ඇත්තටම අද දක්ෂ ළමයින්ට තැනක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1652

මෙවර හිරු අවුරුදු කුමරිය කිරුළ හිමි කරගත්තේ දිල්කි රණතුංගයි. ඇය කුඩා කාලයේ සිටම වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම දිල්කි තවමත් අධ්‍යාපනය හදාරනවා. ඊට අමතරව ඇය සමාජ සේවිකාවක් ලෙසද කටයුතු කරනවා. ඉතින් දිල්කි සාරවිට කතාබහට එක්වුණේ මේ විදිහටයි.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-05-27-ent-1653

මගේ නම දිල්කි රණතුංග. මගේ පදිංචිය රාගම. මම පාසල් ගියේ කොළඹ ලින්ඩසේ බාලිකා විද්‍යාලයට. මේ වෙද්දි මෘදුකාංග ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව අධ්‍යාපනය හදාරනවා. මෙවර හිරු අවුරුදු කුමරිය තරඟාවලියේ ජයග්‍රාහිකාව වුණේ මමයි.

 

නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

පොඩි කාලේ ඉඳලා මම වෙළඳ දැන්වීම්වලට සහභාගී වුණා. ඒ වගේම ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා. ඊට අමතරව මිස් වර්ල්ඩ් යුනිවර්සිටි කියන පැජන්ට් එකට මාව නිර්දේශ වුණා. ඒක තිබුණේ කොරියාවේ. නමුත් මගේ පෞද්ගලික හේතුවක් මත මට ඒ පැජන්ට් එකට සහභාගී වෙන්න බැරි වුණා. ඊට ලොකුවට නිරූපණයට සම්බන්ධ වුණේ නැහැ. මෙවර හිරු අවුරුදු කුමරිය තරඟාවලියේ ජයග්‍රහණයත් සමගම තමයි නැවතත් නිරූපණයට ආරාධනා ලැබෙන්නේ.

 

මේ වනවිට දායක වී තිබෙන නිර්මාණ මොනවාද?

ටී.වී කමර්ෂල් කිහිපයකට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණත් එයින් කිහිපයක්ම ප්‍රතික්ෂේප කළා. ඉගෙනීමේ කටයුතුත් සමග ලැබෙන හැමදේම බාරගන්න බැහැ. දවසින් ඉවර කරන්න පුළුවන් දේවල් තමයි ගොඩක්ම බාරගන්නේ.

 

හිරු අවුරුදු කුමරිය වීම ගැන දැනෙන්නේ මොකද්ද?

ඇත්තටම ඒක ලොකු සතුටක්. හිරු අවුරුදු කුමරිය දිනන්න කලින් ඒ ගැන ලොකුවට දැණුනේ නැහැ. නමුත් ඒක දැණුනේ කිරුළ දින්නාට පස්සෙයි. හිරු අවුරුදු කුමරිය තරඟාවලියෙන් පස්සේ යම් ප්‍රමාණයක් මාව හඳුනාගත්තා. කඩයකට ගියත් අද කවුරුමහරි කෙනෙක් මාව හඳුනාගන්නවා. දැන් කිරුළක් තිබෙන නිසා ඕනෑම කෙනෙක් ඉදිරියේ කතා කරන්න වුණත් පුළුවන්. සමාජ මාධ්‍ය හරහා නිතරම මට සුභ පැතුම් පණිවුඩ පවා එනවා.

 

මේ ජයග්‍රහණයට ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?

ඇත්තටම පොඩි කාලේ ඉඳලාම වෙළඳ දැන්වීම්වලට සහභාගී වුණාට තාත්තාගේ පොඩි අකමැත්තක් තිබුණා. නමුත් හිරු අවුරුදු කුමරිය වීමත් එක්ක එයාගෙන් දැන් ලොකු සහයක් ලැබෙනවා. ඒ වගේම අම්මාගෙනුත් පවුලේ හැමෝගෙන්මත් ලොකු සහයෝගය ලැබුණා.

 

අද නිරූපණය කියන දේ ඔයා දකින්නේ කොහොමද?

මට ලොකුවට ඒ ගැන කියන්න දන්නේ නැහැ. නමුත් මට වුණත් නිර්මාණයකට ආරාධනා ලැබුණාම මම මුලින්ම බලන්නේ එකේ අධ්‍යක්ෂවරයා කවුද කියලා. ඇත්තටම අද දක්ෂ ළමයින්ට තැනක් නැහැ. වෙන ක්‍රම හරහා අදක්ෂයෝ එන නිසා. සමහර වෙලාවට අපිටත් කතා කරලා කියනවා වැඩවලට එද්දි අම්මලා එක්ක එන්න බැහැ කියලා. එතකොට තේරෙනවානේ ඉතින් මොනවගේ දේකටද එයාලා කතා කරන්නේ කියලත්. ඒ දේවල් එතකොට ප්‍රතික්ෂේප කරනවා.

 

ඔබ සමාජ සේවා වැඩ කටයුතු කරනවා නේද?

ඔව්. මම විවිධ ව්‍යාපෘති කිහිපයක්ම කරනවා. පොඩි ළමයින්ට, ළමා නිවාසවල ඉන්න ළමයින්ට විවිධාකාරයෙන් උදව් උපකාර කරනවා. ගෙදර අයයි යාළුවොයි ඒ දේවල්වලට උදව් වෙනවා.

 

වෘත්තීයක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

නැහැ. වෘත්තීමය වශයෙන් ඉන්න නම් අදහසක් නැහැ. මම කලින් වැඩ කළේ බැංකු ක්ෂේත්‍රයේ. ඉගෙනීමේ කටයුතු නිසා රැකියාවෙනුත් ඉවත් වුණා. ඒ නිසා නිරූපණයත් පාර්ට් ටයිම් කරගෙන යනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මට උපාධිය අවසන් කරන්න තිබෙනවා. එතකොට මම නිවේදනය පැත්තෙන් ඉස්සරහට එන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ සඳහා මේ දවස්වල වැඩ කරගෙන යනවා. ඊට අමතරව මගේ සමාජ සේවා වැඩ කටයුතුත් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

 

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ පවුලේ අයව. එයාලා නිසා තමයි මේ ජයග්‍රහණය පවා ලැබුණේ. ඒ වගේම මගේ පාසල මතක් කරන්න ඕනේ. එහි ගුරුවරු සහ ළමයි. එතකොට හිරු නාලිකාවේ කාර්යමණ්ඩලය සහ නන් අයුරින් සහය දුන් හැමෝවම මම මතක් කරනවා.

 

කැළුම් දේවින්ද

 

2019-05-27-ent-1651