ආදරය කියන්නෙ දැනෙන දෙයක්
වැඩිදුර ඉගෙනීම් කටයුතු ගැන හිතමින් මම හිටියෙ ගෙදර. ජොබ් එකක් ගැන හිතුවෙත් නැහැ. ඒ විදියට හිටපු මට තෝඩු නාට්‍ය නිසා බොහෝ දේ ජීවිතයට ලැබී තිබෙනවා. මේ නිසා බොහෝ පිරිසක් හඳුනාගන්න ලැබුණා. ඒ වගේම පේ්රක්ෂක ආදරය ලැබී තිබෙනවා. ඒ නිසා පෙරටත් වඩා මගේ ජීවිතය ගෙවෙන්නෙ සතුටින්.’’ තෝඩු නාට්‍යයේ ‘‘දිනිති’’ ගේ චරිතයට දායකව සිටින සෙව්වන්දි නයන්තාරා අද ඇයගේ ජීවිතය ගෙවෙන විදිය ගැන පවසන්නේ ඒ විදියටයි. ලස්සන ඇස් ඇති ඇය සඳැල්ල සමඟ පිළිසදරකට එක්වුණේ මේ විදියටයි.
සෙව්වන්දි කියන්නද, නයන්තාරා කියන්නද?
සෙව්වන්දි තමයි හැමෝම වගේ කියන්නෙ.
කොහොමද මේ දිනවල වැඩ කටයුතු. හරිම හොඳින් ගෙවෙනවා. දිගටම ෂූටිං යනවා එනවා.
දැනට රඟපාන්නෙ තෝඩු නාට්‍යයේ විතරද?
දැනට ‘‘දිනිති’’ ගෙ චරිතය විතරයි. තවත් නාට්‍යයක් පටන් ගන්න තියෙනවා.
සෙව්වන්දි නයන්තාරා දිනිති වෙච්චි නිසා ජීවිතයේ වූ වෙනස මොකක්ද?
සෙව්වන්දි නයන්තාරා කියන චරිතයට අද බොහෝ දෙනා ආදරය කරන්න පටන් ගෙන. ඒනිසා ජීවිතයට දැනෙන්නෙ වෙනසක්.
මේ නිසා විශේෂයෙන් හමුවූ අයත් ඇති?
විශේෂිතම අය ලෙස තෝඩු නාට්‍ය කණ්ඩායම නම් කරන්න පුළුවනි. මගේ ජීවිතයට ගොඩාක්ම විශේෂ ඒ පිරිසයි. අපි හරියට එක පවුලක් වගෙයි.
තෝඩු දිනිති වෙච්ච නිසා බොහෝ දෙනෙක් ආදරය කරනවා කිව්වා. ඒ අතරින් විශේෂ කෙනෙක්ගෙ ආදරයක් ලැබෙනවත් ඇති?
තවම නම් එහෙම නැහැ.
ආදරණීය යෝජනා එහෙම එනවා ඇති?
ඒවා ඉතින් සාමාන්‍ය දේවල්නෙ.
හිත ගිය ආදරයක්?
තවම එහෙම වෙලා නැහැ. කවදාහරි මට ආදරය කරන කෙනා ලැබේවි.
හිත තියෙන්නෙ ක්ෂේත්රයේ කෙනෙක් ගැනද?
බොහෝ විට ක්ෂේත්රයෙන් පිටස්තර කෙනෙක් වේවි. ක්ෂේත්රයේම කෙනෙක් වුණාම සමහර විට පොඞ්ඩක් හරි ඊර්ෂ්‍යාව වගේ ඇති වෙන්න පුළුවනි. තව කෙනෙක් එක්ක රඟපාද්දී සමහර විට ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවනි. ඒ නිසා මට ආදරය කරන කෙනාගෙ ආදරය ලැබෙන්නෙ මටම නම් ප්‍රශ්නයක් නැහැ.
කෙනෙක් ආදරය කරනවා කියලා දැනෙන්නෙ කොහොමද?
ආදරය කියන්නෙ කොහොමටත් දැනෙන දෙයක්. ආදරය කරන කොට දැනෙන කෙනා අපේ ජීවිතයේ ගමනට තෝරා ගන්නවා. ඒක තමයි විදිය.
සෙව්වන්දිට කවදාවත් ආදරය දැනිලා නැද්ද?
ආදරය දැනිලා තියෙනවා. කරලත් තියෙනවා. ජීවිතයට ආදරය එනවා යනවා. ඒ වගේම නොහිතන විදියට ආදරය නැතිවෙලා යනවා. ජීවිතයේ හැටි එහෙම තමයි.
ඒ කියන්නෙ සෙව්වන්දි විරහව විඳලා තියෙනවා?
ඔව් ඉතිං.
කොහොමද විරහව දරාගත්තෙ?
දරාගන්න වෙනවනෙ. සමහර විට දුකට ඇඬෙන්නට පුළුවනි. ඒ වගේම දුක නැති කරගන්න අපේ ජීවිතය වටා සිටින සමීපතමයින් එක්ක කතා කරලා එයාලගෙ හොඳ අත්දැකීම් අපේ ජීවිතවලට අරගන්නට ඕනෑ.
ආදරේ කියන්නෙ අවසානයේ දුකක් නම්?
මං කිව්වෙ, දුකක් නම් විරහව හමුවෙ අඬනවා. තනියම ඉන්නවා. කල්පනා කරනවා. ස්වභාවය එහෙමනෙ. කාලය විසින් ඒ දුක නැති කරලා දානවා.
තෝඩු නාට්‍යයේ දිනිති සහ සෙව්වන්දි අතර ගැලපීම සසඳන්නෙ කොහොමද?
දිනිති බොහෝම සාමකාමී චරිතයක්. එයා ගොඩක්ම ඉවසන චරිතයක්. මම නම් ඒ තරමටම නැහැ. දිනිති තරමට අහිංසක චරිතයක් නෙවෙයි. වැරැුද්දක් කියන්නට නැති තරමටම දිනිති හොඳ චරිතයක්. දිනිතිගෙ ජීවිතයෙන් මගේ ජීවිතයට ගන්න තියෙන දේ බොහොමයි.
දිනිති ළඟ නැති ඔබ ළඟ ඇති විශේෂ ගුණාංගයක් ගැන කිව්වොත්?
මං ගාව නැති විශේෂ ගුණාංග තමයි දිනිති ළඟ තියෙන්නෙ.
සැබෑ ජීවිතයේ ඔබගෙ නම සෙව්වන්දි වෙනුවට දිනිති නම්? ඒ නමට කැමතිද?
මේ දිනිතිගෙ නම මට වැදගත් වෙන්නෙ එය මගේ ජීවිතයේ ප්‍රථම රංගනය නිසයි. ඒ හැරෙන්නට මගේ සැබෑ නාමයට තමයි මම ආදරේ.
සැබෑ ජීවිතයේ දැනෙන විදිය මොනවගේද?
අද මගේ ජීවිතයේ ලොකු වෙනසක් වෙලා. මගේ ජීවිතයට ආදරය කරන පිරිස අද බොහෝමයි. ගෙදරට වෙලා කිසිම වැඩක් නොකර හිටපු මම අද කාර්යබහුල වෙලා. වෙනස් වෙච්ච ඒ ජීවිතයට පෙරටත් වඩා අරුතක් ගෙනදීම මගේ අරමුණුයි. අද මගේ ගෙදර අම්මා, තාත්තා, මල්ලිලා දෙන්නා, නෑදෑයින් ඇතුළු හැමෝම සතුටු වෙනවා. එයාලව සතුටු කරවීමට ලැබීමත් පිනක්. එදා මේ ක්ෂේත්රයට එනවට තාත්තා කැමති වුණේම නැහැ. ඒත් අද තාත්තා, සිටින්නේ හරිම සතුටින්. එයාලා මම රඟපාන නාට්‍යය හරිම ආසාවෙන් නරඹන්නේ.
සෙව්වන්දිගෙ අධ්‍යාපන කටයුතු දැන් කොහොමද?
ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධිය ඉවර කර ගන්න ඕනෙ. ඒ ගැනත් හිතනවා.
රඟපෑම හැර වෙන මොනවටද වඩා දක්ෂ?
දක්ෂ කෙසේවෙතත් මගේ ප්‍රියතම විනෝදාංශය සාප්පු සවාරියේ යෑමයි. සපත්තු, ගවුම්, ජුවලරි ගැනීම තමයි කරන්නේ.
නිතරම ෂොපිං කරන නිසා අල්මාරි පිරෙන්න ඇඳුම් පැළඳුම් ඇති?
වැඩියෙන්ම තියෙන්නෙ සපත්තු සහ හෑන්ඞ් බෑග්. ගණන් කරන්න බැරි තරමට ඒවා තියෙනවා.
මේ ඔක්කෝම අඳින්න පළඳින්න වෙලාවක් තියෙනවද?
සමහර ඒවා තවම ඇඳලා නැහැ. කොච්චර තියෙනවද කියලා. වෙලාවකට මම දන්නෙත් නැහැ.
සටහන හා ඡුායාරූප: සඳුන් ගමගේ