවිට දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
මම වැඩියෙන්ම කරලා තියෙන්නේ බ්‍රයිඩ්ල් ෂූට් තමයි. ඒ වගේම නීල පබළු නාට්‍ය නාට්‍යයටත් රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. තව මියුසික් වීඩියෝවකටත් ආරාධනා ලැබිලා තියෙනවා.
පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ගොඩක් උදව් කරනවා. මගේ තාත්තා නැහැ. මගේ අම්මා තමයි හැමතිස්සේම පස්සෙන් ඉන්නේ. ඒ වගේම මගේ නංගිලා දෙන්නගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.
නවකයෙකු විදිහට ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?
ඒක හොඳ ප්‍රශ්නයක්. අළුත් කෙනෙක් විදිහට මම දකින්නේ මේ ක්ෂේත්‍රය හරි හොඳ තැනක් කියලා. මම ක්ෂේත්‍රය ගැන දන්නේ සියයට දෙකක් වගේ පොඩි හරියක්. නමුත් ඒ ඇතුළේ මට පේනවා ඉස්සරහට යන්න පුළුවන් තැනක් කියලා. ෆීල්ඩ් එකේ වැරැද්දක් දකින්නේ නැහැ. නමන්ගේ නම තියාගෙන හිටියොත් ගොඩක් ඉදිරියට යන්න පුළුවන් සහ අපේ දක්ෂතා පෙන්වන්න පුළුවන් කියලා හිතනවා.
රංගනයට එකතු වෙන්න බලාපොරොත්තුවක් නැතිද?
ඇත්තටම මම ආසයි රඟපාන්න. මම හිතනවා ඒ පැත්තෙන් මට හැකියාවක් තිබෙනවා කියලා. හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා.
නිරූපණයට අමතරව වෙනත් දෙයක් කරනවාද?
ඔව්. මම රැකියාවක් කරනවා. ඊට අමතරව තමයි නිරූපණයට එකතු වෙලා තියෙන්නේ.
නිරූපණය පැත්තෙන් තියෙන ලොකුම හීනය මොකද්ද?
මම ආසයි බ්‍රයිඩ්ල් ෂූට් වලට. බ්‍රයිඩ්ල් ෂූට් පැත්තෙන් ඉදිරියටම යන්න තමයි කැමති.
උදව් කරපු අය කවුද?
ගොඩක් ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ අම්මාව සහ නංගිලා දෙන්නාව. නම් වශයෙන් නොකියූවත් මට වචනයකින් හරි උදව් කරපු හැම දෙනාටම මම ගොඩක් ස්තූතියි කරනවා සහ මතක් කරනවා.
කැළුම් දේවින්ද