ආදරය කියන්නෙ හරි ගැඹුරු විෂයයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-27-ent-16

මිෂෙල් දිල්හාරා නමැති මේ සුන්දර තරුණියට වැඩි දෙනෙක් මේ දිනවල ආමන්ත‍්‍රණය කරන්නේ පොඩි පත්තරකාරී කියලයි. මිෂෙල් ඒ විදියට පොඩි පත්තරකාරී වුණේ නාලන් මෙන්දිස්ගෙ අධ්‍යක්‍ෂණයෙන්, සන්ධ්‍යා මෙන්දිස්ගෙ නිෂ්පාදනයෙන් (සුසිල) විකාශය වන ‘සල් සපුනා’ නාට්‍ය නිසයි. ඒ විදියට පොඩි පත්තරකාරී වූ මේ හැඩකාරී සඳැල්ල කතාබහ රස ගැන්වූයේ මේ විදිහටයි.

 

පොඩි පත්තරකාරී කොහොමද ඉතින්?

2017-11-27-ent-17ටිකක් බයෙන් ඉන්නෙ.

 

ඇයි ඒ?

මේ චරිතයෙ හැටියට මම කරන්නෙ ගවේෂණාත්මක සහ විමර්ශනාත්මක ජනමාධ්‍යයිි. ඉතින් ඒ චරිතයෙ හැටියට මම ප‍්‍රබල ඇමතිවරයකුගෙ දියණියක්. නමුත් සාධාරණය සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටින චරිතයක්. අසාධාරණයට එරෙහිව සටන් කරන පොඩි පත්තරකාරී කියලා නම හැදුණෙ එහෙමයි.

 

මේ ‘සල් සපුනා’ නාට්‍යයට අමතරව ඔබ ර`ගපෑව වෙනත් නාට්‍ය මොනවද?

තවත් නාට්‍යය දෙකක රඟපෑවා. තුත්තිරි සහ ඒම් කියන නාට්‍ය ද්විත්වයෙ. තුත්තිරි නාට්‍යයේ මම රඟපාන්නෙ පිටසක්වල ජීවී පවුලක දියණියක් ලෙසයි. එයාගෙ නම උර්මිලා. තුත්තිරි නාට්‍යයේ ප‍්‍රචාරක වීඩියෝ දැන් නිකුත් කරලා තියෙන්නෙ. ඒකට හොඳ ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒක ඇත්තටම හරි වෙනස් කතාවක්. සංජය නිර්මාල් මහතාගේ අධ්‍යක්‍ෂණයක්. උදාර පල්ලියගුරු මහතාගේ නිෂ්පාදනයක්. ‘ඒම්’ නාට්‍යයේ ‘ඒම්’ ලෙස ප‍්‍රධාන චරිතයක් රඟපානවා.

 

පිටසක්වල ජීවී චරිතයක් රඟපාන ඔබ සැබෑවට පිටසක්වල ජීවීන් දැකලා නැද්ද?

තවම නැහැ. මේ කතාවෙ හැටියට ලෝකය අවසානයට යද්දී මිනිස්සු තුත්තිරි ගහකටත් වඩා කුඩා වනවා ය කියල බණ පොත්වල සඳහන් වෙනවනෙ. මෙම නාට්‍ය හදලා තියෙන්නෙ මිනිසුන්ගෙ ඒ පරිහානිය ගැන පැවසීමටයි. මේ පෘථිවියේ පරිහානිය නිසා පිටසක්වල පවුලක් පෘථිවියට එවනවා. එතැනින් එහාට සිදුවන දේ තව ටික දවසකින් බලා ගන්න පුළුවනි.

 

මිෂෙල් දැන් දිගටම රංගනය යෙදෙන්න ද කල්පනාව?

ඔව්. වෘත්තීය රංගන ශිල්පිණියක් වීම තමයි අරමුණ. මේ ක්ෂේත‍්‍රයෙ ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. නිළි වෘත්තීයේ විනය, ගුණය රැුකගෙන හරවත් ගමනක් යන්න කැමතියි. ඒ අතරේ උසස් අධ්‍යාපනය තවම ඉවර කරලා නැහැ. මනෝවිද්‍යාව පිළිබඳව හදාරනවා. ජපන් භාෂා ප‍්‍රගුණ කරනවා. ඇත්තටම ඉගෙන ගන්න තියෙන දේ නම් බොහෝමයි.

 

මේ අතරේ ආදරය ගැන හිතන්නෙ නැද්ද?

ඒකට වෙලාවක් ඒවි. මොකද ආදරය කියන්නෙ හරි ගැඹුරු විෂයක්. එක අතකට හැදෑරිය යුතු විෂයයක්. වෙලාව ආවාම එය කරාවි.

 

පොඩි පත්තරකාරි, පත්තර බලනව ද?

බලනවා.

 

වැඩිපුරම නරඹන්නෙ?

බටහිර චිත‍්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය වගේම මගේ විෂයට දැනුම ගන්න පුළුවන් දේ කියවනවා සහ නරඹනවා. ඉගෙන ගන්න තියන දේ කවදාවත් නිමාවක් නැහැ. සිනමාව කියන දේ මගේ සිහිනයක්. ඒ සිහිනයට යන්න තමයි මේ විදියට බොහෝ දේ ඉගෙන ගන්න හදන්නෙ. දැනටමත් මට සිනමාවේ ආරාධනයක් ලැබිලා.

 

‘නිළියක්’ කොහොම විය යුතුය කියලා ද හිතන්නෙ?

මේක ඇත්තටම වාසනාවට ලැබෙන දෙයක්. ඒ ලැබුණු වාසනාව වෙනුවෙන් කැපවීමක් කළ යුතුයි. රංගනය යනු කැපකිරීමකින් බොහෝ දේ ඉගෙන ගෙන යා යුතු ගමනක්. ඒ වගේම ආසාවෙන් කළ යුතු දෙයක්. විශේෂයෙන්ම ගැහැනු ළමයකු වුණාම එයාගේ ආත්මගෞරවය රැුකගෙන යා යුතු ගමනක්. ආත්ම ශක්තියක් තිබිය යුතුමයි.

 

‘මිෂෙල්’ මොන වගේ කෙනෙක්ද?

බොහෝ දේ සොයා යන්න ආසයි. සරල කෙනෙක්. හොඳ ආත්ම ශක්තියක් තියෙන ධෛර්යවන්ත ගැහැනු ළමයෙක්.

 

සමහරු ක්ෂේත‍්‍රයට එනවා, ඇවිත් විවිධ ඕපාදු​ප කතා, ඒ වගේම බොහෝ දේවලට මුහුණ දෙනවා. මේ නිසාම සමහර අය ක්ෂේත‍්‍රය දාලා යනවා. කොහොමද හිතන්නෙ ඒ ගැන?

එහෙම වෙන්නෙ ජනප‍්‍රියත්වය ගැන ඕනෑවට වඩා හිතුණමයි. එය බලයෙන් හෝ බලහත්කාරයෙන් ලබාගත යුතු දෙයක් නෙවෙයි. මට අවශ්‍ය වෙන්නෙ ජනගතවීමටයි. ජනගත වූ කෙනෙක් සැමදා මිනිස්සු අතර සිටින කෙනෙක්. මම කැමති ඒ වගේ කෙනෙක් වීමටයි. එවිට මිනිසුන්ට ඒ කෙනාව අමතක වෙන එකක් නැහැ. ඒ පාර සොයාගෙන ගියොත් අපි රැුඳී සිටීවි. බිම බලාගෙන හිටියොත් කවදාවත් අපට දේදුන්නක් සොයා ගන්න බැහැ කියලා ලෝකයේ ශ්‍රේෂ්ඨම නළුවකු වූ චාලි චැප්ලින් පවසා තිබෙනවා. ඉතින් අපි ඒ දේදුන්න සොයා යන්න ඕනෑ.

 

මිෂෙලූත් දේදුන්නක් වගේද?

දේදුන්නක් වෙන්න උත්සාහ කරනවා.

 

මිෂෙල් නපුරු ද? අහිංසක ද?

අපි නොදන්නවා වුණාට අපි ඇතුළෙ ඒ සියලූ චරිත ඇති. සාමාන්‍යයෙන් ගත්තොත් මම නපුරු නැහැ. ඒත් එය ස්වභාවය අනුව වෙනස්වන දෙයක්.

 

කලාවට ආවෙ ‘ජනප‍්‍රිය’ වෙන්නම හිතාගෙන නෙවෙයි ද?

අවංකවම කිව්වොත් නැහැ. ජනගතවීම තමයි අරමුණ.

 

ඒ කියන්නෙ දේශපාලනය කිරීමේ අරමුණ නිසා ද?

සමාජයට සේවයක් කිරීමට දේශපාලනයම අවශ්‍ය නැහැ. නිකම්ම මැරිලා යනවාට වඩා, යමක් කරලා ජනගත වෙලා යන්න ආසයි.

 

2017-11-27-ent-14   2017-11-27-ent-15