ආදරේ කියන්නෙ සැහැල්ලුවෙන් සතුටින් සිටින තැන
තිලිණි පෙරේරා වන මේ සුන්දර රුවැත්තිය ඔබට අමුත්තියක නෙවෙයි. ‘ලයිව් ඇට් එයිට්’ ප්රවෘත්ති නිවේදනයෙන් සහ රූපවාහිනි වැඩසටහන් නිවේදනයෙන් නිරන්තරයෙන් අපට හමුවන නිවේදිකාවකි. නමුත් අද ඇය නිවේදිකාවක පමණක් නොවෙයි. නීතිඥවරියක වන්නීය. නිවේදන ක්ෂේත්රයේදී අපට හමුවන එකම නීතිඥවරිය ඇය විය හැකිය. 2010 දී ප්රවෘත්ති නිවේදිකාවක ලෙස පැමිණි ඇය 2015 දී හොඳම ප්රවෘත්ති නිවේදිකාව ලෙස සුමති සම්මානය දිනාගත් අතර 2019 රයිගම් සම්මාන උළෙලේදී නිර්දේශිත නාම අතර වූවාය. මේ කතාබහ නීතිඥවරියක වූ ඒ සුන්දර නිවේදිකාව සමඟය.
• තිළිණිගෙ සම්පූර්ණ නම?
තිළිණි ලක්මාලි පෙරේරා. ඒත් භාවිත කරන්නෙ තිළිණි පෙරේරා කියලයි.
• ගම එහෙම කොහෙද?
හෝමාගම – ගොඩගම.
• කියමු පාසල් ජීවිතය ගැන?
නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවට ගියේ. සා/පෙළ සහ උසස් පෙළ කළේ සමුද්රදේවියෙන්. හැබැයි ඊට පෙර ගොඩගම සුභාරති කණිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත්වෙලා තමයි සමුද්‍රදේවි බාලිකාවට ආවෙ.
• පවුලේ විස්තර?
අම්මයි-තාත්තයි දෙන්නාම විශ්‍රාමිකයි. පවුලේ මමයි, අයියයි විතරයි.
• මොනවගේ අරමුණක් ඇතිවද ඉගෙනීම් කළේ?
කුඩා කාලයේ ඉඳලාම මට තිබුණේ නිවේදිකාවක වීමේ හීනයක්. ඒකට හේතුව මම දන්නෙ නැහැ. කුඩා කාලයේ ඉඳලාම ආස නිසා දක්ෂතාවයකුත් තිබුණා. ඒ හැර තවත් ආසාවන් කීපයක්ම තිබුණා. නිවේදිකාවකට අමතරව වෘත්තීය පැත්තකින් ඉහළට යන්න ඕනෙ කියන අරමුණ තිබුණා. අදටත් හිතන්නෙ එහෙමයි. නිතරම රූපවාහිනියේ පෙනී සිටිය යුතුය කියන අරමුණ විතරක් මට නැහැ.
•අද ඔබ නීතිඥවරියක් වුණේ ඒ විදියට හිතලා කටයුතු කළ නිසා වෙන්න ඇති?
ඒ වෙනුවෙන් මට මග කියූ අයත් හිටියා. ඒ අයගෙන් මට තේරුණ දේ තමයි, නිවේදිකාවක් විතරක්ම නොවී අධ්‍යාපනික අතින් සහ වෘත්තිය අංශයෙන් තැනක් හදාගත යුතුය කියලා.
• කොහොමද නීතිඥ වෘත්තිය?
මේ දිනවල නිතරම වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නෙ නීතිඥ වෘත්තියට.
• මොන වගේ නඩුවලටද පෙනී සිටින්නෙ?
ජනාධිපති නීතිඥ උපාලි සේනාරත්න මහතා යටතේ කනිෂ්ඨ නීතිඥවරියක ලෙස කටයුතු කරනවා. එතුමා අපරාධ නඩු සම්බන්ධයෙන් කටයුතු කරන්නෙ. මීට අමතරව ස්වෙච්ඡා සංවිධානයක් හා එක්වී කම්කරු නීති සම්බන්ධයෙන් වැඩ කරනවා.
• ඒ කියන්නෙ අනාගතයේදී සමාජ ක්‍රියාකාරිනියක වීමද අරමුණ?
ඇත්තටම බලාපොරොත්තුව නම්, මහාධිකරණ විනිසුරුවරියක වීමටයි. ඒ වෙනුවෙන් තමයි වැඩ කරගෙන යන්නෙ.
• ඇයි නීතිඥ වෘත්තියට හිත ගියේ?
මම හිතන විදියට ගැහැණු ළමයකුට සමාජයේ බියක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෘත්තියක්. ඒක මට කියා දුන්නේ මගේ ගුරුවරියක් වන හිටපු ප්රවෘත්ති නිවේදිකාවක් වන රත්නා පුෂ්පකුමාරි මහත්මියයි. අනෙක මගේ චරිත ලක්ෂණ අනුවත් ඒ වෘත්තියට ගැලපෙනවා කියලා හිතුවා. ඒ වගේම එම වෘත්තිය ඉගෙනීමටත් ආසා කළ නිසා. ඒ අරමුණ සඵල කරගන්න පුළුවන් වුණා.
• ඇයි රඟපාන්නෙ නැත්තෙ?
මම ඒ හැකියාව උරගා බලා නැහැ. ඒ හැරත් ස්වර්ණවාහිනියෙ ස්ථිර පදනම යටතේ සේවයේ යෙදෙන සේවකයෙක්. ඒ නිසා නිවේදන ක්ෂේත්රයේ හැර වෙනත් අංශවලට දායකවීමට අසීරුයි.
• රඟපෑමට ආරාධනා එහෙම ලැබෙන්න ඇති.
අධ්යක්ෂවරු දෙතුන් දෙනෙක් කතා කළා. ඒත් මට ඒ ගැන ලොකු ආසාවක් තිබුණෙත් නැහැ.
• කවුද මේ තිළිණි කියලා කිව්වොත්? මොන විදියෙ කෙනෙක්ද?
හිනාවෙලා සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් ඉන්න කැමැති කෙනෙක්. හැබැයි අසාධාරණ සිදුවීම් දකින විටදී නම් කට පියාගෙන ඉන්නෙ නැහැ. මට අදාළ නොවුවත් අනුන්ට වෙන අසාධාරණකම්වලදි ඒ වෙනුවෙන් කතා කරනවා. ඒ නිසා අපහසුතාවයට පත්වූ අවස්ථා පවා තියෙනවා. කා එක්ක හෝ හිත් නොහොඳක් වුණොත් ඒක හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නම් නෙවෙයි.
• ඒ කියන්නෙ හිත හොඳ කෙනෙක්?
වෙන්න ඇති.
• කොහොමද හිත හොඳ තිළිණිගෙ, ලස්සන ආදරේ?
අම්මා-තාත්තාගෙ ආදරය නොඅඩුව ලබන කෙනෙක් මම. ඉක්මනට හැමෝම එක්ක මිත්‍රශීලී වන නිසා හැමෝම මට ආදරෙයි කියලත් මම දන්නවා. ඒ අතරින් විශේෂ කෙනෙකුත් ඉන්නවා. ලබන වසරේ විවාහවීමට බලාපොරොත්තුව ඉන්නෙ.
• කොහොමද ‘ආදරය’ ගැන හිතන්නෙ
සැහැල්ලුවෙන්, සතුටින් සිටින තැන තමයි ආදරය තියෙන්නෙ.
• නිවේදන වෘත්තියේ ආරම්භයට යමු. මුල්ම මතකය ගැන කිව්වොත්?
මුලින්ම ළමා නිවේදිකාවක ලෙස ටී.එන්.එල්. සහ ටී.වී. ලංකා ආයතන දෙකේ වැඩ කළා. රත්නා පුෂ්පකුමාරි මහත්මිය තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නෙ. ඊට පසුව ජාතික රූපවාහිනියෙ ළමා පුවත් කිව්වා. එතැනින් පසුව 2010 දි ලයිව් ඇට් එයිට් වෙනුවෙන් ප්රවෘත්ති නිවේදිකාවක් ගන්නවා කියන දැන්වීම දැකලා ඊට අයැදුම් කළා. සම්මුඛ පරීක්ෂණ හතරකට සහභාගි වෙලා අන්තිමට එයින් තේරුණු එකම කෙනා මමයි.
• නිවේදිකා වෘත්තියේදී අමතකම නොවන පුවත් ඉදිරිපත් කිරීම් ගැන ආවර්ජනය කළොත්?
ගම්පහ ප්‍රදේශයේ ‘සේයා’ දියණිය ඝාතනය කළ පුවත කියවන්නට වීම හද සසල කරවූ අවස්ථාවක්.
• ප්රවෘත්ති ඉදිරිපත් කිරීමේදී හාස්‍ය මතුවූ, බෙහෙවින් සංවේදී වූ අවස්ථා තියෙනවද?
සේයාගෙ සිද්ධියේදී කඳුළු ආවා. විශේෂයෙන්ම පොඩි ළමයින්ට හානි වූ අවස්ථා ගැන පුවත් කියවද්දි ඒ විදිහට සංවේදී වෙලා තියෙනවා. බ්‍රේකින් නිව්ස්වලට කියූ පුවත් බොහෝමයක් තියෙනවා. භාරත ලක්ෂ්මන් ඝාතනය කළ පුවත කියන්නත් වුණා. ඒ ප්රවෘත්ති නිවේදනයට අමතරව මහ මැතිවරණය සහ 2015 ජනපතිවරණය වෙනුවෙන් විශේෂ විකාශයේදී නිවේදන කටයුතු කිරීමත් හොඳ මතකයන්.
• සාමාන්‍ය ජීවිතයේ වඩා දක්ෂ මොනවටද?
මම හිතන්නෙ කතාවටම තමයි.
• නිවේදනයට හැර වඩා දක්ෂ?
හොඳට උයන්න පුළුවන්. අපේ අම්මා කියන විදියට තුන වසරේ ඉඳලාම මම ඉවුම්-පිහුම්වලට ආසා කළ කෙනෙක්. සමහර විට මේ මොනවත් නොකළා නම් සූපවේදිනියක් වෙන්න තිබුණා. වයස 14 දී වතාවක් මම පැණි රොටි හැදුවා. මමම හොයා ගත්ත වට්ටෝරුවකට අනුව හදපු ඒ රොටි, ගෙදර අය ආසාවෙන් කෑවා. මම උයපු කෑමක් රස නැහැ කියලා නම් කවුරුවත් කියලා නැහැ. ඒ වගේම බිඳක්වත් අහක දාලත් නැහැ.
• ‘තිළිණි’ ස්පෙෂල් මොනවද?
එක් එක් රසට අනුව උයන බත් (රයිස්) වර්ග.
• ‘තිළිණි’ ජීවිතය කියන්නෙ මොකක්ද?
මම හිතන්නෙ දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලලා තමන් සතුටු වන දේ කරලා තමන්ගෙ යුතුකම තම පවුලට සහ සමාජයට ඉටු කරලා සතුටින් ජීවත්වීමයි.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ