අසුන්දර මිනිස්සුත් සුන්දර විදිහට ඉන්නවා
සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ‘‘ඉත්තෝ’’ ටෙලි මාලාව සියත ටී.වී. ඔස්සේ මේ දිනවල විකාශය කෙරෙනවා. කුතුහලය මුසු වූ කතා තේමාවක් රැගත් මෙහි මනෝ වෛද්‍යවරියක ලෙස රඟපාන තිළිණි පෙරේරා සමග අද සඳැල්ල කතාබහ හැඩ වෙන්නෙ මේ විදියටයි.
තිළිණි මේ චරිතය සමග විතර ද මේ දිනවල හමුවෙන්නේ?
මම රංගනයෙන් දායක වූ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සහ ඉරුදේව නාට්‍යයේ චරිතවලට දායක වුණා. ඉත්තෝ නාට්‍යයෙන් තමයි මේ දිනවල දැක ගන්න පුළුවන්.
අපි මේ චරිතය ගැන කතා කරමු.
මෙතෙක් මම රඟපෑ චරිතවලට වඩා වෙනස් චරිතයක්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ රොෂාන් රණවන. එයා රහස් පරීක්ෂකවරයෙක්. එයාගේ බිරිඳ මනෝ වෛද්‍යවරියක්. මම රඟපාන්නේ ඒ චරිතයයි. රහස් පරීක්ෂකවරයෙක් එක්ක මනෝ වෛද්‍යවරියක් ගත කරන ජීවිතය මොන වගේද කියලා ඉත්තෝ නරඹලා දැනගන්න පුළුවනි.
සැකෙවින් ඒ ගැන කිව්වොත්?
රහස් පරීක්ෂක සැමියා ටිකක් විතර දඩබ්බර කෙනෙක්. එයාගේ බිරිඳ වූ මනෝ වෛද්‍යවරිය පාරමී එහෙම නැහැ. මේවා ඝට්ටනය සහ සංකලනය කොහොම වේවිද කියලා අපි ඉත්තෝ නරඹලා දැන ගනිමු.
ඉත්තන්ට මැදිව රංගනයේ යෙදී සිටියදී වේච්ච සිදුවීම් එහෙමත් ඇති?
සිදුවීම්වලට වඩා මේ කතාව ගලාගෙන යන විදිය නිරන්තරයෙන් කුතුහලය ගෙන දෙන බව කියන්න පුළුවනි. අපි විවාහ වෙලා අලූත් ගෙදරකට එනවා. නමුත් එයාගේ රහස් පරීක්ෂක රාජකාරිය නිසා අපට පවුලක් විදියට නිතරම එකට ගත කරන්න ලැබෙන්නේ නැහැ. කොහොම හරි එයාගේ රහස් පරීක්ෂක වැඩකට මටත් උදව් කරන්න වෙනවා. අන්තිමට මොකද වෙන්නේ කියලා මමත් තවම දන්නේ නැහැ.
තිළිණිගේ සැබෑ ජීවිතය ගැන විස්තර කිව්වොත්?
වෙනදා වගේම සරලව වෙනවා. ලොකු වෙනසක් නැහැ. නිතරම අනෙක් අයට වචනයකින් හෝ උදව් කරන්න උත්සාහ ගන්නවා. ඒ අතරේ සාමාන්‍ය විදියට ක්ෂේත්රයේ කටයුතු කරගෙන යනවා.
රඟපෑම් එක්ක කාර්ය බහුල වෙලාද?
මහා ලොකුවට කාර්ය බහුල වෙලා නැහැ. රටේ ආරක්ෂක තත්ත්වය මත නිරූපණ ක්ෂේත්රයේ වැඩ ටිකක් කල් ගියා. මොකද පිරිසක් ඒකරාශී වන නිසා මනාලියන් දැක්ම වගේ නිරූපණ අවස්ථා පැවැත්වීම තරමක අවදානමක්.
තිළිණිගේ වෘත්තිය රඟපෑම විතරද?
රඟපෑමට ඒමට පෙර සිටම මම මනාලියක ලෙස නිරූපණයේ යෙදෙනවා. දැන් ඊට අමතරව රඟපෑම කලාව වෙතින්ම යැපෙන්න බැරි නිසා ඉදිරියේදී මගේම ව්‍යාපාරයක් ගැනත් හිතනවා. මට නිරූපණයට වඩා වැඩි වටිනාකමක් ලැබුණේ රඟපෑමට. මිනිස්සු මාව පිළිගත්තේ රඟපෑම නිසයි. අද නිරූපණ අවස්ථාවලට ගියත් බොහෝ දෙනා මාව හඳුන්වන්නේ මොඞ්ල් තිළිණි කියලා නෙවෙයි. රංගන ශිල්පිනියක ලෙසයි. ඒ නිසා රඟපෑම ගැන ඇත්තටම තියෙන්නේ ලොකු වටිනාකමක්.
රඟපෑමට වැඩියෙන්ම ආදරය කරන තිළිණි ජීවිතයේ වැඩියෙන්ම ආදරේ කාටද?
අම්මා තාත්තටයි. මගේ ලොකුම හීනය ඒ දෙන්නට හොඳින් සැලකීමයි. ඊට අමතරව මම රංගනයට ආදරෙයි. ඊට අමතරව මම දැන් තවත් ආදරයක් පටන් ගත්තා.
ඒ ගැනත් කියමු?
දැන් මම මටම ආදරය කරන්න පටන්ගෙන. ඉස්සර මම ගැන එච්චර හිතුවෙ නැහැ. දැන් මම ඒ ගැන හිතලා කටයුතු කරන්නේ.
ආදරේ කියන දේ දැනෙන්නේ කොහොමද?
ඉතා සුන්දර දෙයක්. ඒක සුන්දර වෙන්නේ සුන්දර අය එක්ක බෙදාගන්න ලැබුණාමයි. අසුන්දර මිනිස්සුන් සුන්දර විදියට ඉන්නවා. අපි ඒක හඳුනා ගන්න ඕනෑ.
ජීවිතය ගැන කිව්වොත් කොහොමද ජීවිතය ගැන දැනෙන්නේ?
ජීවිතය ලස්සන වෙන්නෙ ඊට මුහණ දෙන විදිය එක්කයි. මොන වගේ ප්‍රශ්නයක් ආවත් මම කවුද? මගෙන් මේ සමාජයට සිද්ධ විය යුතු දේ මොකක්ද කියලා වටහා ගෙන ජීවත් වීම වැදගත්. මම මටම ආදරය කළොත් ප්‍රශ්න ආවාම කඩා වැටෙන්නේ නැහැ.
විශේෂයෙන්ම කාන්තාවක් ප්‍රශ්න ආවාම කඩා වැටෙන්න ඕනෑ නැහැ. ප්‍රශ්න බාධක මැදින් යන ජීවිතේ ධනාත්මකව හිතලා සුන්දර මිනිස්සු ඇසුරු කරන්න ඕනෑ.
ජීවිතයේ ආපස්සට හැරි බලද්දී කොහොමද හිතෙන්නේ?
ජීවිතයේ සතුටුවන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. මට ඕනෑ වුණේ රංගන ශිල්පිනියක වෙන්න. ඒක හැබෑ කරගෙන ගොඩාක් බාධක එක්ක ආව ගමනක්. ඉක්මන් වෙලා ගන්න තීරණ නිසා ජීවිතයේ වැරදුණු තැන් තියෙනවා. ඒත් ඒවා පාඩමක් කරගෙන අනාගතය හොඳ විදියට ජීවත් වීම තමයි අරමුණ.
රඟපෑමෙන් තොරව විවේකීව සිටින දිනවලදී මොනවද කරන්නේ.
මම කිව්වනේ දැන් මම මටම ආදරය කරන්න පටන්ගෙන කියලා. මානසික සුවය, ශාරීරික සුවය සහ ආධ්‍යාත්මික සුවය කියලා දෙයක් තියෙනවා. ඒ නිසා අපි එය හඳුනා ගන්න ඕනෑ. මම දැන් ශාරීරික සුවය සඳහා ව්‍යායාම් කරනවා. ඒ වගේම වෙනදාට වඩා වැඩිපුර ටිකක් නිදා ගන්නවා. වැඩිපුර වතුර බොනවා. කොළ කැඳ, පලතුරු යුෂ බොනවා. තෙල් වර්ග දෙකක් දාලා හොඳට ඔළුව සමාජ් කර ගන්නවා. මේ විදිහට ගත විතරක් නොවෙයි. පිරිසිදු කරගන්න ඕනෑ. සිත පිරිසිදු කර ගන්න ආධ්‍යාත්මිකව සිතන්නට ඕනෑ. ඉඳහිට පොත පත කියවනවා. දැනුමක් ලබා ගන්නවා. මගේ විවේකය ගෙවෙන්නේ එහෙමයි.
තිළිණිට තිළිණි ගැන හිතෙන්නේ කොහොමද?
මට මං ගැන ආඩම්බරයි. වෙලාවකට මට මිනිස්සු හඳුනා ගන්නට බැහැ.
හැමෝම හොඳයි කියලයි මම හිතන්නේ. හැමෝම යාළුවෝ වගේ කියලා හිතුවට එහෙම නොමුවාම කළකිරීමක් ඇතිවෙන්නේ. ඒත් සමාජයක් අපට හදන්න බැහැනේ.
මොනවද වඩා කැමති ප්රියතාවයන් එහෙම?
නර්තන හැකියාව ටිකක් දියුණු කර ගන්න ඕනෑ. නිතරම රූපලාවන්‍ය ශිල්පිනියන් එක්ක සිටින නිසා රූපලාවන්‍ය ගැනත් උනන්දුයි. ඒ හැකියාවත් මට තියෙනවා. වාහනයක් පැදවීමේ ආසාව තිබුණා. දැන් ලයිසන් එක අරගෙන තියෙන්නේ. මටම කියලා වාහනයක් ගන්නත් ඕනෙ.
ඉදිරියේ තියෙන වැඩ ගැනත් කියමු?
මේ දක්වා කළ නාට්‍ය අතරින් ටිකිරි රත්නායක මහතාගේ මුතුකුඩ නාට්‍යයේ මුතුකුඩ මැණිකේ චරිතය වෙතින් තමයි රටම හඳුනා ගත්තේ. එතුමාගේ තව අලූත් නට්‍යයක් පටන් ගත්තා. එහි චරිතයක් රඟපානවා. ඒ වගේම සුනෙත් මාලිංගගේ ඉත්තෝ චරිතය ගැනත් කියන්නට ඕනෑ. ඒකත් මට ලැබුණු විශේෂ අවස්ථාවක්. මේ චරිතවලට අමතරව නිරූපණය පැත්තෙන් සන්නාම තානාපතිනියක ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට ගිවිසගෙන ඉන්නේ.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ